දැරණියගල කියන්නේ ඉස්සර ඉඳලම කසිප්පු විමානයක්. නූරිය දිව්වෙම කසියා වලින්. නූරියේ අතකොටා සහ පිරිවර කළේ කසියා බිස්නස් එක සහ වත්තේ දළු ටික කඩලා විකුණගන්න එක. එහෙව් පාතාල රාජ්‍යය අවසන් වුණේ, නූරි පාතාලයේ රජ්ජුරුවෝ වුණ අතකොටා එහෙම නැත්තං දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ විසින් නූරි වතුයායේ වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කිරීමත් එක්ක. මේ ඝාතනය සිද්ධ වෙන්නේ 2013 ජූලි මස 5 වෙනිදා. අතකොටාගේ අනීතික වැඩවලට විරුද්ධ වීම තමයි ඝාතනයට හේතුව වුණේ. රංචුවක් එකතු වෙලා සහාසික විදිහට සංවිධානාත්මකව තමයි මේ අපරාධය කරන්නේ. 2013 කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බහින කලාව නිසා හොඳට ගියා. අන්තිමට යහපාලනය ආපු නිසා නීතිය ක්‍රියාත්මක වුණා. රංචුව 18ක් මරණ දඬුවමින් දඬුවම් ලැබුවා. මේ සිද්ධිය නිසා තමයි නූරියේ මේ අපරාධ රාජ්‍යය වහලා දාන්න මේ රංචුවට සිද්ධ වුණේ. හැබැයි මට ඊයේ දැරණියගල නූරි පාරේ හම්බානවෙල ගමේදී රංචුවක් එකතු වෙලා පොලිසියට හොඳටම ගහන වීඩියෝ එකක් දැක්කාම හිතුණා ඒ පාතාල රාජ්‍යය ඉවර වෙලා නෑ කියලා.
පහළට කියවගෙන යන්න. මම මේ හදන්නේ අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සුද්ද කිරීමක් නෙවෙයි. මට අවශ්‍ය ලංකා රාජ්‍යයේ දිගින් දිගටම මේවා වෙන්නේ ඇයි කියන එකයි. මම අද උදෙන්ම (20) පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට කතා කළා. එතුමා කිව්වේ දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලැබී තිබුණ නිර්නාමික පෙත්සමක් නිසා අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් 2026.06.19 දා උදෑසන උපාය දූතයින් විදිහට සිවිල් ඇඳුමින් සැරසිලා ගිහින් මේ වැටලීම කරන අතරතුර තමයි මේක වෙලා තියෙන්නේ. එක්කෙනෙක් අතේ මත්ද්‍රව්‍ය තිබිලා අහුවුණාම ඔහු ගමටම ඇහෙන්න කෑගහලා තියෙනවා, එතැනින් පස්සේ තමයි මේ පහරදීම වෙලා තියෙන්නේ කියලා. සිද්ධියට සැකපිට පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා උඩ 4ක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලත් ඔහු කියනවා. පහර කෑ පොලිස් නිලධාරීන් හතර දෙනෙක් මේ වෙනකොට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා, පොලිසිය දිගටම මේ ගැන විමර්ශනය කරනවා කියලා තමයි එතුමා කියන්නේ. ඒක තමයි පොලිසිය පැත්තේ කතාව.
දැන් මගේ අදහස මම මෙහෙම කියන්නම්. ඊයේ පොලිසියට ගහපු සීන් එකේ වීඩියෝස් බැලුවාම පේන දේවල් අනුව තමයි මම මේ අදහස ඉදිරිපත් කරන්නේ. පොලිසිය නූරියට කිට්ටු මේ වගේ තැනකට මෙහෙම යන්නෙම ඔවුන්ට මෙහෙම ගිහින් නඩු අරන් ඇවිත් සුපුරුදු නිසා වෙන්න පුළුවන්. පොලිසිය කසියා නඩු ගන්න විදිහත් ඉතින් ලංකාවේ අපරාධ රාජ්‍යයේම කොටසක් තමයි. දැන් ඉතින් කසියා තැනට ඇවිත් තියෙන්නේ අයිස්. මේ ස්ථානයේ මෙහෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා කියලා චෝදනා තියෙනවා නම් ඇයි මේ විදිහට ගියේ? මට නම් තියෙන ප්‍රධාන ගැටලුව ඒක.
