වෛද්‍යමය ක්‍රියාවලියක් හරහා පුද්ගලයන්ට තම ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට අවසර දෙන රජයේ චක්‍රලේඛවල නීත්‍යානුකූලභාවයට අභියෝග කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇත.
විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු කිහිප දෙනෙකු නම් කර තිබුණි.
මෙම පෙත්සම නීතියෙන් නියමිත කාලය ඉක්මවා ගොනු කළ එකක් බවට වගඋත්තරකරුවන් විසින් මතු කරන ලද මූලික විරෝධතා ඇතුළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම පෙත්සම නිශ්ප්‍රභ කර ඇත.
වත්මන් රජය ද ඇතුළුව පැවති රජයන් විසින් නීතියට පටහැනි ආකාරයෙන් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටි සඳහා පහසුකම් සලසා දී ඇති බවත් මෙම පෙත්සම හරහා ප්‍රකාශකරන පෙත්සම්කරු, ජීව විද්‍යාත්මක පදනමකින් තොරව ශල්‍යකර්ම මගින් පුද්ගලයෙකුට තම ස්ත්‍රී පුරුෂභාවය පිරිමියෙකුගේ සිට කාන්තාවක දක්වා හෝ කාන්තාවකගේ සිට පිරිමියෙකු දක්වා වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකා නීතියෙන් අවසර නැති බව තර්ක කරයි.
2016 වසරේදී එවකට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ, මනෝ වෛද්‍යවරුන් විසින් කරනු ලබන නිර්දේශ මත පදනම්ව පුද්ගලයින්ට තම ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගැනීමට අවසර දී ඇති බවටද ඔහු මෙහිදී තවදුරටත් චෝදනා කර ඇත.






