මීගමුව බන්ධනාගාරයේ අද (7) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑම නිසා රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 35 දෙනෙකුට අධික රැඳවියන් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.
මීගමුව බන්ධනාගාරය තුළ දහවල් කාලයේ මෙම කලහකාරී තත්ත්වය ඇතිවී ඇති අතර, එය බන්ධනාගාර පාලනයෙන් ගිලිහී ගොස් ප්‍රචණ්ඩ වීමත් සමඟ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මතට නැඟ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇතැයි ද, පසුව එයට පිරිමි රැඳවියන් ද එක්වී ඇතැයි ද වාර්තා වෙයි.
බන්ධනාගාර තදබදය ඉහළ යාම සහ ඩෙංගු රෝගය බන්ධනාගාරය තුළ උත්සන්න වීමත් සමඟ රැඳවියන් අතර දින කිහිපයක සිට යම් නොසන්සුන්කාරී තත්ත්වයක් තිබුණු බව වාර්තා වෙයි.
මේ අතර මීගමුව පොලීසියේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ මෙම නොසන්සුන් තත්ත්වය ඉහළ යාමත් සමඟ කලහකාරී ලෙස හැසිරී ඇති රැඳවියන් බන්ධනාගාරයෙහි විශේෂිත කුටිවල ඉබියතුරු කඩා එහි රඳවා සිටින විශේෂිත රැඳවියන්ට පහරදී ඇති බවත් ඔසුසල කඩා එහි තිබූ වේදනා නාශක අධි මාත්‍රාවෙන් පානය කර ඇත් බවත් ය. මේවා තහවුරු නොකරන ලද වාර්තා ය.
මේ වනවිට තුවාලකරුවන් මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත්, ඒ අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන තිබුණු බවත් වාර්තා වන අතර, තුවාල ලැබූ රැඳවියන් 10 දෙනෙකුට අධික පිරිසකට හදිසි සැත්කම් මීගමුව රෝහල තුළ සිදුකර ඇති බවත් මීගමුව රෝහල් ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.
අද සවස් කාලය වනවිට මෙම තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් තම රැඳවියන්ගේ සුවදුක් දැනගැනීමට බන්ධනාගාරය අසලට එකතු වූ අතර, ඒ සමඟ එම ස්ථානයේද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
තවමත් තත්ත්වය හරියාකාරව පාලනය කර ඇති බවට තොරතුරු වාර්තා නොවන අතර, රාත්‍රි 7.00ට පමණ බන්ධනාගාර ප්‍රකාශකයෙකු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ විය. මේ වනවිටත් තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන ඒකකය, විශේෂ කාර්ය බලකාය, පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාරය අභ්‍යන්තරයට සහ අවට පරිශ්‍රයේ ස්ථානගතකර තිබේ.
ලංකාවේ බන්ධනාගාර තුළ මෙවැනි තත්ත්වයන් සාමාන්‍ය වන අතර, මෙයට හේතුව බන්ධනාගාර ධාරිතාව ඉක්මවා යන ලෙස රැඳවියන් බන්ධනාගාර තුළට යොමු කිරීමයි. මීගමුව බන්ධනාගාරයේ පමණක් 1800ක පමණ රැඳවියන් රඳවා සිටින බව වාර්තා වෙයි.
World Prison Brief දත්තවලට අනුව 2026 ජුනි 29 වන විට රැඳවියන් 42,034ක් ලංකාවේ බන්ධනාගාර තුළ සිටින අතර, එයින් 73.8%ක ප්‍රමාණයක් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරවලය.
මෙම සමස්ත රැඳවියන් ප්‍රමාණයෙන් 5.3%ක් කාන්තා රැඳවියන් වන අතර, බොහෝ බන්ධනාගාර සැලසුම් කළ ධාරිතාවට වඩා 2–3 ගුණයක රැඳවියන් සිටින බව ප්‍රකාශ වන අතර, එනිසාම සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් පවතින්නේ හොඳ මට්ටමක නොවන බව ප්‍රකාශ වෙයි.
සිරකුටිවල අධික පිරිසක් රැඳවීම, බිම නිදාගැනීමට සිදුවීම, බෝවන රෝග පැතිරීමේ අවදානම, වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම, පුනරුත්ථාපන වැඩසටහන් සීමා වීම, බන්ධනාගාර නිලධාරීන්ට අධික සේවා පීඩනය වැනි හේතු නිසා ලංකාවේ බන්ධනාගාර තුළ නිරන්තරව මෙවැනි සිදුවීම් වාර්තා වන අතර, නොයෙක් විමර්ශන කමිටු හරහා මෙම ප්‍රශ්න අවම කරගැනීමට යෝජනා ඉදිරිපත් වුණත් ඒවා තවමත් හරිහැටි ක්‍රියාත්මක කරන්නට බලධාරීන් සමත්ව නැත.






