සරත් සිල්වාගේ කාලය මතක් විය..!

anura kumara judges retirement extension knews

දීර්ඝ කාලයක් මල්ලේ දමාගෙන අතපත ගාමින් කළ සෙල්ලම් කෙළි අවසන්ව ඇත. දැන් බල්ලා මල්ලෙන් එළියේය. පසුගිය ජූලි 27 දවසේ පැවති කැබිනට් මණ්ඩලයේදී බල්ලා නිසැකයෙන්ම එළියට පැමිණ නිදහසේ සෙල්ලම් කරන්නට විය. ඒ අනුව ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹි කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාව ආවේය. එයට අනුමැතිය ද හිමි විය.

ඒ අනුව නැවත වතාවක් පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාව සංශෝධනය වෙනු ඇත. 1978 සම්මත කරගත් දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සංශෝධන ඉතිහාසය පිරික්සීමේදී පෙනෙන්නේ එයට තියෙන්නේම මෙවැනි ඉතිහාසයක් බවය. සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, කලවානේ මන්ත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්නය වැනි සිදුවීම් ගොඩක් මතින් ගමන් කළ සංශෝධන 21ක් තුළ බහුතරය තිබෙන්නේ ජනතා සුබසිද්ධිය මායිම් කර කළ දේවල් ලෙස නොව, විධායකයේ උවමනාව මත සිදුකළ සංශෝධනයන්ය.

එනිසාම දෝ ජනතා විමුක්ති පෙරමුණ මෙම ව්‍යවස්ථාව සම්මත කරගත් දා සිට එයට එකහෙළාම විරුද්ධ විය. ඒ විරුද්ධත්වය කෙබඳු ද කියනවා නම්, ඔවුන් 1994 ජනාධිපතිවරණයේදී මෙය අහෝසි කරනවා යැයි චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් ගෙන නිතරග ගිවිසුමකට මාරු විය. ඉන්පසුව ගෙවුණු කාලය තුළ 2005 දී මහින්ද චින්තනය බලාත්මක කරන්නට, මහින්ද නම් පනින රිලවාට ඉනිමන් බඳින ගමනුත් ජවිපෙ කීවේ මහින්ද විධායක ජනාධිපති ධුරය අවසන් කළ යුතු බවය. ඒ අනුව මහින්දගේ ද ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වූයේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි.

විධායකයේ බලයට අභියෝග කළ 17 වෙනි සංශෝධනයේදී ද ජවිපෙ විශාල කාර්යභාරයක් කළේය. ඔවුන් ඒ අර්ථයෙන් 18ට විරුද්ධ විය. නැවත විධායකයේ තටු කපපු 19 වැනි සංශෝධනය ගෙන ඒමේදී ද ජවිපෙ එහි ලොකු බරක් ඇද්දේය. ඉන්පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කුප්‍රකට ව්‍යවස්ථා කුමන්ත්‍රණයේදී ද නිවැරදි තැන සිට ජවිපෙ සටන් මෙහෙයවීය. දින 52 අර්බුදය හොඳින් විසඳාගන්නට එය ප්‍රබල හේතුවක් විය.

ඊට ප්‍රථම (මම නිවැරදි නම්) ඔවුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා තමන්ගේම පූර්ණ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය. ඒ විජිත හේරත් මන්ත්‍රීවරයා විසින්ය. නමුත් එම යෝජනා ඉදිරියට ගියේ නැත. එහෙත් ජවිපෙ එම උත්සාහය සමස්ත රටම එදා අගය කළේය.

ඒ අනුව ඔවුන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී ද ජනාධිපති ධුරය අහෝසි කරන බවද, ව්‍යවස්ථාව කෑලි කෑලි කඩා සංශෝධනය නොකරන බවද, පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවද ජනතාව ඉදිරියේ සපථ කළේය. එහිම දිගුවක් ලෙස ජනාධිපති ලෙස අනුර කුමාර පත්වී දිවුරුම් දීමට ඔන්න මෙන්න තිබියදී සුනිල් හඳුන්නෙත්ති ජයග්‍රාහීව ප්‍රකාශ කළේ මේ ඉන්නේ ලංකාවේ අවසන් විධායක ජනාධිපති බවය.

