K News

Trending Now

Arnab සුළි කුණාටුව ලංකාවට එයිද?

Arnab සුළි කුණාටුව ලංකාවට එයිද?

දැන් දවස් දෙක තුනක ඉඳලා වහිනවා. ඒත් ඊයේ පෙරේදා ඉඳලා තත්ත්වය ටිකක් අමුතුයි. අද උදේ ඉඳලා තත්ත්වය ඊටත් වඩා අමුතුයි. ආයෙත් මීට පෙර ආවා වගේ සුළි කුණාටුවක් එන්නද? අපි හැමෝටම එහෙම හිතෙනවා. ඉතින් මොකක්ද ඇත්තටම මේ වෙන්නේ? අද උදේ ඉඳලා නිරිත දිගට මහා වැසි, ගංවතුරත් ඒවි. මෙහෙම ගියොත් ඉතින් ඇත්තටම මේ මොකක්ද වෙන්නේ කියලා හිතමින් ඉන්නකොට තමයි ‘කාලගුණය සහ දේශගුණය’ කියන ෆේස්බුක් පිටුවේ මේ එන්න නියමිත, අපි ළඟින් ගෑවී නොගෑවී ඉන්දියාවට යන්න බලාගෙන කැරකෙන ‘ඔර්නබ්’ සුළි කුණාටුව ගැන මේ සටහන කියවන්න ලැබුණේ.

මෙන්න ලිපිය –
ඊයේ (2026-10-25) රාත්‍රියේදී උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද උදෑසන වන විට පවතින වලාකුළු වර්ධනය සිතියමේ දැක්වෙයි. නිරීක්ෂණ ඔස්සේ සිදුකරන ගණනය කිරීම් අනුව එය “සුළි කුණාටුවක” මට්ටම දක්වා වර්ධනය වී ඇති බව දකින්න පුළුවන්. කෙසේ වෙතත් ලෝක කාලගුණ සංගමයේ කලාපීය කාලගුණ විශේෂඥ ආයතනය (RSMC Delhi) එය නිල වශයෙන් නිවේදනය කර නොමැත. RSMC විසින් එම පද්ධතිය “ඔ(ර්)නබ්” [Arnab: pron Ornab] ලෙස නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත අතර ඉන් පසුව ලංකාව ඇතුළු ලෝකයේ කාලගුණ ආයතන එම නම භාවිත කරනු ඇත.

ඔර්නබ් යනු බංග්ලාදේශය විසින් කලාපීය සුළි කුණාටු නම් ලැයිස්තුව වෙත යෝජනා කළ නමකි. 169ක් වූ සම්පූර්ණ ලැයිස්තුවේ ‘ඔර්නබ්’ 27 වන නාමයයි. මේ නම ‘ඔර්නවා’ යන සංස්කෘත වචනයෙන් බිඳී ආ “විශාල ජල වපසරිය, මුහුද, සාගරය” වැනි අරුත් දෙන බව කියැවේ.

අනාවැකි අනුව මෙම පද්ධතියේ වර්ධන අවධි සාරාංශය:

2026 ඔක්තෝබර් 26 දින සුළි කුණාටුවක්

2026 ඔක්තෝබර් 27 දින චණ්ඩ සුළි කුණාටුවක්

2026 ඔක්තෝබර් 28 දින ඉතා චණ්ඩ සුළි කුණාටුවක්

පද්ධතියේ ගමන් මාර්ගය අනුව එය ඔක්තෝබර් 28 උදෑසන පමණ ඉන්දියාවේ විශාකපට්නම් වෙරළ හරහා ඉන්දියාව වෙත ඇදෙනු ඇති බව දකින්න පුළුවන්. දිවයිනට ඈතින් පිහිටන නිසා මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැකි අතර මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැක.

කා.වි.දෙ. මගින් මේ වන විට (2026-10-26 උදේ 8.30) නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් සහ අවවාදාත්මක නිවේදන:

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස “රතු” නිවේදනයක් යාවත්කාලීන කර ඇත.

දිවයිනේ බස්නාහිර අර්ධයේ තද වැසි ඇතිවීමේ හැකියාව ගැන සඳහන් “ඇම්බර්” නිවේදනය යාවත්කාලීන කර ඇත.

සටහන:
නවතම දත්ත මත නව අනතුරු ඇඟවීම් සහ අවවාදාත්මක නිවේදන නිකුත් විය හැකි බැවින් විමසිලිමත් වන්න. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිදුකරන නිරන්තර දැනුවත් කිරීම් සම්බන්ධයෙන් යාවත්කාලීන වන්න.
පින්තූර: ජපාන චන්ද්‍රිකා නිරීක්ෂණ අනුව 2026-10-26 උදෑසන බෙංගාල බොක්ක ආශ්‍රිත වලාකුළු වර්ධනය. විශ්ලේෂණ පහසුව තකා වර්ණ ගන්වා ඇත.

RSMC අනාවැකිය අනුව සුළි කුණාටුවේ ගමන් මාර්ගය දක්වන සිතියම.
RSMC අනාවැකිය අනුව සුළි කුණාටුවේ ගමන් මාර්ගය දක්වන සිතියම.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *