K News

Trending Now

ගැරී කර්ස්ටන් වික්‍රමය..!

ගැරී කර්ස්ටන් Sri Lanka cricket head coach

වසර 28කට පස්සේ ඉන්දියාව එක්දින ක්‍රිකට් ලෝක ශූරයන් කරපු, ඊටපස්සේ තමන්ගේ රට වුණ දකුණු අප්‍රිකාව ලෝකයේ අංක එකට ගෙනා පුහුණුකරු ගැරී කර්ස්ටන් ලංකාවේ ජාතික පුහුණුකරු වෙනකොට මට නම් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මම ඒක ඒ කාලේ ලිව්වා. ඒකට ප්‍රධානතම හේතුව ඉන්දීය කණ්ඩායම අස්සේ ඔහු කරපු වික්‍රමය අපි දැක්කා. මෑත කාලයේ ඉන්දියාවේ ක්‍රිකට් විචාරකයන් රවී ශාස්ත්‍රි, රාහුල් ඩ්‍රාවිඩ් ගැන වගේම ගැරී කර්ස්ටන් ගැනත් එකම විදිහට කතා කරනවා. සමහර වෙලාවට අනෙක් දෙන්නට වඩා වැඩි ගෞරවයකින් ගැරී ගැන කතා කරනවා. කොහොම වුණත් මේ තුන්දෙනා පුහුණුකරුවන් විදිහට වැඩකරපු විදිහ එකිනෙකාට සෑහෙන්න වෙනස්.

අපි දන්නවා අපේ ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරාම ගමන් කළේ ස්ථාවරත්වයක් සොයාගැනීමට වෙහෙසෙන ගමනක්. කලක් ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තයන් සමඟ කරට කර සටන් කරපු, ලෝක කුසලානයක් දිනාගත්ත, ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ටම අනන්‍ය වූ අනන්‍යතාවක්, තමන්ගේම ක්‍රිකට් එකක් හදාගත්ත ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දශකය අස්සේ, ඒ අභිමානය අඛණ්ඩව පවත්වාගෙන යන්නට බැරිවුණා. ඒකට හේතු ගොඩාක් තිබෙනවා, ඒ අතරේ ප්‍රධානතම හේතුව තමයි ප්‍රධාන පුහුණුකරු භූමිකාව අවුල්වීම.

ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳ ප්‍රශ්නයකට වඩා බරපතළ වුණේ කණ්ඩායමක් ලෙස දිගුකාලීනව ඉදිරියට යා හැකි ක්‍රමවේදයක් සහ ස්ථාවර ක්‍රිකට් සංස්කෘතියක් පවත්වාගෙන යන්න බැරිවීම. ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා වගේම අපිට හමුවුණ පුහුණුකරුවන්ගේ දුර්වලතා ඒකට ගොඩක් බලපෑවා. අපේ ක්‍රිකට් විනය වගේම අපේ ක්‍රිකට් සංස්කෘතිය නැතිවුණා. කොටින්ම අපේ ක්‍රිකට් උරුමය වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයට තේරුම්ගන්න බැරි බවක් තමයි පෙනෙන්නට තිබුණේ.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ගැරී කර්ස්ටන් පත් කිරීම විශේෂ වුණා. වෙලාවට ඔහුගේ පත් කිරීම පහුගිය කුප්‍රකට සිල්වා ක්‍රිකට් පාලනයෙන් සිදුකළත් ගැරී කර්ස්ටන්ට දැන් වැඩකරන්නට සිද්ධවෙලා තිබෙන්නේ නව ක්‍රිකට් පරිපාලන අතුරු කමිටුව එක්ක. ඒක ඔහුට ඔහුගේ පුහුණුකාර හැකියාවන් උපරිමයෙන් භාවිතා කරන්නට යම් පහසුවක් වෙන්න ඇති.

ඒ විදිහට 2026 මාර්තු 9 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ මේ පත්වීම 2026 අප්‍රේල් 15 වැනිදා සිට ක්‍රියාත්මක වෙන්න වුණා. ඔහුගේ ගිවිසුම 2028 අප්‍රේල් 14 දක්වා බලපැවැත්වෙනවා.