එහෙම කියූ, එහෙම ඉතිහාසයක් හෙබි ජවිපෙට මේ එකපාරටම වුණේ කුමක්ද? අපගේ ප්‍රශ්නය එයයි. සැඟව කාලයක් හොල්මන් කළ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන බල්ලා එකපාරටම මල්ලෙන් එළියට පැන්නේ ඇයි?

මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන නීති ප්‍රජාව කියන්නේ, මෙයට ප්‍රධානම හේතුව වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධුර කාලය මේ දෙසැම්බරයෙන් අවසන් වීමය. ඒ අනුව ජනාධිපතිවරයාට මුලින්ම අවශ්‍ය වුණේ වර්තමාන අගවිනිසුරුවරයාගේ ධුර කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කරන්නටය. එහෙත් එය ඔහුට පමණක් අනන්‍ය වෙන ලෙස සිදුකිරීම කළ නොහැකිය. ඒ අනුව ඉහළ අධිකරණ දෙක මුලින් ඉලක්ක කරගන්නා ලදී. මේ ඉලක්කය ගන්නා විට ද, එය හොරෙන් හොරෙන් එහේ මෙහේ රංචු ගැසී සාකච්ඡා කරන විට, මාධ්‍යට කනින් කොනින් ඇසෙන විට, මේ ලියුම්කරු ද වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල නීතිඥයෙකුට සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කතා කර මේ පිළිබඳව විමසීය. එහිදී නීතිඥයාගේ කතාව වුණේ “එහෙම දෙයක් කනින් කොනින් ඇහෙනවා මචං” යන්න විතරය. මන්ත්‍රීවරුන් දෙදෙනා නම් හාංකවිසියක්වත් මේ ගැන දැනගෙන හිටියේ නැත.

එහෙම බලන විට ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන වැනි මෙම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන ආකාරයට මෙය දොරවල් වසාගෙන රහසේ කළ කුමන්ත්‍රණයක අවසන් ප්‍රතිඵලය යැයි සිතිය හැක. රටක ව්‍යවස්ථා සංශෝධන එසේ කාමර අස්සේ කෙරෙන කුමන්ත්‍රණ ලෙස බලගැන්වෙන්නේ නැත. එය ප්‍රසිද්ධියේ සාකච්ඡාවෙන්, සම්මන්ත්‍රණයෙන් සිදුවිය යුතුය. ව්‍යවස්ථාව යනු රටක ප්‍රධාන ලියවිල්ලයි. එහෙත් මේ සංශෝධනය අරබයා එය එසේ වුණේ නැත.

ඒ අනුව නීති ප්‍රජාවද, ජනතාවද තැන තැන මේ පිළිබඳව කසුකුසු ගාන්නට පටන් ගත්තේය. තම තමන්ගේම මත හදාගත්තේය. ඒ කසුකුසුවල ප්‍රතිඵලය භයානකය. රටක අධිකරණ පද්ධතිය සමඟ මෙසේ සෙල්ලම් කිරීම වගකිව යුතු ආණ්ඩුවකට යුතු නැත. එහෙත් දැන් සිදුවිය යුතු විනාශය සිදුවී අවසන්ය. මේ වනවිට වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ වයස සඳහන් ලියවිල්ලක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි. එය සත්‍ය ලියවිල්ලක් ද යන්න සනාථ කර නොතිබුණත් ජනතාව විශාල වශයෙන් එය විශ්වාස කරන සෙයක් පෙනෙයි. එම ලියවිල්ලට අනුව ඔහු දැන් සිටින්නේ විශ්‍රාම යා යුතු වයසත් ඉක්මවාය.

