දිගින් දිගටම වර්ධනය වෙමින් තිබෙන අලි මිනිස් ගැටුම අවසන් කර අලි මිනිස් සහජීවනය සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමත ක්‍රියාකාරී කමිටුවක් පත්කරන්නට රජය පියවර ගෙන ඇත.
මෙම විශේෂඥ කමිටුව ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු, ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය යූ.කේ.ජී.කේ. පද්මලාල් සහ ආචාර්ය එස්. විජේමෝහන් ඇතුළු ප්‍රමුඛ පෙළේ වනජීවී විද්‍යාඥයින් සහ පරිසරවේදීන්ගෙන් මෙම සමන්විත වන අතර අලි මිනිස් ගැටුම අවසන් කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත ප්‍රායෝගික උපායමාර්ගික වැඩපිළිවෙලක් සකස් කිරීම මෙම විද්වතුන්ගේ කාර්‍යභාරය බව ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.
පරිසර අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවති සාකච්ඡා මාලාවකින් අනතුරුව මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ වන අලි ගහනයේ පැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කරමින් අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා නෛතිකව ක්‍රියාත්මක කළ හැකි, සාක්ෂි මත පදනම් වූ නිර්දේශ සහ ප්‍රායෝගික උපායමාර්ග මෙම කමිටුව විසින් සකස් කරනු ඇත.
මාස තුනක් ඇතුලත එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බවද වාර්තා වෙයි.






