වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමට ගෙන ඇති තීරණයට තමන් විරුද්ධ බව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කරයි.
ජනාධිපති නීතීඥයන් සහ ප්‍රවීන නීතිඥයන්ගේ මාධ්‍ය හමුවක් අද (27) පැවති අතර එයට සහභාගී වෙමින් ඒ මහතා අවධාරණය කළේ තමනුත් සිටින එන්පීපී විධායක සභාවක හෝ වෙනත් කිසිදු සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා තීරණයක් ගෙන නොමැති බවයි. ඒ අනුව තමන් මේ පිළිබඳව පක්ෂයෙන් විමසූවිට කටවහගෙන සිටින්නැයි කී බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
අද මාධ්‍ය හමුවේදී ඔහු දැක්වූ අදහස් පහතින් –
‘මම ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ ඉන්න කෙනෙක්. ඇයි මම මේකට විරුද්ධ වෙන්නේ. මම ඉන්න එන්පීපී විධායක සභාවක හෝ වෙන කිසිම සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන මෙහෙම තීරණයක් අරන් නෑ. මම මේ ගැන ඇහැව්වම කිව්වා මට කට වහගෙන ඉන්න කියලා. මම අවුරුදු 55ක් නීතීඥ වෘත්තියේ හිටියා. අවුරුදු 60ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා. මගේ දේශපාලනය ගොඩනැගුනෙ දර්ශනයක් ප්‍රතිපත්තියක් මත ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන්.
අපි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කරපු එකම සටන මේක නෙමයි. ෆීලීක්ස් ඩයස්, ජේ.ආර් ජයවර්ධන, නිහාල් ජයවික්‍රම වගේ අයත් එක්ක මම අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළා. එහි එකම අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය. ඒ නිසා අදත් මම සටන් කරනවා ඒ වෙනුවෙන්. මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්’.