කෙසේ හෝ ආණ්ඩුව අවසානයේදී උසස් අධිකරණ දෙකට පමණක් නොව, සමස්ත අධිකරණයටම බලපාන ආකාරයට විශ්‍රාම වයස දීර්ඝ කරන්නට තීරණය කර ඇත. එයත් මේ විරෝධතා සමනය කිරීමේ අරමුණෙන්ය. අනෙක් පැත්තෙන් ඔවුන් දැන් අයිසින් තැවරුමක් ද සොයාගෙන ඇත. ඒ අනුව අධිකරණයේ ගොඩගැසී තිබෙන නඩු ලක්ෂ 11ක් ඉක්මනින් විභාග කර අවසන් කිරීම මේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ප්‍රධානම අරමුණය. මේ කතාව කියන්න ආණ්ඩුව ගොඩාක් පරක්කු වූ නිසා දැන් ජනතාව මේවා විශ්වාස කරන එකක් නැත.

අනික් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැන් කාලයක සිට පවතින පුරප්පාඩු නොපුරවා සිටින ජනාධිපතිවරයා මේ කියන අලුත් කතාව ජනතාව පිළිගනීවිද? මට නම් හිතෙන්නේ ජාතික ජන බලවේගය කරන ඕනෑම දෙයක් හොඳයි කියන්නට දතකට මැදගෙන සිටින ජනතාව ඇරුණාම අනෙක් ජනතාව නම් මේවා විශ්වාස කරන්නේ නැත.

නඩු ලක්ෂ 11ක් ගොඩගැසී ඇත්නම්, තමන්ගේ කාලයේදී බන්ධනාගාර සිරකරුවන් දස දහසින් පිරී ඇත්නම් එයට තිබෙන එකම විසඳුම මෙය නොවෙන බව කිව යුතුය. මත් වැරදි සම්බන්ධ නීති සංශෝධනය එයින් ප්‍රධානය. නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුකළ යුතු වෙනස්කම් වහාම සිදුකර එය කාර්යක්ෂම කළ යුතුය. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අවශ්‍ය වෙනස්කම් සමඟින් වහාම කාර්යක්ෂම කළ යුතුය. පහළ අධිකරණවලට විනිසුරුවරුන් බඳවා ගැනීම ද කළ හැකිය. එය නම් මේ වනවිටත් සිදුවෙමින් තිබෙයි. අධිකරණ ඇමතිතුමා කියන ආකාරයට දියුණු රටවල ජනතාව මිලියනයකට විනිසුරුවන් 40-60ත් අතර සිටින විට ලංකාවේ සිටින්නේ මිලියනයකට 20ක් වැනි සුළු ප්‍රමාණයකි. ඉතිං මේවා වෙනස් කිරීම කළ යුතුය. කිසිවෙක් අධිකරණ විනිසුරන් බඳවා ගන්නට එපා කීවේ නැත. ඇමතිවරයාම කියන ආකාරයට පහළ අධිකරණවල විනිසුරුවරුන් 110ක් සිටිය යුතු වුණත් ඉන්නේ 93ක්ය. ඉතිං ඒක 110 කරගන්නට කාගෙන්වත් බාධාවක් නැත. ඊළඟට අභියාචනාධිකරණයේ 25ක් සිටිය යුතු වුණත් ඉන්නේ 20ක්ය. එයත් වෙනස් කිරීමට කාගෙන්වත් බාධාවක් නැතිය. මේ සියල්ලම කියා අවසානයේ ආණ්ඩුව කියන්නේ මේ ඉන්න විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළේ නැතිවුණොත් මේ කිසිදෙයකින් ඵලක් නැති බවය. අහෝ ! මේවා තමයි කතා..!