ඉන්දියාව ලෝක ශූරයන් කළ ගැරී මෙහෙයුම

ගැරීගේ පුහුණුකාර ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන පරිච්ඡේදය ආරම්භ වන්නේ ඉන්දියාවෙන්. 2008 මාර්තු මාසයේදී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වන විට ඉන්දියානු කණ්ඩායම කියලා කියන්නේ දක්ෂ ක්‍රීඩකයන්ගෙන් පිරුණු කණ්ඩායමක්. එහෙත් ඔවුන් ජාත්‍යන්තර තරගවලදී අපේක්ෂිත සාර්ථකත්වය අඛණ්ඩව ලබාගැනීමේ අභියෝගයකට මුහුණ දෙමින් තමයි හිටියේ.

මෙතැනදී ගැරී කළේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තාක්ෂණික උපදෙස් ලබාදීම විතරක් නෙවෙයි. කණ්ඩායම තුළ විශ්වාසය, සාමූහිකත්වය, විනය සහ ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩනැඟීම තමයි ඔහුගේ ලොකුම වැඩේ වුණේ. ඒක අතිසාර්ථක වුණා. ඉන්දියාව 2009 වසරේ ටෙස්ට් ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට ආවා. ඒ වගේම අපේ රටේදී අපිට එරෙහිව ඔවුන් පළමු වරට එක්දින ජාත්‍යන්තර තරගාවලි ජයක් වාර්තා කළා. නවසීලන්තයේදී වසර 40කට පස්සේ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ලබාගත්තා. මේවා තමයි ගැරීමය වික්‍රමයන්. ඒත් ඉතිං ගැරීගේ නම ලෝක ක්‍රිකට් ඉතිහාසයට එකතුවුණේ 2011 අප්‍රේල් 2 වැනිදා, ඒ මුම්බායිවල වංකඩේ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව 2011 එක්දින ලෝක කුසලානය දිනාගනිමින්. ඒ වසර 28කට පසුව. මේ ජයග්‍රහණය පිටුපස්සේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය, සචින් තෙන්ඩුල්කාර් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් වගේම ගැරී ගොඩනඟපු කණ්ඩායම් සංස්කෘතිය වැදගත් සාධකයක් වුණා.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. ගැරී ඉන්දියාවට ගියේ අලුතින් දක්ෂ ක්‍රීඩකයන් නිර්මාණය කරන්න නෙවෙයි, ඒ වන විටත් ලෝක මට්ටමේ දක්ෂතා තිබූ ක්‍රීඩකයන්ගෙන් උපරිම දක්ෂතා අරගෙන ඒ දක්ෂතා ජයග්‍රහණයන් දක්වා ඔසවන එක තමයි ඔහුගේ වැඩේ වුණේ. ඔහු ඒක හොඳින්ම කළා.

ගැරී කර්ස්ටන් හොඳට ගහන කාලේ

දකුණු අප්‍රිකාව ලෝකයේ අංක එකට ගෙනා පුහුණුකරු

2011 වසරේදී ඉන්දියාවෙන් සමුගත් ගැරී කර්ස්ටන් ඒ අවුරුද්දෙම දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් වෙනවා. මේ වෙලාවේ ඔහුට මුහුණදීමට සිද්ධවුණේ වෙනස්ම අභියෝගයකට. දකුණු අප්‍රිකාව සතුව ඒ වන විටත් ලෝක මට්ටමේ පිතිකරුවන් සහ වේගපන්දු යවන්නන් සිටියා. Jacques Kallis, Graeme Smith, Hashim Amla, AB de Villiers, Dale Steyn, Morne Morkel වැනි.

ගැරීගේ අරමුණ වුණේ ඒ දක්ෂතා එකම ජයග්‍රාහී ක්‍රමවේදයක් යටතේ මෙහෙයවීම. 2012 අගෝස්තු මාසයේදී එංගලන්තයේ තිබුණ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමෙන් පසුව දකුණු අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට ආවා. ඉන් නොනැවතුණු දකුණු අප්‍රිකාව 2013 වසරේදී ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන ක්‍රිකට් ආකෘති තුනේම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකරගත් කණ්ඩායම බවට පත්වුණා. ගැරීගේ පුහුණුකාර ධුර කාලයේදී දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ ටෙස්ට් තරග 19න් පරාජය වූයේ තරග දෙකක් විතරයි.

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරීම ද ඔහුගේ මෙහෙයුමේ කැපී පෙනෙන ප්‍රතිඵලයක්. මෙහිදී අපි තේරුම්ගත යුතු වැදගත්ම කාරණය තමයි ගැරී කර්ස්ටන්ගේ සාර්ථකත්වය එක් ලෝක කුසලාන ජයග්‍රහණයකට සීමා නොවීම. ඉන්දියාවට ලෝක කුසලානයක් දිනාදීමෙන් පසුව ඔහු දකුණු අප්‍රිකාව ද ලෝකයේ අංක එකට අරගෙන ආවා.

