මම නම් විනාඩි 79ක් යනකම් දිනලා හිටියේ..!

ksport knews 2

මම නම් හිතුවෙම ඊජීප්තුව තරගය දිනුවා කියලා. මම ආස වුණෙත් ඒකට.

ඊජීප්තුව මේ ගේම් එක දිනුවා නම් සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට ගෙදර යන්න වෙනවා. එහෙම වුණා නම් මගේ ප්‍රියතමයෝ දෙන්නා වෙන ප්‍රංශයේ කයිලියන් එම්බාපේ සහ නෝර්වේ වයිකින් කුමාරයා අර්ලිං හාලන්ඩ් අතරේ තමයි රන් සපත්තුවට තරගය තියෙන්නේ.

අන්තිමට වුණේ හිතුවෙවත් නැති මඟුලක්. මෙසී තවත් එක ගෝලයක් තමන්ගේ ගෝල මල්ලට දාගෙන, ගෝල අටක් අරගෙන උඩට ගියා.

ksport knews

තරගයේ මුල් විනාඩි 70 විතර ඊජීප්තු පාරාවෝ කොල්ලෝ අතේ තමයි ගේම තිබුණේ කියලා ඒ වෙලාවේ හිතුවට, පස්සේ මැච් දිහා තරග උන්මාදය පැත්තකට තියලා බැලුවාම පේන්න ගන්නවා, මුල් ගෝල් දෙක සාර්ථක කරගත්තට ඊජීප්තුව ලෝක ශූර ආජන්ටිනාවට පහළින් තමයි හිටියේ කියලා.

බෝලේ වැඩියෙන්ම තිබුණේ මොන ටීම් එක ළඟද කියලා බැලුවොත් ආජන්ටිනාව ළඟ 62%යි. ඊජීප්තුව ළඟ 38%යි. ආජන්ටිනාව ඉලක්කයට පහර 8ක් එල්ල කරනකොට ඊජීප්තුව 3යි.

සාර්ථක බෝල පාස් කෙරිල්ල දිහා බැලුවත් එතනත් ආජන්ටිනාව තමයි ඉන්නේ. වැරදි කරපු අවස්ථා බැලුවොත් එතන නම් ඉදිරියෙන් ඉන්නේ ඊජීප්තුව. මෙසීට දඬුවම් පහරක් ලැබෙන්නෙත් මේ හේතුව නිසා.

කොහොම වුණත්, ඊජීප්තු ගමන අදින් නැවතුණත් ඔවුන් දුර ගමනක් මේ ලෝක කුසලානයේ ආවා. මේ තරගයේදී ඔවුන් සුපිරි ලෝක ශූර ආජන්ටිනාවට ලොකු ගේම් එකක් දුන්නා. කොහොම ගේම් එකක් දුන්නද කියලා කියනවා නම් මිනිත්තු 79ක් යනකම් තරගය තිබුණේ පාරාවොන්ගේ අතේ.

ඒත් ඉතිං ශූරයන්ගේ ශූරයෝ අවසන් විසිල් එක එනකම් තරගය අතාරින්නේ නෑ කියලා කතාවක් තියෙනවා නේ.

මට හිතෙන්නේ ආජන්ටිනා පුහුණුකරු තමයි ඒ වික්‍රමය කළේ. ලෙඩා කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නෑ වගේ, ඊජීප්තු ක්‍රීඩක යාසර් ඉබ්‍රාහිම්ගේ මුල් ගෝලයත්, ලයනල් මෙසීගේ දඬුවම් පහර ඊජීප්තු ගෝලී මොස්තාෆා ෂොබෙයිර් විසින් වැළැක්වීමත්, ඊට පස්සේ දෙවෙනි අර්ධයේදී මොස්තාෆා සිකෝ ඊජීප්තුව වෙනුවෙන් ගහපු ගෝලය අබියස වුණත් ආජන්ටිනාව වැටුණේ නෑ.

හැබැයි ප්‍රේක්ෂකයෝ නම් මීයට පිම්බා වගේ තමයි හිටියේ.

ksport knews 1

අන්තිමට කල් බලලා නියම පාලනයකින් හරිම තැනට බෝලේ පාස් කරපු මෙසීගේ හයියෙන් ක්‍රිස්ටියන් රොමේරෝ 79 වෙනි විනාඩියේදී “ආජන්ටිනාවේ අපි තමයි ලෝක ශූරයෝ” කියලා පෙන්වනවා. එතනින් පස්සේ තමයි මැච් එකේ කෙමිස්ට්‍රිය වෙනස් වෙන්නේ.

82 වෙනි මිනිත්තුවේදී මෙසී තමන්ගේ ලෝක කුසලාන ගෝල මල්ලට තවත් ගෝලයක් එක්කාසු කරගැනීමත් එක්ක ඊජීප්තුව පැත්තේ තිබුණු තරගය සම්පූර්ණයෙන්ම ආජන්ටිනාව පැත්තට පාස් වෙනවා.

මේ පාස් කිරිල්ලේ මහ මොළකරු වෙන කවුරුත් නෙවෙයි, ආජන්ටිනාවේ පුහුණුකරු ලයනල් සෙබස්තියන් ස්කැලෝනි. සමහර විචාරකයෝ කියන විදිහට දක්ෂ චෙස් ක්‍රීඩකයෙක් වගේ තමයි ඔහු තමන්ගේ ක්‍රීඩකයෝ මාරු කරමින් අවසන් මිනිත්තු කිහිපයේ තරගය තමන්ගේ අතට ගන්නේ. ඒක සමහර විට පළපුරුද්ද වෙන්න ඇති.

ඊජීප්තුවට මේ චෙස් ගේම අස්සේ තරගය මඟහැරෙනවා. අවසානයේ එන්සෝ ෆර්නැන්ඩස් අතිරේක කාලයේදී ගෝලයක් වාර්තා කරමින් ඊජීප්තුව විනාශම කරලා ආජන්ටිනාව අර්ධ අවසන් වටයට අරගෙන යනවා.

ඒත් තරගයේ එක් මොහොතක ඊජීප්තු ක්‍රීඩකයන් සුපිරි ගෝලයක් වාර්තා කරනවා. පාපන්දු ක්‍රීඩාවේ තියෙන සෞන්දර්යය හොඳටම තිබුණු, පිස්සු හැදෙන ගෝලයක් ඒක. ඒත් Video Assistant Referee එකට ගිය නිසා ඒක ලැබෙන්නේ නෑ. ඒක වෙලාව. හැබැයි ඒ මනරම් ගෝලය ගැන බොහෝ දෙනෙක් කතා කරලා තිබුණා. ඒක ඇත්තටම ලස්සන ගෝලයක්..!

කොහොම වුණත් ඊජීප්තුවට බැරි වුණා අවසන් මිනිත්තු 10 ආරක්ෂා කරගන්න. අන්න එතන තමයි කතාව තියෙන්නේ.

ඉතිං ලෝක ශූර ආජන්ටිනාව මෙවරත් තමන්ගේ රටට ලෝක කුසලානය අරගෙන යයිද? ලෝක කුසලානය පටන් ගන්නකොට කුසලානය දිනලා හිටියේ ස්පාඤ්ඤය. දැන් ඒ කුසලානය තියෙන්නේ ප්‍රංශය අතේ. ඒක ආජන්ටිනාව ඩැහැ ගනීද?

එහෙමත් නැත්තං වයිකින්ස්ලා පෙරළියක් කරයිද? මට නම් හිතෙන්නේ වයිකින් කොල්ලෝ ටික එංගලන්තයට නෙළයි කියලමයි..!

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...