වංගු වංගු පාරේ යාන්තම් කළුවර මැකෙනකොට පස්සරට ආවා. පස්සර ඉඳලත් තව කිලෝමීටර කීයක් ද මඩොල්සිමට. බස් එකේ පා පුවරුවේ ඉඳගෙන ආපු තෙහෙට්ටුවට සහ පස්සරදී දැනෙන සීතලට කෝපි එකක් බොන්න හිතෙනවා. මේ වෙලාවට කඩයක් හොයන එකත් ගේමක් තමයි. මඩොල්සිම කඳුකර නගරයක්. හැමතැනම සුද්ද දීල ගිය තේ වතු රවුම් රවුම් ගැරඬි ගිය පාරේ මඩොල්සිමට බස් එක යනවා. පිටිපස්සේ සීට් එකේ එහෙට මෙහෙට ලිස්සන ගමන් අවට කඳු ලස්සනට පේනවා.
මඩොල්සිම කියන්නෙත් කන්දක්. ගොඩක් උසයි. අවට තව කඳු පන්ති කිහිපයක්… පුංචි කඩ 50 ක විතර නගරයක්. මැද පොලීසිය. නගරය හුස්ම ගන්න පටන් ගත්ත විතරයි. “කොහොනාවලට කොහොමද යන්නේ?” වඩේ එකක් කන ගමන් කඩ මුදලාලිගෙන් අපි ඇහැව්වා. “බුදු අම්මෝ මහත්තයෝ… මෙතැන ඉඳල කි.මී. 17 ක් විතර පයින්ම කන්ද බහින්න ඕන. අද එන්න නම් වෙන්නේ නැහැ. එන්න වෙන්නේ නැහැ.” ඉස්සෙල්ලම ගිහින් බලමුය කියල අපි පහළට එන්න පටන් ගත්තා.

කුරුබිලියෙන් කොහොනාවලට
බැලන්ස් එකේ යන්න ඕන පාර. ෆැක්ටරිය ළඟින් පහළට. ඈත පහළ පේනවා පොකුරු ගෙවල් ගම. කොහොනාවල. සිතට මඳ අස්වැසුමක්. ඒත් පෙනෙන මානය අඩි 1500 ක් විතර පහළ. කොහොම යන්නද මගේ අප්පා කියලා හිතෙන වාර අනන්තයි. පහළ බැලුවහම නොබලා යන්නේ කොහොම. සිරිපාදෙ යන එක මතක් වෙනවා. සිරිපාදෙ කන්ද නගින්න එපැයි. ඒත් මේ ගමන බැහැ බැහැ පහළටම යන්න ඕන. තේ වත්ත මැදින්. කඳු වළල්ලක්. පාමුල පිහිටි පුංචි ගම කොහොනාවල.
“කොහොනාවල, කෝනාරූවෙල කොහොනාවල කියලත් කියනවා. කොනේ-වෙල කියන එක කොහොනාවල කියල වුණා කියලත් හිතන්න පුළුවන්. මේක ජනාවාස වෙලා තියෙන්නේ එකම පරම්පරාවකින්. මේ ගමේ සේරම රන්මල් මුදියන්සේලාගේ කට්ටිය. ඔය පිටින් ආව දෙන්නෙක් තුන් දෙනෙක් ඇරෙන්න. 1818 කැරැල්ලෙන් හැංගෙන්න පහළට බැහැපු සහෝදරයකුගෙනුයි, සහෝදරියකුගෙනුයි මේ ගම ජනාවාස වුණා කියලත් කියනවා. තව රජ වැද්දන්ගෙන් පැවත එනවා කියල කතාවකුත් තියෙනවා. කොහොම වුණත් පැරණි ගමක්… බෝගහක් තියෙනවා අවුරුදු 300 ක් විතර පැරණි. ඒ හින්ද 1800 වගේ කාලෙක ජනාවාස වුණා කියන එක තමයි පිළිගන්න වෙන්නේ.”