ඒක ඔහුගේ පුහුණුකාර හැකියාව පිළිබඳ වැදගත් සාක්ෂියක්. හැබැයි ගැරී කර්ස්ටන්ගේ පුහුණුකාර ජීවිතය අස්සේ පරාජයනුත් තිබෙනවා. ඔහු පාකිස්තාන කණ්ඩායම භාරගන්නවා 2024 අප්‍රේල් මාසයේදී. එතැනදී ඔහු එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු විදිහට තමයි අවුරුදු දෙකකට පත්වෙන්නේ. හැබැයි එතැනදී ඔහු අසාර්ථක වෙනවා. සමහර විචාරකයන් කියන්නේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක වැඩකරන එක ලේසි වුණේ නෑ කියලා. අවසානයේ ඔහු 2024 ඔක්තෝබර් 28 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. මට හිතෙන්නේ ඒක ව්‍යතිරේකයක් කියලා.

ශ්‍රී ලංකාවට ගැරීගෙන් අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

2026 අප්‍රේල් මාසයේදී අපේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වුණු ගැරීගෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන දේ තමයි 2027 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායමක් හදන එක. මෙන්න මෙතැනදී තමයි මට නම් කර්ස්ටන්මය රිදී රේඛාව පේන්නේ. පවන් රත්නායක වගේ ක්‍රීඩකයෝ දීප්තියෙන් බැබළෙන්න පටන් අරගෙන. මේ දවස්වල ඔහු පාකිස්තානයේදී උපරිම දක්ෂතා අතරට ඇවිත් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දීර්ඝ කාලයකට පස්සේ කණ්ඩායමක් විදිහට එක හුස්මට සහෝදරත්වයෙන් ක්‍රීඩාකරන බවක් පේනවා. හොඳ උදාහරණය ලෝකයේ දෙවැනියට සාර්ථකම හඹායෑමකට පස්සේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීම. මම හිතන්නේ මේ වගේ ජයග්‍රහණයන් අපි කාලයක් තිස්සේ බලාගෙන හිටිය ජයග්‍රහණයන්. මේ වගේ පිස්සු හැදෙන ජයග්‍රහණවලින් පස්සේ තමයි කණ්ඩායම් හැඟීම කියන දේ ඒ කෙමිස්ට්‍රිය තවත් වර්ධනය වෙන්නේ.

2027 ලෝක කුසලානය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව කියන රටවල් තුනේ. අපේ කණ්ඩායමට මේ තරගාවලියේදී මුහුණදීමට සිදුවන්නේ තමන්ට හුරුපුරුදු දකුණු ආසියානු තණතීරු සහ දේශගුණික තත්ත්වයන්ට වඩා වෙනස් අභියෝගයකට. වේගවත් තණතීරු, පන්දුවේ ඉපිලීම, වේගපන්දු යවන්නන්ගේ බලපෑම සහ විදේශීය තත්ත්වයන්ට අනුවර්තනය වීම මේ තරගාවලියේදී තීරණාත්මක වෙයි.

ICC වෙබ් අඩවිය එක්ක 2026 අප්‍රේල් මාසයේදී අදහස් දක්වමින් කර්ස්ටන් කිව්වේ 2027 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සංචිතයේ ගැඹුර තවත් වැඩි කරන්න අවශ්‍යයි කියලා. දැන් ඒක සිද්ධ වෙමින් තිබෙනවා පේනවා.

මේ වෙලාවේ ගැරීගේ අවධානය වැඩියෙන් තියෙන්නේ වේගයෙන් පන්දු යැවිය හැකි ක්‍රීඩකයන්, පන්දුව දෝලනය කළ හැකි පන්දු යවන්නන්, ඉහළ ඉපිලීමක් සහිත පන්දු යැවීමේ හැකියාව තියෙන අය ගැන. ඒ වගේම ඕනෑම තත්ත්වයක් අස්සේ ඕනෑම පීඩනයකට එරෙහිව සාර්ථක විය හැකි පිතිකරුවන් 6 දෙනෙකුගේ ඇණියක්. ඔහු පැමිණි ගමන්ම ටීම් ඔඩිට් එකක් කළා කියලා දැනගන්න ලැබෙනවා. ඩිල්ෂාන් මධුශංක වගේ ක්‍රීඩකයන්ගේ කැපී පෙනෙන දක්ෂතාවයන් පේන්නේ අන්න ඒ නිසා වෙන්න ඇති.

