සුපිරි එල්-නීනියෝවකින් ලංකාවට නියඟයක් එයිද?

weather knews

2026 ජුනි මස වනවිට ගෝලීය දේශගුණ අනාවැකි අනුව පැසිෆික් සාගරයේ එල්-නීනියෝ තත්ත්වයක් වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර එය වසර අවසානය වනවිට ‘සුපිරි එල්-නීනියෝ’ මට්ටමක් දක්වා වර්ධනය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතී. මෙම ලිපියේ අරමුණ වූයේ පසුගිය ප්‍රබල එල්-නීනියෝ අවස්ථා 5ක් (1972-73, 1982-83, 1997-98, 2015-16, 2023-24) විශ්ලේෂණය කරමින් එවැනි තත්ත්වයක් ලංකාවේ වැසි, උෂ්ණත්වය සහ වායුගෝලීය හැසිරීම කෙරෙහි ඇති කළ බලපෑම් හඳුනා ගැනීමයි.

එල්-නීනියෝ යනු ENSO (El Niño Southern Oscillation) සංසිද්ධියේ එක් අවධියකි. එය පැසිෆික් සාගරයේ ඇතිවුවද, ලෝකය පුරා සුළං රටා සහ වර්ෂාපතන ව්‍යාප්තිය වෙනස් කිරීමේ හැකියාවක් ඇති බැවින් ශ්‍රී ලංකාවටද සැලකිය යුතු බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් එල්-නීනියෝ තත්ත්වයක් වසරේ මුල් භාගයේ ආරම්භ වී නොවැම්බර්–දෙසැම්බර් කාලයේ උපරිම ප්‍රබලතාවට පත්වේ.

පසුගිය ප්‍රබල එල්-නීනියෝ අවස්ථාවල නිරීක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය මාස අනුව වෙනස් ආකාරයෙන් බලපෑමට ලක්වී ඇත. මැයි මාසයේදී සාමාන්‍යයට වඩා තරමක වැසි වැඩිවීමක් දක්නට ලැබී ඇත. එහෙත් ජුනි, ජුලි සහ අගෝස්තු මාසවලදී වැසි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර උෂ්ණත්වය වැඩි වී ඇත. විශේෂයෙන් අගෝස්තු මාසයේදී වැසි හිඟය සහ උෂ්ණත්ව ඉහළ යාම නිසා නියං ලක්ෂණ වර්ධනය විය හැකි බව දත්ත පෙන්වයි.

සැප්තැම්බර් මාසයේදී නිරිතදිග මෝසම දුර්වල වන අතර අන්තර්මෝසම් තත්ත්වයන් ආරම්භ වීමත් සමඟ වැසි තත්ත්වය තරමක් යහපත් වන ප්‍රවණතාවක් පවතී. ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී, ගෝලීය වශයෙන් බොහෝ රටවල් වියළි සහ උණුසුම් තත්ත්වයන් අත්දැක තිබුණද, ශ්‍රී ලංකාවේ සාමාන්‍යයට වඩා වැඩි වැසි ලැබී ඇති බව නිරීක්ෂණය වී ඇත. එම නිසා දෙවන අන්තර්මෝසම් සමයේදී එල්-නීනියෝව වැසි වැඩි කිරීමට දායක වී ඇති බව පෙනේ.

උෂ්ණත්වය සම්බන්ධයෙන්, මැයි සහ ඔක්තෝම්බර් මාස හැරුණු විට බොහෝ මාසවලදී සාමාන්‍යයට වඩා වැඩි උෂ්ණත්වයන් වාර්තා වී ඇත. විශේෂයෙන් ඊළඟ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී උෂ්ණත්ව විෂමතා වඩාත් ඉහළ මට්ටමක පැවතිය හැකි බව පෙර දත්ත පෙන්වයි. එබැවින් 2027 මාර්තු–අප්‍රේල් කාලයේ උෂ්ණත්ව වැඩිවීම් පිළිබඳ විශේෂ අවධානයක් අවශ්‍ය වේ.

වායුගෝලීය විශ්ලේෂණ අනුව, ප්‍රබල එල්-නීනියෝ අවස්ථාවලදී මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් සුළං සාමාන්‍යයට වඩා දුර්වල වී ඇත. මෙය දකුණු ඉන්දීය සාගරයෙන් සහ අරාබි මුහුදෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ජලවාෂ්ප ප්‍රවාහය අඩු කරන බැවින් වැසි අඩුවීමට හේතු වේ. ජුනි–අගෝස්තු කාලයේ වැසි හිඟය සඳහා මෙය ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගත හැක.

අනෙක් අතට, ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පහළ වායුගෝලයේ සුළං රටා දුර්වල වීම සංවහන වැසි වර්ධනයට සහ බෙංගාල බොක්කේ අඩු පීඩන පද්ධති නිර්මාණයට හිතකර තත්ත්වයන් සලසයි. එමඟින් ශ්‍රී ලංකාවේ දෙවන අන්තර්මෝසම් වැසි සාමාන්‍යයට වඩා වැඩි විය හැක.

සමස්තයක් ලෙස, ප්‍රබල එල්-නීනියෝවක් ශ්‍රී ලංකාවේ සෑම කාලයකම නියඟයක් හෝ ගංවතුරක් ඇති කරයි යැයි පැවසිය නොහැක. එහි බලපෑම ඍතු අනුව වෙනස් වේ. පසුගිය දත්ත අනුව මැයි මාසයේ වැසි වැඩිවීමක්, ජුනි–අගෝස්තු වැසි අඩුවීමක්, සැප්තැම්බර්–දෙසැම්බර් වැසි වැඩිවීමක් සහ ඊළඟ වසරේ ජනවාරි–අප්‍රේල් වැසි අඩුවීමක් නිරීක්ෂණය වී ඇත. ඒ සමඟම බොහෝ මාසවල උෂ්ණත්වයද ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.

එබැවින් ජල සම්පත් කළමනාකරණය, කෘෂිකාර්මික සැලසුම්කරණය, උෂ්ණත්ව අවදානම් සඳහා සූදානම් වීම සහ නිල කාලගුණ අනාවැකි අඛණ්ඩව අනුගමනය කිරීම ඉදිරි මාසවලදී අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් මෙම සංසිද්ධිය විසින් පමණක් කාලගුණය තීරණය නොකරන අතර Madden–Julian Oscillation, Indian Ocean Dipole, සුළි කුණාටු සහ වෙනත් කලාපීය සාධකද අවසාන ප්‍රතිඵලයට බලපාන බව සැලකිල්ලට ගත යුතුය.

මූලාශ්‍ර – https://www.cclka.com වෙබ් අඩවිය

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...