භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 715ක මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වීමෙන් අනතුරුව එහි වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඇත්තේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කුරුවිට මහතා විසිනි.
2023 වසරේ සිට මේ දක්වා මෙම ජාවාරම්කරුවන් විසින් භාණ්ඩ ආනයනය කරන ආයතන ලෙස පෙනී සිටිමින් රජයේ සහ පෞද්ගලික බැංකු හරහා කිසිදු භාණ්ඩයක් ගෙන්වීමකින් තොරව මෙම විදේශ විනිමය පිටරටවලට යවා ඇති බව කියැවේ.
බැංකු පද්ධතියේ, රේගුවේ සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතා, මුදල් කාරක සභාවේ දැඩි අවධානයට ලක්ව ඇති අතර මෙම ජාවාරම වැළැක්වීමට නීතිමය හා පරිපාලනමය පියවර ගැනීමට තීරණය කර තිබේ.






