අසාද් මවුලානා සහබ් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී ඇති බවත් ඒ සඳහා ඡායාරූප සාක්ෂි ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු අනාවරණය කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අද(24) දින අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර තිබුණු අතර එහිදී එයට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 2017 වසරේ ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී පැවති සාකච්ඡාවකදී අසාද් මවුලානා මුණගැසුණු බවට තම සේවාදායකයාට මතකයක් නැති බවය. සාමාන්‍යයෙන් දේශපාලකයන් පුද්ගලයන් හමුවෙන බව මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලනඥයන් මුණගැසීමට විවිධ පුද්ගලයන් නිරන්තරයෙන් පැමිණෙන බැවින්, එවන් ඡායාරූපයක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට මතකයක් නොතිබීම පුදුමයට කරුණක් නොවන බවය.
එහෙත් එහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කර ඇත්තේ, අසාද් මවුලානා විසින් චැනල් 4 නාලිකාවට කර ඇති ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ එකක් බවය. එවැනි තත්ත්වයකදී අසාද් මවුලානාගේ ප්‍රකාශයක් මත පමණක් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට දැනගන්නට ඇතැයි ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර ඇත.
මෙම රිට් පෙත්සමට අදාළ නඩු විභාගය යළිත් එළඹෙන ජූලි 06 සහ ජූලි 09 යන දෙදින තුළ විභාගයට ගන්නා බවද වාර්තා වෙයි.