ඔහුගේ පුහුණුකාර ධුරය යටතේ දැනට අපිට ලැබිලා තිබෙන්නේ මොනවාද?

ගැරී කර්ස්ටන්ගේ දායකත්වය ගැන විශ්ලේෂණයක් කළොත් ඔහුගේ පුහුණුකාර ධුර කාලයේ මෙතෙක් වාර්තා වී ඇති තරග ප්‍රතිඵල සැලකිල්ලට ගන්න ඕනෑ. අමතක කරන්න හොඳ නෑ ඔහු කණ්ඩායම භාරගෙන තව ලොකු කාලයක් නෑ. මේ අවුරුද්දේ ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 41කින් ජයගත්තා.

එංගලන්ත සංචාරයේදී ද සැප්තැම්බර් 24දා පැවැති දෙවැනි එක්දින තරගය ලකුණු 16කින් ජයගන්න අපිට පුළුවන් වුණා. මේ තරගයේදී අපේ කණ්ඩායම ලකුණු 321ක් ලබාගැනීම විශේෂත්වයක්.

කොහොමවුණත් මේ සංචාරයේදී පළමු සහ තෙවැනි එක්දින තරග දෙකම අපි පරාද වුණා. විස්සයි20 තරගාවලියේ තරග තුනම පරාජය වුණා. හැබැයි ලොන්තයෝ කියලා කියපු අපේ කණ්ඩායම වළෙන් ගොඩ එන ස්වරූපයක් මේ කාලේ පෙන්නුවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 217කින් පරාජය වුණත් අපිට දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න පුළුවන් වුණා. මෙහෙම බැලුවාම ගැරීගේ ආගමනය අස්සේ අපේ කණ්ඩායම යම් සාර්ථකත්වයක් පෙන්වනවා කියන දේ කියන්න ඕනෑ, ඒක සමස්තයක් විදිහට කණ්ඩායම විශාල පරිවර්තනයකට ලක්වෙලා කියලා කියන්න තවමත් ඉක්මන් වැඩියි කියලයි මට හිතෙන්නේ. ඒත් මේ පාකිස්තාන සංචාරය අස්සේ අපේ කොල්ලන්ගේ දක්ෂතා දිහා බලනකොට කර්ස්ටන්ගේ ආගමනය සුබයි කියලා නම් අනිවාර්යයෙන් කියන්න ඕනෑ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස් කළ යුතු ප්‍රධාන කරුණු පහක්

ගැරී කර්ස්ටන්ගේ අත්දැකීම් සහ ඔහු මීට පෙර කණ්ඩායම් සමඟ අත්කරගත් සාර්ථකත්වය දිහා බලනකොට ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා මානසිකත්වය වෙනස් කිරීම කරන්න ඔහුට පුළුවන් වෙයි. ඔහු ඒක පටන්ගෙන තිබෙන බව පේනවා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී තාක්ෂණික දක්ෂතාව පමණක් ප්‍රමාණවත් නැහැ. පරාජයක් හමුවේ නැවත නැඟී සිටීමටත්, පීඩනය යටතේ තීරණ ගැනීමටත් හැකි මානසික ශක්තියක් කණ්ඩායමකට අවශ්‍යයි. ඉන්දියාවේදී කර්ස්ටන් මේක සාර්ථකව කළා. ඔහු විශ්වාසයෙන් එකට බැඳුණු විශිෂ්ට කණ්ඩායමක් හැදුවා.

දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදීම ප්‍රධානම වැඩක්. අපිට පාකිස්තාන සංචාරය අස්සෙත් යම් යම් තෝරාගැනීමේ අවුල් පෙනෙනවා. සහන් ආරච්චිගේ වගේ ක්‍රීඩකයෝ ඇතුළට ආවේ කොහොමද කියන වගේ ප්‍රශ්න තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මත පමණක් රඳන කණ්ඩායමක් නොවෙයි. අපිට අවශ්‍යයි ජාතික කණ්ඩායමට පිවිසීමට සූදානම් දෙවැනි පෙළක් සහ තෙවැනි පෙළක්.