අඩි 1500 ක් බැහැල පන්සලට ඇවිල්ල කකුල් කෙඩෙත්තුවට ටිකක් වාඩි වුණහම හාමුදුරුවෝ කියපු ඉතිහාසය ගොඩක් පැරණියි. මේ වගේ තැනක් යුද්ධයකින් වගේ හැංගෙන්න නම් කියාපු තැන. නැත්නම් ඉතින් මේ කඳු පල්ලමක් මොකටද? පන්සලේ හාමුදුරුවෝ ළඟදි ගමට ආපු කෙනෙක්. උන්නාන්සේ ගම නගාසිටුවන්න මහන්සි වෙනවා කියල තමයි අපිට කිව්වේ. අවුරුදු 80 කින් විතර පාංශුකූලය දුන්නැති ගමක් කියනවානේ කොහොනාවල. කන්ද බහිනකොට අතරමගදී හම්බ වුණ අක්ක කෙනෙක් නම් කිව්වේ කෙළිගහට (කෙල්ල) පණ ගිහිල්ලා කියල. ගමනේ විඩාව ඒ තරම්. හැබැයි මේ ගමේ ඇත්තන්ට නම් මේ දුර මහ කජ්ජක් නෙවේ. මේ අඩි 1500 ක දුර එක හුස්මට නගිනවා, බහිනවාලු ඒ අය. ඒ අයට මේ ගමනට පැයයි දෙකයි කියල තමයි කියන්නේ. අපිට නම් ඉතින් බහින්න විතරක් පැය 3 1/2 ක් විතර ගියා.
ගමට වෙන පාරක් නැද්ද?
“තියෙනවා මහත්තයෝ ළඟදි කපල තියෙන්නේ. ඒත් ගඟ හින්ද අතරමඟ නතරවෙලා. මේ ගම තියෙන්නේ මඩොල්සිම කන්ද පාමුල. අනෙක් පැත්තෙනුත් කන්ද… කඳු දෙක අතරින් ගඟක් යනවා. ලොග්ගල් ඔය කියලා… මේ ගමේ පවුල් 55 ක් විතර තමයි දැනට ඉන්නේ. දැනට ඉස්කෝලේ ළමයි 15 ක් විතර තමයි අකුරු කරන්නේ. ගඟට එහා පැත්තේ කහටරුප්ප කියල ගමක් තියෙනවා. ඒකට බදුල්ලෙන් බස් එනවා. ඒ ගියත් පයින්ම යන්න ඕන. කි.මී. 15 ක් විතර. ගඟ හරහා පාලමක් දාලා දෙනවා නම් ලොකු පහසුවක්. අපි සිමෙන්ති කොට්ටයක් වගේ දෙයක් මේ ගමට ගේනවා නම් මඩොල්සිමේ ඉඳල 4 ට කඩල තමයි ගේන්නේ. නැත්නම් කහටරුප්පේ ඉඳල තවලමේ. ලෙඩක් දුකක් හැදුණත් මඩොල්සිමට හරි කහටරුප්පට හරි අරගෙන යන්න ඕන ඉස්පිරිතාලෙකට දුවන්න. අතරමගදී ලෙඩා ගොඩක් වෙලාවට මැරෙනවා.”
කොහොනාවල දුෂ්කර ජීවිතය ගැන මෙහෙම කතා කරන්නේ ගමේ වෙදමහත්තයා වෙච්ච ආර්.එම්. විමලරත්න. ඔහු පාරම්පරික කැඩුම් බිඳුම් වෙදෙක්.