මොකද ඔය නූරිය පාරේ ඔය හරියේ ඔහොම බහින්න නම් පොලිසියට පුරුද්දක් තියෙන්න ඕනේ. වෙපන් එකක්වත් අතේ නෑ වගේ තමයි පේන්නේ. සිවිල් පිට. මේ කොල්ලොත් මෙහෙම රියැක්ෂන් එකක් දෙන්නේ මුන්ට පොලිසියට කොටස දීලා දීලාම එපා වෙලා වෙන්න පුළුවන්. ඉතින් මෙතැන උඩ දාගෙන නටන්න දෙයක් නෑ මේක තමයි ලංකා රාජ්‍යයේ සාමාන්‍ය ස්වභාවය.
ඔය රත්නපුර වේවල්වත්ත පැත්තේ මස්කෙළිය බෝඩරේ එහෙම ඔහොම කසියා හොයන්න ගියොත් කෑලිත් නැති වෙනවා. හැබැයි ඉතින් සුරාබදු එකයි පොලිසියයි පූසෝ වගේ ගිහින් නඩු අරන් එනවා. ඒකයි මම කිව්වේ ඔය නඩු ගන්න සිස්ටම් එකම හදලා තියෙන්නේ අපරාධය පවත්වා ගනිමින් ඒකෙන් රාජ්‍යයට කීයක් හරි හොයාගන්න. එහෙම සංස්කෘතියක් අස්සේ මේ වගේ පොඩි වයර් සෝට් වෙනවා.
අපි කොච්චර කල් ඉඳලද කියන්නේ මේ වගේ මෙහෙයුම්වලට යනකොටවත් අඩුම පොලිසිය බොඩිකැම් භාවිතා කරන්න ඕනේ කියලා. එහෙම කළා නම් මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා බලාගන්න තිබ්බා. එහෙම නම් මේ වගේ චෝදනාවක් පොලිසියට එන්නෙත් නෑ. මෙතැන තියෙන උත්ප්‍රාසය තමයි මේ කොල්ලෝ මත් පැකට් එකක් අතට අරගෙන කියනවා මේක පොලිසිය තමයි ගෙනාවේ කියලා. මීට කලින් මේ චෝදනාව කළේ පොලිසිය. පොලිසිය අත්අඩංගුවට ගන්න අයට මත් දානවා කියන කතාව අද ඊයේ දෙයක් නෙවෙයි. ඒ නැරටිව් එක අපරාධකාරයොත් දැන් පාවිච්චියට ගන්නවාද කියන සැකය මට මේ වීඩියෝ එක බලනකොට ඇති වුණා. ඒක එහෙම නොවී මේ කියන විදිහටම පොලිසිය මේ තරුණයෝ කුදලගෙන යන්න හිතාගෙනම මේක අරගෙන ආවා වෙන්නත් පුළුවන්.
ඒ නිසා පොලිසිය වෙනස් නොවුණොත් පොලිසියට විතරක් නෙවෙයි සමස්තයටම අබ සරණයි. පොලිසිය දුන්නයි කියන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව මේ මුදාහරින ප්‍රචණ්ඩත්වය දිහා බැලුවාම මට නම් පේන්නේ අර පාතාල රාජ්‍යයන් ආයෙත් ශක්තිමත් වෙලා කියන එක. මට මේක දැක්කාම හිතුණේ මුන් ගමේ සාමාන්‍ය අහිංසක මිනිස්සු එක්ක කොහොම ජීවත් වෙනවා ඇද්ද කියලා. ඔහොම ගම්, ඔහොම ප්‍රදේශ ලංකාවේ ගොඩක් තියෙනවා. ඒවා පවත්වාගෙන යන්නේ පොලිසියේ ඕඅයිසීගේ සහායෙන්. දෙගොල්ලොම දෙගොල්ලන්ට අන්‍යොන්‍යාධාරයෙන්. හිටිගමන් වයර් සෝට් වෙලා මෙහෙම දේවල් වුණාම තමයි මුන් දෙගොල්ලන්ගෙම කක්කා පස්ස පේන්නේ.
