උල් වාරා රස නොමරා..!

wild boar kfoods knews

ඉස්සර අපේ ගම්වල තුවක්කු හැමතැනම.. නොම්බර 12, 16 තමයි තිබුණේ. ඉතිං අපිට නිතරම වල් මස් ලැබුණා. ගඟේ කොහේහරි ඉමක කොනක තැනක අරයෙක් මතුවෙනව නම් වෙඩික්කාරයෙක්ට පයිණ්ඩෙ ආවා. උන්දෑ ඉතිං උදේ රැයින් ගොහින් ගඟ ඉවුරේ කුඹුක් සෙවණක උණ සෙවණක ශාන්තව වැඩ හිටියා. මතුවෙනකොටම බුක් ගාලා, ඩෝං ගාලා ගමම දැනගත්තා. ගොන් මාළුවා, අරා වගේ ලොකු මාළු මරන්න තමයි ඉතිං මෙහෙම පතරොමක් මුදාහැරියේ. කිලෝ පහක හයක අටක දහයක වුණත් ගොනෙක් ඒ කාලේ ගඟේ මාසෙකට දෙකට සැරයක් ගසාගන්න අමාරු නෑ. අරා වුණත් එහෙමයි. අරා නම් ඉතිං පැටව් ලොකු මහත් කරන කලට වෙඩි තිබ්බේ නෑ, ඇස් ඉස්සරහා මතු වුණත්.

මෙහෙම දුරාවාරයේ මාළු පෙත්තක් ගෙදරට ආවාට නිතරම ගෙදරට ආපු රස මසක් තිබ්බා. ඒකට අපි ඒ කාලේ කීවේ උල් වාරා කියලා. ඉස්සර පොඩි කාලේ මගේ හීනයක් තිබ්බා දඩයක්කාරයෙක් වෙලා තුවක්කුවත් අරං කැලේට කිමිදිලා උල් වාරෙක් කරේ දෙපැත්තට දාං මතුවෙන්න. ඒක ඉතිං මොන රෙද්දක් නිසා මවපු හීනයක් ද කියන්න නම් තවමත් දන්නේ නෑ. සමහර විට හවසට කඩේ ගාව කියවෙන උල් වාරා මැරීමේ වික්‍රමාන්විත කතා සරිත් සයුර නිසා වෙන්ටෑ.

අපේ ගම තිබ්බේ කඳු බෑවුමක. කන්ද උඩ කැලෑ කැටි තොප්පියක්. ඒක සිංහරාජෙන් ගැළවිලා අපේ කන්ද උඩට වැටුණු තොප්පියක් කියලා තමයි අම්මා නිතරම කීවේ. සමහර රෑකට ලස්සන කතා සාගරේ අස්සේ ඒ කැලෙන් අලි රංචු ඉපදිලා සමනල නැග්ගා. ඔන්න ඉතිං මේ කැලෑ කැටිය පොඩියි කීවට හංගමුව, කැකුලගම, නිරිඇල්ල වගේ ඈතම ඈත ගම්වලට තමයි ඒක මායිම් වුණේ. මේ බෑවුමෙන් අනෙක් පැත්තේ ගඟට මායිම් වෙලා හිනාවෙලා ඔරොක්කරගෙන හිටියේ රබර් කැටිය. ඒක ඉතිං සුද්දා වවලා ගිය කැලයක්. ඒකත් අක්කර දහසක්වත් ඇති මා හිතේ. මේ කැලෑ කැටි දෙකේම උල් වාරා හිටියා ඕසෙට. සමහර වෙලාවට මුන් අපිට හොරෙන් ගඟ පැනලා එකතුවෙන්නත් ඇති. කොහොමවුණත් ඒ කාලේ ගමට නම් කිසි හෙනෙයක් නෑ මේ මහත්වරුන්ගෙන්.

wild boar kfoods 2 knews

ඉතිං දැන් හිතාගන්න අමාරු නෑනේ තුවක්කුත් ඕසෙට තියෙන එකේ, පතරොම් කොපු පුරෝන තාක්ෂණයත් ගමට ඇවිත් තිබුණ එකේ, උල් වාරා දඩයම කොහොමට වෙන්න ඇද්ද කියලා. උල් වාරා කියන්නේ මහසෝනා කියලා තමයි අපි කතා වුණේ. රෑ තිත්ත කළුවරේ රබර් කන්දේ ගලක් උඩ ඉඳගෙන කොළ වැටෙන සද්දේ වගේ සියුම් සද්දවලට කන හරෝගෙන ඉන්න ඇසිල්ලේ උල් වාරා ආවේ රබර් ඇට බිඳ බිඳ. නහයෙන් පිඹ පිඹ, බිම හාර හාර. උල් වාරා එනකොට නයා පොළඟා වුණත් බයට ඉන්නේ කෙළින් අතට දර කෝටුවක් වගේ. මොකද අහුවුණාද එහෙට මෙහෙට පිම්බා කාලා දැම්මා සුරුස් ගාලා..

