අද 17 වෙනිදා සිකුරාදා උදෑසන සිට ඇමරිකා එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයට එරෙහිව එල්ලකර ගුවන් ප්‍රහාර දැඩි කර ඇතැයි වාර්තා වෙන අතර ඒ අනුව මෙම නව ප්‍රහාර මාලාව ඉරානයේ අතිශ්‍ය වැදගත් යටිතල පහසුකම් ඉලක්කර කර ඇත.
මේ අනුව දකුණු දිග හෝමොස්ගාන් පළාතේ බන්දාර් ඛමීර් නගරයේ පාලම් වෙත ප්‍රහාර එල්ල කළ ඇමරිකානු හමුදාව එමගින් ඉරානයේ ප්‍රධානතම වරාය වන බන්දාර් අබ්බාස් ටෙහෙරානයෙන් හුදෙකලා කිරීමේ උපක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත.
මෙම නව තත්ත්වය සමඟ ඉරාන හමුදාවන්ට අවශ්‍ය යුද උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් දාමයන් බිඳවැටීමක් ඇමරිකාව විසින් බලාපොරොත්තු වෙන අතර එහිම දිගුවක් ලෙස ඉන්දියාවේ සහාය ඇතිව සංවර්ධනය කෙරුණු, ඇෆ්ගනිස්ථානයට අත්‍යවශ්‍ය වෙළඳ මාර්ගයක් වන චබහාර් වරායේ වාණිජ කටයුතු නිරීක්ෂණය කළ ප්‍රධාන කුලුනක් ද ඇමරිකානු ප්‍රහාරවලින් විනාශ වී ඇත.
මේ අතර ඉරාන බලශක්ති අමාත්‍යාංශය ප්‍රථම වතාවට පිළිගෙන ඇත්තේ සිය විදුලි යටිතල පහසුකම් ඉලක්ක කර ඇමරිකානු ප්‍රහාර එල්ල වී ඇති බවයි. දකුණු දිග පළාත්වල ජනතාව අධික උෂ්ණත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම ප්‍රහාර නිසා බරපතල මානුෂීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වෙන අතර සිකුරාදා අලුයම වන විට මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ පුද්ගලයන් 38 දෙනෙකුවත් මියගොස් 400 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ප්‍රහාර හමුවේ නිහඬව නොසිටින ඉරානය ද සිය මිසයිල බලය සහ ඩ්‍රෝන උපයෝගී කරගනිමින් මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු මිත්‍ර රටවල් ඉලක්ක කර දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර ඇත.
ඇමරිකාව තමන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහොත් තමන් සමස්ත කලාපයම අස්ථාවර කරන බව ඉරාන හමුදාව ප්‍රකාශ කර ඇත.
ඇමරිකාවේ ප්‍රධාන මිත්‍රයෙකු මෙන්ම මෙම ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කළ කටාර් රාජ්‍යයට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වීම බරපතල තත්ත්වයක් බව වාර්තා වෙන අතර එහි ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල විනාශ කළද, කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් සිවිල් වැසියන්ට හානි සිදුවී ඇත.
කුවේටයද ඉරානයේ සුපුරුදු ඉලක්කයක් වී ඇති අතර ඒ අනුව ඉරානය විසින් මෙම ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් කුවේටයේ ජල ලවණීකරණ සහ විදුලි බලාගාරයකට ප්‍රහාර එල්ල කර ඇත. කාන්තාර කලාපයක් වන කුවේටයට ජල ලවණීකරණ බලාගාර අත්‍යවශ්‍ය වන අතර, ඒවාට හානි සිදුවීම බරපතල අර්බුදයකි.
ජෝර්දාන ගුවන් සීමාවට ඇතුළු වූ ඉරාන මිසයිල තුනක් මැඩපැවැත්වීමට ජෝර්දාන හමුදාවට හැකිවූ බව වාර්තා වෙන අතර උතුරු ඉරාකයේ කුර්දි කලාපයේ (ඉර්බිල් සහ සුලෙයිමානියා) ඉරාන කුර්දි විරුද්ධවාදී කණ්ඩායමක් වන ‘කොමාලා’ ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමෙන් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් ඇත.
මෙම සමස්ත යුද්ධයේම කේන්ද්‍රස්ථානය සහ හේතුව බවට දැන් පත්ව ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියයි. ලෝකයේ බොරතෙල් සැපයුමෙන් අතිවිශාල ප්‍රතිශතයක් ගමන් කරන්නේ මෙම පටු මුහුදු තීරය හරහාය. පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ආරම්භ කළ මෙහෙයුම් වලින් පසුව, ඉරානය මෙම සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය ඵලදායී ලෙස අවහිර කර ඇත.
ලොයිඩ්ස් ලිස්ට් ඉන්ටෙලිජන්ස් දත්ත වලට අනුව යුද්ධය උත්සන්න වීමටත් පෙර සිටම සමුද්‍ර සන්ධිය හරහා භාණ්ඩ ප්‍රවාහනය 25% කින් පමණ පහත වැටී ඇත. ඕමානයට ආසන්න මුහුදු තීරයේ ගමන් කළ තෙල් නැවකට එල්ල වූ නවතම ප්‍රහාරයත් සමඟ, වාණිජ නෞකා වලට මෙම කලාපය හරහා ගමන් කිරීම දැඩි අවදානම් සහගත වී ඇත. බොහෝ නැව් සිය ස්ථානය හඳුනාගැනීමේ උපකරණ අක්‍රිය කරමින් රහසිගතව ගමන් කිරීමට උත්සාහ කරන අතර, තවත් බොහෝ නැව් ආරක්ෂිත ස්ථානවල නැංගුරම් ලා ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් වෙත නැවත වරක් නාවික අවහිරතා පනවා ඇත්තේ ඉරානයේ බොරතෙල් අපනයනය මුළුමනින්ම නතර කිරීමේ අරමුණෙනි. මීට ප්‍රතිචාර ලෙස ඉරානය සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
කටාර් රාජ්‍යය සහ පකිස්ථානය එක්ව මෙම අර්බුදය සමථයකට පත් කිරීමට දැරූ සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව ඉරානය දරන දැඩි ස්ථාවරය සහ එක්සත් ජනපදය ඉරාන රජය මත යොදන උපරිම පීඩනය හේතුවෙන් සාකච්ඡා මේසයට පැමිණීම දෙපාර්ශවයටම අපහසු වී තිබේ.
ඉරාන බලශක්ති සහ යටිතල පහසුකම් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් කරන තර්ජන හේතුවෙන් තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇත. අනෙක් පසින්, ඇමරිකානු හිතවාදී මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කිරීම මගින් ඉරානය උත්සාහ කරන්නේ එම රටවල් හරහා ඇමරිකාවට බලපෑම් එල්ල කිරීමටයි.






