[gtranslate]

AI වලට මිනිස්සුන්ගෙ හිත් කියවන්නත් පුළුවන්ලු.!

hero image.fit lim.size 1600x900.v1702560708

එක්දහස් එක් රැයවල් එක්දහස් එකකට පස්සෙ හදිසියේම අපේ හිතවතුන් හැමෝගෙම ජීවිතවලට පොදු තාක්ෂණික අසල්වැසියෙක් ඇවිත්. දුරස්ථ පාලකය ක්‍රියාවිරහිත වුණාම දකුණු කලවය මතට වැරෙන් දෙවරක් තට්ටු කර එය මට්ටු කරන අම්මාටත් AI ගැන අදහසක් තියනවා. 

කටකතා මතින් බිහිවුණු භයානක මතවාද පසෙක ලා එකී අසල්වැසියාගේ නිවසට ගොඩවැදුණු අයට නම් ඒක කාලය ඉතුරු කරන සුහුරු මෙවලමක් බවට පත්වෙලා.

AI එක්ක කිසිම ගනුදෙනුවක් නොතිබුණ කෙනෙකුට ඒ පළමු සංවාදය විස්මලන්තයකට දොරක් ඇරියා වගෙයි කිව්වොත් නිවැරදියි. හුඟක් අයට තමන්ගේ පළමු කෘත්‍රිම බුද්ධි සහායකයා වුණේ චැට්ජීපීටී.

අපි හෙලෝ කිව්වා. ඇත්තටම අපි එහෙම ටයිප් කළා. මොකක්ද අද ඔයාට මගෙන් කෙරෙන්න තියෙන්නේ වගේ ප්‍රතිචාරයක් ආපිට ලැබුණා. හෙලෝ කියන්නෙ ආමන්ත්‍රණයක් වුණාට AI සමඟ සන්නිවේදනයේ දි අපේ පාර්ශවයෙන් සිදුකරන ඕනෑම විධානයකට, අහන ප්‍රශ්නයකට අපි කියන්නෙ “ප්‍රොම්ප්ට්” එකක් කියලා. 

පහසුව සඳහා පොදුවේ AI ලෙස භාවිතා කළත්, සරල පැහැදිලි කිරීමක් සිදුකළොත් භාෂාව හඳුනාගැනීම, පින්තූර නිර්මාණය, දත්ත විශ්ලේෂණය වැනි මිනිස් බුද්ධිය අවශ්‍ය වන සමහර කාර්යයන් කාර්යක්ෂමව ඉටු කරගැනීම පිණිස නිර්මාණය කළ පරිගණක ක්ෂේත්‍රයක් විදියට කෘත්‍රිම බුද්ධිය අරුත්ගන්වන්න පුළුවන්.

AI කියන්නෙ විෂය ක්ෂේත්‍රය නම්, චැට්ජීපීටී, ක්ලෝඩ්, ජෙමිනයි වැනි LLM (Large Language Model) හරහා අපි ඒ තාක්ෂණය සමඟ වැඩකරනවා. 

පෙර සඳහන් කළ කාර්යයන් සඳහා මිනිසුන් වශයෙන් අපි මොළය වෙහෙසවා තීරණ ගනු ලබනවා. කෘත්‍රිම බුද්ධිය විසින් එය සිදුකරන්නේ තම පරිගණක වැඩසටහනට ඇතුළත් කර ඇති දත්තයන් හි රටාව හඳුනාගෙන, මීට පෙර මෙවැනි අවස්ථාවක සිදු වී ඇත්තේ කුමක්දැයි සොයා බලා, ඉදිරියට සිදුවීමට වැඩිම සම්භාවිතාවක් ඇති දේ තීරණය කිරීමෙනුයි.

සරල උදාහරණයක් ලෙස ඔබේ ජංගම දුරකථනයේ ඇති කරදරකාරී ඔටෝ-කරෙක්ට් යෙදවුම ගැන සිතන්න. අපි අකුරු කිහිපයක් ටයිප් කළ විට එහි ඇති සීමිත දත්ත මත පදනම්ව මේ වචනය නම් මෙය විය යුතු යැයි සිතා එය අපිට වචනයක් යෝජනා කරනවා. අක්ෂර වින්‍යාස නිවැරදි කරනවා. නමුත් සිංග්ලිෂ් වලින් යමක් ටයිප් කරන විට එම යෙදවුමේ ඇත්තේ සිංග්ලිෂ් නොව ඉංග්ලිෂ් නිසා අපි ටයිප් කළ වචනයට ආසන්න ඉංග්‍රීසි වචනයක් ස්වයංක්‍රීයවම යෝජනා වෙනවා.