ක්‍රිකට් ආකෘති තුනටම වෙන වෙනම සැලසුම් සකස් කිරීම අපි මෙහිදී කරන්න ඕනෑ. විස්සයි විස්ස නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ හැමදෙයක්ම වෙනස් වෙලා, මේ වෙනස අඳුරගෙන වැඩ කිරීමේ ලොකුම වගකීම තියෙන්නේ පුහුණුකරුට. ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කියලා කියන්නේ එකම ක්‍රමවේදයකින් ක්‍රීඩා කළ හැකි තරග ආකෘති නොවෙයි. එක් එක් ආකෘතියට ගැළපෙන ක්‍රීඩකයන්, පුහුණු ක්‍රමවේද සහ තරග උපක්‍රම අපි හඳුනාගත යුතුයි. ඒකේ ප්‍රධාන වගකීම යන්නේ කර්ස්ටන්ට.

අවසානයේ අපි තේරුම්ගත යුතු ලොකුම දේ තමයි ගැරී කර්ස්ටන් කියලා කියන්නේ මැජික්කරුවකු නොවේ කියන දේ. ඔහුට තනිවම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට නොහැකියි. ඔහුට අවශ්‍යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය, තේරීම් කමිටුවේ සහාය. අනික් පැත්තෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම සහ දේශපාලනික හෝ පරිපාලනමය මැදිහත්වීම්වලින් තොර වෘත්තීය ක්‍රිකට් පරිසරයක් ඔහුට අවශ්‍යයි.

ඉන්දියාව සමඟ ලෝක කුසලානයක් දිනාගැනීමත්, දකුණු අප්‍රිකාව සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයට පැමිණීමත් ඔහුගේ හැකියාව පිළිබඳ ප්‍රබල සාක්ෂි දෙකක්. නමුත් ශ්‍රී ලංකාවේදී ඔහුට මුහුණදීමට සිදුවන්නේ වෙනස්ම අභියෝගයකට. එනම්, කලක් ලෝක ක්‍රිකට් පිටියේ ගෞරවයට පාත්‍ර වූ කණ්ඩායමක් නැවත එම ස්ථානයට රැගෙන ඒම තමයි ඔහුගෙන් අපි බලාපොරොත්තු වෙන ලොකුම දේ.

ඉතිං අපිට තවදුරටත් අවශ්‍ය වන්නේ අහඹු ජයග්‍රහණ නොවෙයි, අඛණ්ඩව ජයග්‍රහණය කළ හැකි කණ්ඩායමක් තමයි අපිට අවශ්‍ය. දක්ෂ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නොව, දක්ෂ ක්‍රීඩක පරම්පරාවක් අපිට අවශ්‍යයි. තාවකාලික ජයග්‍රහණ නොව, දිගුකාලීන ජයග්‍රහණවලින් සරු ජයග්‍රාහී ක්‍රිකට් සංස්කෘතියක් අපිට හදාගන්න අවශ්‍යයි. 90-80 දශකයේ පැරණි ක්‍රිකට්වල දක්ෂයෙක් වුණ ගැරී කර්ස්ටන්ට ඒකට උපරිම හැකියාව තිබෙනවා. මොකද මේ යුගයේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන්නේ අතීතයේ.

ඉතිං කර්ස්ටන් යටතේ පවන්ලා කෝලිලා වෙනවා නම් අන්න ඒක තමයි ජයග්‍රහණය. ඉතිං බලාගෙන ඉමු. කොහොම වුණත් ක්‍රිකට් නොබලා හිටිය මට ආයෙත් ක්‍රිකට් බලන්න හිතුණ එකම මදැයි කර්ස්ටන්..! ජය කණ්ඩායමට..!

ඉතිං අදත් ලංකාව ලකුණු 300 සීමාව පසු කළා. කමිඳු මෙන්ඩිස් ශතකයක් ගැහුවා. මේ දවස්වල කෝලි වගේ ගහන පවන් අදත් ලකුණු 77ක් ගැහුවා. මේ ලිපිය අවසන් කරන මොහොතේ පාකිස්තානය ඕවර 20ක් ක්‍රීඩා කරලා. මේ වෙනකොට ඩිල්ෂාන් මධුශංක විකට් දෙකක් අරගෙන. මේකත් දිනයි කියලා රසිකයෝ වුණ අපිට දැන් බලාපොරොත්තුවක් ඇවිත්. ඒකම මදිද..!

 -කේ. සංජීව-

Leave a Comment

Your email address will not be published. Required fields are marked *