ශ්‍රී ලංකාව මේ වන විට ‘එල් නිනෝ’ කාලගුණික අවධියකට ඇතුළු වී ඇති බැවින් ඉදිරි මාසවලදී දැඩි කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඒ අනුව, ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 63% ක සහ දුර්වල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 33% ක සම්භාවිතාවක් පවතින බවයි එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේ. මෙම බලපෑම නිසා එළඹෙන අගෝස්තු මාසයේදී දිවයිනට ඉතා අඩු වර්ෂාපතනයක් ලැබුණත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අධික වැසි සමඟ ගංවතුර අවදානමක් ඇති විය හැකියි.
පවතින තත්ත්වය හමුවේ ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් කෙටි, මධ්‍යම හා දිගුකාලීන උපායමාර්ග සකස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කැබිනට් අනුකමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත් කර තිබේ.
මේ යටතේ ඉදිරි සති දෙක ඇතුළත තමන්ගේ ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කරන ලෙස සියලුම අදාළ අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තුවලට දැනටමත් නියෝග කර ඇත.
එමෙන්ම, මහජනතාව නොමඟ යෑම වැළැක්වීම සඳහා එල් නිනෝ තත්ත්වයට අදාළ සියලුම නිල තොරතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා පමණක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ.






