ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල ජාතික දරිද්‍රතා රේඛාව එක් පුද්ගලයෙකුට මසකට රු. 17,742ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් ගණන රටපුරා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
දරිද්‍රතා රේඛාව යනු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය වන අවම වියදම වන අතර, සැප්තැම්බර් මාසයේදී ඉහළම දරිද්‍රතා රේඛාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එහි අගය රු. 19,136කි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට මාසයකට අවශ්‍ය කරන අවම වියදම මෙම ගණන වන අතර, බොහෝ පුද්ගලයන්ගේ මාසික වේතනය ද මෙම ගණනට පහළ අගයක් බව වාර්තා වෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම අගය රු. 19,037ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ රු. 18,624ක් ලෙස වාර්තා වන බව එම දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙන අතර, ඒ අනුව අඩුම දරිද්‍රතා රේඛාව මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 16,965ක් විය.
බදුල්ල දිස්ත්‍රික්කයේ රු. 17,238ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රු. 17,315ක් ලෙස අනෙකුත් අඩුම අගයන් වාර්තා කර ඇති අතර, මෙයින් පෙනී යන්නේ වසර ගණනාවක් පුරා යම් නිශ්චිත අගයක පැවති මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ පිරිවැයෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව ඇති බවයි.
ඒ අනුව ජාතික දරිද්‍රතා රේඛාව 2012-13 වසරවලදී රු. 5,223ක්ව පැවති අතර, 2016 වසරේදී එය රු. 6,117ක් දක්වාත්, 2019 වසරේදී එය රු. 6,966ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
ඒ අනුව වර්තමාන ආණ්ඩුව යටතේ 2025 සහ 2026 වසරවලදී මෙහි තියුණු ඉහළ යාමක් වාර්තා කරන අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙය 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දළ වශයෙන් සියයට 8.1ක වැඩිවීමක් බවත්, 2019 වසරේ පැවති මට්ටමට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි අගයක් බවත් වාර්තා වෙයි.