සමාජයත් එහෙම වෙලාවට ඉස්සරහට ඇවිත් මුන් දෙගොල්ලන්ටම එකට තියලා සමතලා කරගන්න දැනගන්න ඕනේ. නූරි වතු අධිකාරිගේ ඝාතනය වෙලාවේ නම් අපි ඒක කළා. මේ රට අඩිය අඩිය ඉස්සරහට යන එහෙම ගිහිල්ලත් ආයේ කිලෝමීටරයක් විතර පස්සට එන රටක්නේ. ඒ නිසා මේ වගේ අහම්බ අවස්ථා අපිට වටිනවා. මාත් ඔය වගේ ගමක ඉපදුණ ජීවත් වුණ කෙනෙක් නිසා මට ඉතින් ඕක තේරෙනවා.
ඒ නිසා මොන වැල් බයිලා ගැහුවත් මට නම් මේ සිද්ධියෙන් පේන්නේ නීතියේ ආධිපත්‍යයට කෙළවෙලා තිබෙන කෙළවිල්ල. මෙහෙම තත්ත්වයකදී අසරණ වෙන්නේ මේ ගම්වල ජීවත් වෙන කිසිම බලයක් හවුහරණක් නැති වාටියේ මිනිස්සු. තැලෙන්නේ ඒ මිනිස්සු. පොලිසිය ආයේ ඇවිත් වටකරලා ගැහුවත් ගුටි කන්නේ ඒ මිනිස්සු.
ඔය නූරි සිද්ධිය වෙලාවේ මම ඒ ගැන රාවයට ලිපි 5ක් විතර ලිව්වා. ඒ කාලේ දැරණියගල පදිංචි වෙලා වගේ තමයි හිටියේ. එදා නූරියේ දුප්පත් මිනිස්සු විශේෂයෙන් කාන්තාවන් කියපු කතා කවදාවත් අමතක නොවෙන ජීවිතේ අහපු දුක්ඛිතම කතා. ඒවායේ සාරය වුණේ මනුෂ්‍යත්වයට එරෙහි බව. එහි අපරාධකාරීත්වයේ සැහැසිකම. ඉතින් මට නම් මේ වීඩියෝ බලනකොටම මේක පේන්නේ ඒ නූරි පොදු කවුළුවෙන්. ඒ නිසා මේ ලිවිල්ලේ අවුලක් තිබුණොත් සමාවෙන්න ඕනේ.
තව පොඩි සිද්ධියක් මතක් වුණා. අපි දවසක් ඔය කිට්ටුවම රඹුක්කන ෂූට් එකකට ගිහින් හවස 7ට විතර ඇඳිරි වැටෙනකොට චූ කරන්න පිට්ටනියක් පිටිපස්සේ තිබුණ කොන්ක්‍රීට් සිලින්ඩර් ටිකක් ළඟට ගියා. ගියාම ඊට ටිකක් එහායින් බියර් එකක් ගගහා හිටිය කොල්ලෝ දෙන්නෙක් “ඒයි *කයා මෙහේ වරෙන්” කිව්වා. කීප පාරක්ම කතා කළා මේ විදිහට. අපිත් මැරුම් කෑවත් මොකක්ද ලබ්බක් ආරක්ෂා කරගන්න ට්‍රයි කරනවානේ. මම ඇහුණේ නෑ වගේ වැඩේ කරලා පාරට ආවා. අරූගේ ඊගෝ එකට හොඳටම කෙළවෙලා උන් දෙන්නාම පොලු අරගෙන අපිට ගහන්න අපේ වාහනේ කුඩු කරන්න මාර නැටිල්ලක් නැටුවා.
පස්සේ ඒ ගමේම මිනිස්සු කිව්වා මුන් කසිප්පු බිස්නස් කරන්නේ ගමේ අයටත් ඔහොම තමයි කියලා. ඉතින් මිතුරනි ඔය වගේ ගම් ලංකාවේ ගොඩාක් තියෙනවා. ඒවා පවත්වාගෙන යන්නේ පොලිසිය.
ඔහොම ඉඳලා හිටලා ඩාම් වෙනවා ඩූම් වෙනවා…!
-කේ.සංජීව-




