ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම විධායක කමිටුවේ සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ඩේලිමිරර් වෙත ප්‍රකාශ කරන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින්නැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත තමාගෙන් ඉල්ලා සිටි බවයි.
දශක පහකට වැඩි කාලයක් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ තමන්ට, මෙම ගැටලුව සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටිය නොහැකි බව, ඩේලිමිරර් හා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ඒ මහතා ඩේලිමිරර් සමඟ මෙසේ ප්‍රකාශ කරයි.
‘එක් දිනක් එක් සාමාජිකයෙක් මට කතා කළා – ඔහු නායකත්ව මණ්ඩලයේ, දේශපාලන මණ්ඩලයේ සහ අනෙකුත් මණ්ඩලවල සාමාජිකයෙක්. ඔහු සරලවම ඇහුවා ‘ඇයි ඔයා මේ කාරණය ගැන නිශ්ශබ්දව ඉන්නේ නැත්තේ?’ කියලා.
එසේ කතා කළ පුද්ගලයා ලාල්කාන්ත බවත් පසුව ඔහුට සිය ස්ථාවරය පැහැදිලි කරමින් ලිපියක් යැවූ බවත්, එහි පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහට ද යොමුකළ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
තම විරෝධය ප්‍රතිපත්තිමය කාරණයක් මත පදනම් වූවක් මිස ජාතික ජන බලවේගයේ නායකයින් සමඟ ඇති කිසිදු පෞද්ගලික මතභේදයක් මත නොවන බව ප්‍රකාශ කරන ඒ මහතා මෙය ප්‍රතිපත්තිමය කරුණක් බවත් ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වීමට නම් නීතියේ ආධිපත්‍යය තිබිය යුතු බවත් නීතියේ ආධිපත්‍යය පවතින්නේ අධිකරණයේ ස්වාධීනත්වයක් තිබුණොත් පමණක් බවත් ප්‍රකාශ කරයි.