මේ ගමේ පැරණි චාරිත්‍ර තවමත් යම් ප්‍රමාණයකට රැකිලා තියෙනවා. හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ බෝධිය ළඟ කතරගම දෙවියන්ට දේව කන්නලව්වක් කරනවා. නැත්නම් ගමේම කට්ටියට දෙයියන්ගේ ලෙඩ හැදෙනවා කියල විශ්වාසයක් තියෙනවා. ඉතින් මෙයාලා හරියටම ඒ මාසේට දේව කන්නලව්ව කරල දානයක් දෙනවා. ගමේ ආවාහ-විවාහ සිද්ධවෙලා තියෙන්නේ රම්මල් මුදියන්සේ පරපුර රැකෙන විදිහට තමයි. එකම පවුලේ කට්ටිය ගම පුරාම විසිරිලා ඉන්න නිසා අඩ දබර ගොඩක් අඩුයි කියනවා. සේරම එකම පරම්පරාව. රම්මල් මුදියන්සේ කියන වාසගම රත්නායක මුදියන්සේ කියන එක පොඩ්ඩක් වෙනස් කරලා පාවිච්චි කළාද කියලත් හිතෙනවා. මෙයාල 1818 ආවත් රජයේ ලියාපදිංචි වෙන්න ඇත්තේ ඊට ගොඩක් කාලයකට පස්සේ. සමහර වෙලාවට 1900 ට පස්සේ වෙන්නත් පුළුවන්. 1818 කැරැල්ලෙන් වෙනත් පළාත්වලට සංක්‍රමණය වුණ ගොඩක් මිනිස්සු වාසගම් – නම් පෙළපත් ආදිය වෙනස් කරගෙන ස්වයං පිටුවහල් ජීවිතයක් තමයි ගෙවාගෙන ගියේ.
ටිකක් දුර බැස්සාම ගම..
ප්‍රධාන කර්මාන්තය කිතුල් පැණි
“මෙහෙ තියෙන තෙලිජ්ජවලින් කිතුල් හකුරු හදන්න අමාරුයි. හදනවා නම් සීනි එකතු කරන්නට වෙනවා. නැත්නම් පදම ගන්න බෑ. සීනි එකතු කළාම ඒක සීනි හකුරු… ඉල්ලුමක් ඇත්තේම නැහැ. ඉතින් පැණි තමයි හදන්නේ.” පැණි හැලිය කකාරන ගමන් කරුණාවතී අක්කා කතා කරනවා. එයාලගේ ප්‍රධාන ජීවනෝපාය තමයි කිතුල් පැණි.
මෙහෙම හදන කිතුල් පැණි එක්කො මඩොල්සිමට නැත්නම් කහටරුප්ප හරහා බදුල්ලට ගෙනියන්න වෙනවා විකුණන්න. ඒක කිතුල් කපනවාට වඩා අමාරුයි. කොහොනාවල ස්වයංපෝෂිත ගමක්. ගමේ වෙල්යාය ගමටම අයිතියි. ගමේ සේරම වගේ පොදු දේපළ තියෙන්නේ. පැරණි කොස් ගස්, පොල් ගස් වගේ දේවල් ගමටම අයිතියි. දැන් දැන් තරුණයෝ කැලේ කොටගෙන ගෙවල් තනන නිසා පුද්ගලික ඉඩම් තියෙනවාලු චුට්ටක්. කිතුල් කර්මාන්තයට අමතරව අන්නාසි, අඹ, කෙසෙල්, කෝපි, ගම්මිරිස්, බඩඉරිඟු ප්‍රධාන ආදායම් උපද්දනවා. බොහෝමයක් වෙලාවට මාස 9 ක් විතර පැල්බැඳගෙන අකුණු ගහලා වහිනවා කියල තමයි ගම්මුන් කියන්නේ.
කොහොනාවලට මොකවත් නෑ
“අපේ ගමට කියල රජයකින් නම් කිසිම දෙයක් නැහැ මහත්තයෝ. අපේ ළමයින්ට ත්‍රිපෝෂ නෑ. අපේ ළමයින්ට බර කිරල බලන්න විදිහක් නෑ. අපේ දරුවෙක් ගැබිනි වුණාම වින්නඹු නෝන කෙනෙක් (මිඩ් වයිෆ්) පැත්ත පළාතක එන්නේ නෑ. අපේ ළමයි යන්නේ ඉතින් ඔය ගමේ ඉස්කෝලේ තමයි, ඒකේත් 5 වසරට විතරයි පන්ති තියෙන්නේ. දරුවෙක් මඩොල්සිමට හරි බදුල්ලට හරි ඉස්කෝලෙකට යනවා නම් ගෙදරින් උදේ 3.00 ට වත් යන්න ඕන. ගෙදර එනකොට රෑ 8 විතර වෙනවා. ඉතින් කොහොමද අපේ දරුවෝ ඉගෙන ගන්නේ. දැන්නම් ගොඩක් දෙනෙක් කොල්ලෝ කෙල්ලෝ ගම අතහැරලා කොළඹ ගිහිල්ලා. රස්සාවලට ගිය එකා ආපසු එන්නේ කලාතුරකින්. අනේ මහත්තයෝ මේ පාර කොන්ක්‍රීට් කරලා ගඟට පාලමක් දාලා දෙනවා නම් ඒක තමයි බුදුන් දැක නිවන් දකින වැඩේ. ඒත් කවුරුත් අතගහන්නේ නෑ.