එය අපේ අරමුණ මුදුන් පමුණුවන්නේ නැහැ. නමුත් නූතන භාෂා මොඩලයන් විවිධ පරාමිතීන්වල දැවැන්ත දත්ත පද්ධතියක් භාවිතාකරමින් භාෂාව, රූප, ශබ්ද, පරිගණක කේත පමණක් නොව මිනිස් හැසිරීම් රටා යන මේ සියල්ල හරහා වඩාත් සාර්ථක ලෙස අනුමාන සිදුකරනවා.

මේ සියල්ල දැන සිටියදී පවා එහි චතුර භාෂා භාවිතයට “බුද්ධිමත් බව” යැයි අපි රැවටෙනවා. යමක් ඉතා සුමටව පැවසීම හෝ ඉතා වේගයෙන් ප්‍රතිචාර දැක්වීම යනු යන්ත්‍රයකට සිතීමේ හැකියාවක් ඇති බවට සාක්ෂියක් නොවේ.

එය සාවද්‍ය මූලාශ්‍රයක් ඔබට ගෙන හැර පානවා වෙන්න පුළුවන්. ඉලක්කම් පටලවා ගන්නවා වෙන්න පුළුවන්. පරිපූර්ණ ලෙස පෙනෙන පැහැදිලිකිරීමක් පවා සම්පූර්ණයෙන්ම දෝෂ සහගත වෙන්නත් පුළුවන්.

AI සතුව ඇති නොසැලෙන විශ්වාසයටත්, අලංකාර භාෂාවටත් ඔබව මුළා කිරීමට ඉඩ දෙන්න එපා. එයින් ලැබෙන ප්‍රතිචාරය තහවුරු කරගැනීම ඔබේ කාර්යය නිමාකරන අනිවාර්ය අංගය බවට පත්කරගන්න. 

ඉතාමත් ආචාරශීලී නමුත් හරිම භයානක තවත් දෙයක් AI සිදුකරනවා. අපේ වැරදි උපකල්පන, දත්ත සියල්ල පිළිගෙන ඒ ඔස්සේ ඉදිරියට යාමට එය අතිදක්ෂයි.

ප්‍රොම්ප්ට් එක යම් කාරණාවකට අනවශ්‍ය තරම් පක්ෂපාතී නම් අපට ලැබෙන ප්‍රතිචාරයත් නිවැරදි අපක්ෂපාතී ප්‍රතිචාරයක් නොවීමට බොහෝ ඉඩකඩ තියනවා. දෝෂ සහගත ප්‍රශ්නය සමඟ තර්ක කරනවා වෙනුවට දෝෂය තවත් වැඩිදියුණු කළ ප්‍රතිචාරයක් ඉන් ලැබෙන්න පුළුවන්.

කෘත්‍රිම බුද්ධිය පවුලේ වෛද්‍යවරයා, නීතිඥයා, මූල්‍ය උපදේශකයා කර නොගත යුතු වන්නේ ඒ නිසයි.

ඉතින්, AI මිනිස් සිතුවිලි කියවන බවට වන ජනකාන්ත මිත්‍යා මතය බැහැරකරන්න. එය කියවන්නේ අපේ ප්‍රොම්ප්ට්ස් පමණයි.

එහෙත්, සැනසුම් සුසුම් හෙළීමට ද ඉක්මන් නොවන්න. තවමත් ඔබ අවදානමෙන් මිදී නැත.

එය අපේ සිත නොකියවන නමුත් එය අපේ ප්‍රොම්ප්ට්ස් කියවයි. ප්‍රොම්ප්ට්ස් මඟින් අප හෙළිකරන දෑ කාටවත් නොකියමියි ගිවිසුමක් නොමිලේ ලැබෙන AI මොඩලයෙහි නැත.

බැංකුවට යැවීමට නියමිත ඊ-මේලයේ ඉංග්‍රීසි ව්‍යාකරණ නිවැරදි කිරීමට ලබා දුන් විස්තරයට ගිණුමේ මුරපදය, බැංකු තොරතුරු, හැඳුනුම්පත් අංක, දුරකථන අංක හෝ නිවසේ ලිපිනය අවශ්‍ය නොවේ. 

නිර්මාණශීලීත්වයේ රන්සුනු කෘත්‍රිම බුද්ධියෙහි නොමැත. එය ඔබත්, මමත්, මුළු මහත් ලෝකයත් එක්ව නිර්මාණය කළ දේ එක්කාසු කොට අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කරනවා පමණි.

image

-නර්මදා විජේගුණරත්න-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ?

පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි...

හිමගිර පාමුල

ගස් අතු ඉති සිරි සිරියක පැටලිලා. කඩේ පියැස්සෙන් බිමට විසි කරන වැසි දිය පුංචි දිය සීරා​වක පැටලිලා ගඟ හොයනවා. ඈතින් හිමගිර වසාගත්ත සුදු වළාකුළු වැස්ස වලාහක දෙවියන්ට තව තවත් ඇරයුම් කරනවා. දෙවියන්ගේ රටේ...

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...