K News

Trending Now

යේමන – සෞදි යුද්ධය සහ අපි

yemen saudi war sri lanka impact knews
මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තව තවත් අස්ථාවර කරමින් යේමනයේ සටන් යළි පූර්ණ පරිමාණයේ යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත. එක්සත් ජාතීන්ගේ යේමනය පිළිබඳ විශේෂ නියෝජිත හාන්ස් ග්‍රන්ඩ්බර්ග් ඔක්තෝබර් 9 වැනිදා ආරක්ෂක මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ සටන් රටේ පෙරමුණු කිහිපයකටම පැතිර ගොස් ඇති බවයි.
ඉරානයේ සහාය ලබන හූති සංවිධානය හෙවත් අන්සාර් අල්ලාහ් සටන්කාමීන් යේමනයේ මෝකා වරාය හා බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවල බලය පුළුල් කිරීමත් සමඟ මෙම යුද ගැටුම තීව්‍ර විය. එයට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයේ හමුදා ප්‍රතිප්‍රහාර ආරම්භ කළ අතර රජයේ හමුදා වෙත සහාය දක්වන සෞදි අරාබිය ද යළි සෘජු හමුදා ක්‍රියාමාර්ගවලට පිවිස ඇත.

2014 වසරේ ආරම්භ වූ යේමන සිවිල් යුද්ධය දැනටමත් කලාපයේ නාවික ගමනාගමනයට සහ බලශක්ති සැපයුමට බලපෑම් ඇති කර ඇති අතර මැදපෙරදිග ඉරාන-ඇමරිකා-ඊශ්‍රායල අර්බුදයක් සමඟ මෙම ගැටුම බද්ධ වී තිබීම නිසා එහි ප්‍රතිවිපාක යේමනයේ දේශසීමාවලින් ඔබ්බට පැතිරීමේ අවදානමක් පවතී.

සෞදියටත් දැවැන්ත ප්‍රහාරයක්

මෙම ගැටුමේ වඩාත් අවධානයට ලක්විය යුතු වර්ධනය වන්නේ සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් එල්ල වන හූති ප්‍රහාරවල වර්ධනය සහ සාර්ථකත්වයයි.

ඔක්තෝබර් 10 වැනිදා රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තයකට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේය. ඊට පසුදින එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් 11 දෙනෙකු තුවාල ලැබූ බව ද වාර්තා විය.

ඔක්තෝබර් 13 වැනිදා සෞදි අරාබියේ ධහරාන් නගරයේ පිහිටි අරම්කෝ සමාගමේ පරිපාලන ගොඩනැඟිල්ලකට ද හූති මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව රොයිටර්ස් වාර්තා කළේය. ගොඩනැඟිල්ලේ ඉහළ මහල්වලට හානි සිදුවී ගින්නක් හටගත්ත ද මරණ හෝ තුවාල වාර්තා නොවීය.

අරම්කෝ යනු ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදන සමාගම් අතර සිටින සෞදි රාජ්‍ය සමාගමකි. එහි පරිශ්‍රයකට ප්‍රහාරයක් එල්ල වීමේ කතාව තුළ ගොඩනැඟිල්ලකට සිදුවන හානියක් පමණක් අදහස් වන්නේ නැත. තෙල් නිෂ්පාදනය, ගබඩා කිරීම, නල මාර්ග සහ අපනයන පර්යන්ත ආශ්‍රිත ආරක්ෂක අවදානම ඉහළ ගියහොත් එය ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළට ද බලපෑ හැකිය. එය හඟවන කතාව එයයි.

yemen saudi war sri lanka impact 1 knews

සෞදි ප්‍රතිප්‍රහාර

සෞදි අරාබිය ද හූති ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් යේමනයේ හූති පාලනය යටතේ පවතින ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර පසුගිය ඔක්තෝබර් 13 වැනිදා සනා අගනුවර ආශ්‍රිත ඉන්ධන ගබඩා හා අනෙකුත් ඉලක්කවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව මාධ්‍ය වාර්තා කළේය.

