මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසුව එහි සිට වැලිකඩ, බූස්ස සහ අඟුණුකොළපැලැස්ස යන බන්ධනාගාර තුන වෙත යොමු කළ රැඳවියන් අතර සිටි තිදෙනෙකු සැකසහිත ලෙස මරණයට පත් වී ඇති බව වාර්තා වෙයි.
වැලිකඩ දී ඝාතනයට ලක් වූ පුද්ගලයා මීගමුව බන්ධනාගාර ගැටුමේ එක් පාර්ශ්වයක ප්‍රබලයෙකු බව වාර්තා වන අතර, බූස්ස බන්ධනාගාරයේ දී මිය ගිය පුද්ගලයා ද එම කණ්ඩායමේ තවත් ප්‍රබලයෙකි.
මෙම මරණ සිදුව ඇත්තේ, බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් එම රැඳවියන්ට අමානුෂික ලෙස පහර දීම නිසා බව මානව හිමිකම් සංවිධාන චෝදනා කරන අතර, ඔවුන් මෙම සැකසහිත මරණ පිළිබඳව නිසි විමර්ශනයක් කළ යුතු යැයි රජයට බල කර සිටියි.
මීගමුව බන්ධනාගාර ගැටුමත් සමඟ උද්ගත වූ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, රඳවා තැබීමේ මධ්‍යස්ථාන තුළ සිදුවන සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් තරයේ හෙළා දකින බවයි. මෙවැනි සිදුවීම් මඟින් නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙන බවත්, අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු වන බවත් ප්‍රකාශ කරන එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, මෙමඟින් රැඳවියන් මෙන්ම බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ ද ජීවිත දැඩි අනතුරකට ලක්වන බවය.