හරි, ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විශ්‍රාම වයස වැඩි කරන්නට අවශ්‍ය නම් එය වර්තමානයේ බඳවාගන්නා අය අරබයා ක්‍රියාත්මක කළ හැකිය. එය සර්වසාධාරණය. එසේ සිදු නොකර මෙසේ තමන්ට අවශ්‍ය පුද්ගලයා තවත් අවුරුදු දෙකක් ධුරයේ තබා ගැනීම සඳහා කරන මේ සෙල්ලම හොඳ සෙල්ලමක් නොවෙන බව කිව යුතුය. මෙය ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැනි ප්‍රවීණයෝද කියමින් සිටිති. ඔවුන් කියන්නේ ආණ්ඩුව මේ කරන සෙල්ලම හොඳ නැති බවය. මේ කරන දේ පූර්වාදර්ශයට අරගෙන මින්පසුව බලයට පැමිණෙන ජනාධිපතිවරුන්ටද මීට වඩා දේවල් කරන්නට පුළුවන්ය.

අපි මෙසේ මොනවා කීවත් ජනාධිපතිවරයාගේ සූරසේන තව අවුරුදු 2කක් තබා ගැනීමේ තීරණය වෙනස් වෙන්නේ නැති බව දැනගන්නට ලැබෙයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 65 සිට අවුරුදු 67 වෙනු ඇත. අභියාචනාධිකරණයේ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 63 සිට අවුරුදු 65 වෙනු ඇත. මීට සමගාමීව අදාළ පනත වෙනස් කරමින් මහාධිකරණ‍යේ ද (දැනට අවුරුදු 61), දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල (දැනට අවුරුදු 60) ද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් සංශෝධනය කරනු ඇත.

මෙතන තිබෙන ඊළඟ බරපතළ කාරණය වන්නේ ආණ්ඩුවේ මෙම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට විරුද්ධව සමාජගත වෙන මතය හරහා ඉහළ අධිකරණ දෙක පිළිබඳව ජනමතය වෙනස් වීමයි. ආණ්ඩුව හැංගි හැංගී නටපු මේ නාඩගමේ බරපතළම දේ එයයි. ඒ අනුව යම් පුරවැසියෙක් මෙම සංශෝධනයෙන් පසුව ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය අවසන් යැයි සිතන්නේ නම් එය බොහෝම භයානකය. ආණ්ඩුව එහි වගකීම ගත යුතුය.

මෙම මතය විසින් ජනතාවට අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය මෙන්ම ගෞරවයද කෙලෙසා දමනු ඇත. මෙම සංශෝධනයෙන් පසුව පහළ අධිකරණයකින් ලැබෙන නඩු තීන්දුවක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෝ අභියාචනාධිකරණය ඉදිරියේ සාධාරණය බලාපොරොත්තු වෙන්න බැරිවෙයිද යන්න මේ මතයේ ඊළඟ නිමේෂයයි. අනෙක් පැත්තෙන් ඉහළ අධිකරණ දෙක මෙම සංශෝධන හරහා තමන්ගේ යටතට ගනිමින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ කැසකවන්නේ චීන පන්නයේ පාලනයකට යන්නද? ජනතාව තුළ මේ සැකයත් දැන් දැන් ඇතිවෙමින් තිබෙයි.

මේ සමඟම ජනාධිපතිවරයාගේ මේ බුද්ධියෙන් තොර තීරණය හකුලා ගන්නට තවමත් කල් තිබෙන බවත් කිවයුතුය. විනිසුරු සංගම්, නීතිඥ සංගම් ආදී සමස්ත නීති ප්‍රජාවගේ සාතිශය බහුතරය මෙම ව්‍යවස්ථා කෙරුවාවට තම විරෝධය එළිපිට ප්‍රකාශ කර තිබෙන පසුබිමක ආපසු හැරෙන එක ජනාධිපතිට මෙන්ම ආණ්ඩුවේ පැවැත්මටත් හොඳය. අනෙක් පැත්තෙන් ශිරානි බණ්ඩාරනායක සිද්ධියේදී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සිටගත් ජවිපෙ පක්ෂ ඉතිහාසයටත් එය හොඳය. තමන්ගේ දීප්තිමත් ඉතිහාසය තමන් විසින්ම කුණු කූඩයට විසි කරනවා නම් ඉතිං අපිට කරන්නට දෙයක් ද නැත. එහි විපාක සමස්ත සමාජයටම ලැබෙනු ඇත.

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...