හූති සංවිධානය සෞදි තෙල් පහසුකම් හා ගුවන්තොටුපළ ඉලක්ක කරයි. සෞදි අරාබිය යේමනයේ හූති පාලන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරයි. එම ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හූති සංවිධානය තවත් තම ප්‍රහාර තීව්‍ර කළ හැකිය. ඒ අනුව සෞදියේ ප්‍රතිචාරය ද දරුණු විය හැකිය. එය අරාබි කලාපයේ පූර්ණ පරිමාණ යුද්ධයක් සූදානම් කරයි ද යන්න අපට කිව නොහැකිය. නමුත් මේ යුද්ධය විසින් ලෝක ආර්ථිකය සැලකිය යුතු ලෙස අඩාල කරනු ඇත. මෙහිදී ඉරානයේ සහ ඇමරිකාවේ හැසිරීම වැදගත් වනු ඇත. දැනට බටහිර මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම නව යුද්ධයට ඇමරිකාවේ හෝ ඉරානයේ සෘජු සම්බන්ධයක් නැත. සෞදි අරාබි හමුදාවන්ට ඇමරිකාව විසින් තාක්ෂණික සහ බුද්ධිමය තොරතුරු ඔස්සේ සිය සහාය ලබාදෙමින් ඇති බව වාර්තා වෙයි.

මේ අතරේ ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සෞදි අරාබිය සහ හූති සංවිධානය අතර මැදිහත්වීමක් සඳහා ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. එවැනි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සාර්ථක වුවහොත් ගැටුම සීමා කිරීමට අවස්ථාවක් ලැබිය හැකිය. එහෙත් මේ වන විට එය යුද්ධය නතර කිරීම සඳහා සාර්ථක වූ එකඟතාවක් ලෙස සැලකිය නොහැකිය.

තෙල් මිල සහ බලශක්ති සැපයුම

යේමනයේ සහ සෞදි අරාබියේ ගැටුම මෙරට ආර්ථිකයට බලපෑම් ඇති කළ හැකිය. මෙම යුද තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ඉහළ යාම සිදුවිය හැකිය. ඒ අනුව එය මෙරට ආර්ථිකයට ඉක්මනින් බලපෑ හැකි තත්ත්වයකි. සෞදි අරාබිය ලෝකයේ ප්‍රධානතම තෙල් අපනයනකරුවන්ගෙන් කෙනෙකු වන අතර එරට තෙල් නිෂ්පාදන පහසුකම්, නල මාර්ග හෝ අපනයන පර්යන්තවලට හානි සිදුවුවහොත් ලෝක වෙළෙඳපොළට ලැබෙන තෙල් සැපයුම පිළිබඳ යම් අවිනිශ්චිතතාවක් ඇති විය හැකිය.

රතු මුහුදේ නාවික මාර්ග අවහිර වුවහොත් අපිට කුමක් සිදුවෙයි ද යන්න මෙහිදී වඩා වැදගත්ය. බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය යේමනය සහ අප්‍රිකාවේ ජිබූටි හා එරිත්‍රියාව ආශ්‍රිත වෙරළ තීරය අතර පිහිටි පටු මුහුදු මාර්ගයකි. එය රතු මුහුද හා ඒ හරහා සූවස් ඇළ ඔස්සේ මධ්‍යධරණී මුහුද සම්බන්ධ කරන ජාත්‍යන්තර වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන පිවිසුමකි.

මෙම මාර්ගය හරහා ආසියාව සහ යුරෝපය අතර විශාල භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරේ. යේමනයේ ගැටුම හේතුවෙන් එම මාර්ගයේ නැව් ගමනාගමනයට තර්ජන එල්ල වුවහොත් නැව් සමාගම්වලට අප්‍රිකාවේ දකුණු කෙළවරේ පිහිටි කේප් ඔෆ් ගුඩ් හෝප් මාර්ගය ඔස්සේ ගමන් කිරීමට සිදුවිය හැකිය.

එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් නාවික ගමන් කාලය දිගු වන අතර ඉන්ධන, රක්ෂණ සහ නැව් මෙහෙයුම් වියදම් ඉහළ යා හැකිය. එම අමතර වියදම් ආනයනකරුවන්ට සහ අවසානයේ පාරිභෝගිකයන්ට දරන්නට සිදුවනු ඇත. දැනටමත් ලංකාවේ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර තෙල් හිඟයක් ද පෙනෙන්නට තිබෙයි. මෙම තත්ත්වය තුළ මේ යුද්ධය කලාපය තුළ පැතිරුණු යුද්ධයක් බවට පත්වුණොත් එය ලංකාවේ ආර්ථිකයට තදින්ම බලපානු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *