මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 76,044ක් වාර්තා වී ඇති බවත් දිවයින පුරා රෝගය තවදුරටත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 162කක් තවමත් අධි අවධානමේ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
පසුගිය ජූලි 19 දිනයේදී පමණක් නව ඩෙංගු රෝගීන් 2,652ක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කරන එම ඒකකය පසුගිය මාස කිහිපය තුළ, විශේෂයෙන් නිරිතදිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසුව, ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය මැයි මාසයේදී රෝගීන් 8,590ක් වාර්තා වී ඇති අතර, ජූනි මාසයේදී එම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වෙමින් 21,537ක් වී ඇත.
ජූලි මාසයේ මුල් දින 19 තුළ පමණක් රෝගීන් 20,666ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ මෙම කාලය තුළ ඩෙංගු ආශ්රිත මරණ 53ක් වාර්තා වී ඇති බවත් එහි මරණ අනුපාතය 0.07% ක් බවත් එම ඒකකය ප්‍රකාශ කරයි.
මුළු රෝගීන්ගෙන් හරි අඩකට වඩා වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එය ආසාදිතයින් 40,009ක් බවත් එහි ප්‍රතිශත අගය ජාතික මුළු එකතුවෙන් 52.61%ක් බවත් ප්‍රකාශ කරන එම ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, දකුණු පළාතෙන් රෝගීන් 11,707ක් ද මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් ද වශයෙන් වාර්තා වී ඇති බවය.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමානය 15,910කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වෙන අතර එම රෝගීන් ගෙන් 3,073ක් කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වී ඇත.