මේ ගමේ පවුල් 55 ටම හරිහමන් ගෙවල් දොරවල් නැහැ. ගෙයක් හදන්න ගියත් බඩුමුට්ටු ගේන්න ගියහම දෙයියෝ සිහිවෙනවා. ඉතින් මිනිස්සු ගෙවල් දොරවල් හදන එක පැත්තකට දාලා කාල බීලා ඉන්නවා.”

මේ ගමේ ජීවිතේ දුෂ්කරයි. ඒ දුෂ්කර ස්වභාවය මේ කතා කරන බණ්ඩාර මැණිකේ නැන්දගෙන් හොඳට පේනවා. ඔවුන් ඉල්ලන්නේ ගමට පාරක් විතරමයි. වෙන කිසිදෙයක් ඔවුන්ට ඕන නෑ. දෑතේ සවියෙන් ජීවත් වෙන්න ඔවුන් ඉගෙන ගෙන තියෙන්නේ. නගරයේ සංවර්ධනය ගමට ගෙන ගියා කිව්වත් මේ වගේ ගම් තව කොච්චර මේ කොදෙව්වේ විසිරිලා පැතිරිලා ඇත්ද? මෙවැනි දුෂ්කර ගම්මාන සොයා යන්නට, ඔවුන්ගේ අවශ්‍යතා කිරා මැන බලන්න ධෛර්යය තියෙන රාජ්‍ය සේවයක් දැන් අපිට නැහැ.
කන්ද උඩින් පෙනෙන මඩොල්සිමට යනවද? ගඟ මතින් කහටරුප්පට යනවද? අපි ගඟ තරණය කළා. තව ගොඩක් දුර යන්නට ඇත. සුළඟ අප රැගෙන යනවා නම්… සිතෙන වාර අනන්තය.
-කේ. සංජීව-
මේ ලිපිය කොහොනාවල ගම ගැන පත්තරයක ගිය මුල්ම ලිපිවලින් එකක්. මට මතක විදිහට මේ ලිපියට පස්සේ එක පත්තරයක් (මවුබිම වගේ මතක) ඉර එළියව නොවැටෙන ගම වගේ අර්ථයක් එන හෙඩිමකින් ලිපියක් ලිව්වා. ඊටපස්සේ ගම ගොඩාක් ප්‍රසිද්ධවුණා ඒ අර්ථයෙන්ම. ඒත් ඇත්තටම එහෙම දෙයක් නෑ. පොඩි අඳුරක් තිබෙනවා එච්චරයි. අපි තුන්දෙනෙක් මේ ගමනට එකතුවුණා. පස්සේ මම නිතරම වගේ මේ ගමට ගියා. පන්සල නිසා ගම එන්න එන්නම වෙනස්වෙන බවක් තමයි පෙනෙන්නට තිබුණේ. පන්සල නිසා ගම දෙකඩ වුණා මහත්තයෝ කියලා එක ගමනක් ගියාම ගොඩක් ගැමියෝ කියන්න ගත්තා. දැන් නම් සෑහෙන්න කාලෙකින් ගිහිං නෑ. ඒත් දැන් එදාවගේ නෙවෙයි මඩොල්සිම කොහොනාවල කියන්නේ සංංචාරකයෝ අතර ජනප්‍රියම ගමනාන්තයක්..! අතීත ඡායාරූප සොයාගන්න නැති නිසා අන්තර්ජාලයෙන් ඡායාරූප ටිකක් ගත්තා. එහි මුල් අයිතිකරුවන්ට ස්තූතියි.