තනි දළයාගේ පිටේ නැඟලා මහසෝනා එනකොට වෙඩිල්ල ලාවට වැදුණොත් හරි මඟහැරුණොත් හරි කපෝතියි කියලා තමයි කතාව. ඉතිං අපි තුවක්කුව උඩට හරියට ටෝච් එක තියලා ඇලපත යටට තමයි ගහන්නේ. ඒක ඉතිං වරදින්න බෑ සුදෝ. වැරදුණොත් තනි දළයා පස්සේ පන්නනවා රබර් ගස් බඩගාන්න තමයි වෙන්නේ. උල් වාරා කියන්නේ ඉතිං සොනික් වගේ හාදයා වළකට වැටුණත් හාරගෙන ගුහාගත වෙලා හරි බේරෙන්න ශක්තිය දානවා ඕසෙට.

උල් වාරා මැරුවාම හොඳට පුළුස්සන්න ඕනෑ. හොඳට දර දාලා ගිනි ජාලාවක් ගහලා ඒකේ දාලා හොඳට රතුපාටට හැරෙන්න පුච්චගත්තාම ආයෙත් මස් පසාරු කරගෙන ඝනකම රෝම ඉස්සෙන්නේ නෑ. උල් වාරා කන්න ගියාම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ මේ රෝම හරියට පිච්චිලා නැති ප්‍රශ්නය. සමහරු නම් කියන්නේ උල් වාරා මැරුණට රෝම මැරෙන්නේ නෑ බොලං කියලා. ඒක ඇත්ත වෙන්න ඇති කියලත් හිතෙන දවස් එමට තිබිලා තියෙනවා. සමහරු ගෙදරට මෙහෙම උල් වාරා පලුවක් ආවාම රේසර් කරනවා කියලා මම අහලා තියෙනවා. ඒක නම් එච්චර කොලිටි වැඩක් නෙවෙයි. එහෙම මස් කෑල්ලක් අහුවුණාම ආයෙත් පුච්චගන්න එක තමයි ලේසිම කාරිය.

හරි ඉතිං දැන් එහෙනම් අපි උල් වාරා උයමු බලන්න. හාල් පොල් බැදලා තුනපහා මිරිස් කබලේ කරකරලා මේ සේරම එකට දාලා, ඒකට සුදු ලූණු, ගම්මිරිස්, කුරුඳු පොතු, කරපිංචා වගේ සේරම අඩුම කුඩුම එකතුකරලා වංගෙඩියේ දාලා කොටලා ඌරු මස් කෑලිවල හොඳට තවරලා ලුණු සහ සියඹලා දිය එක්ක අමුණලා පැයක් විතර ඔහේ තියලා ළිප තියන එක තමයි උල් වාරා ලංකාවේ අපි උයාගන්න ජනප්‍රියම ක්‍රමය. මේකට කළුපොල් ක්‍රමය කියලත් කියන්න පුළුවන්. මෙතැනදි ඉතිං අපි තුනපහා කියලා ගන්න කුඩු එක සූදුරු, මාදුරු, කොත්තමල්ලි විදිහට අරගෙන කබලේ බැදලා වංගෙඩියේ කොටලා ගත්තා නම් තවත් රසම රසයි හරිද..

wild boar kfoods 3 knews

මෙතැනදි අපි හදන සාරුව හොඳට මස් කෑල්ලේ ඇලෙන්න නම් වතුර අඩුවෙන්ම තියන්න ඕනෑ කියන එක අමතක කරන්න එපා. හාල් පොල් හොඳට දැම්මාම තමයි සාරුව ඝනට ගානට මස් කෑල්ලේ ඇලෙන්නේ. දැන් නම් ඉතිං හාල් පොල් නැතුව කඩල පිටි බඩඉරිඟු පිටි වගේ දේවල් දාලා ඔය සාරුව හදාගන්නත් පුළුවන්. කෙනෙක්ට ඕනෑ නම් ඔය සිල්වර් මිල් වගේ උකු බටර් පොල් කිරි සාරුවක් අරගෙන මේකට හලාගෙන රස දෙගුණ කරගන්නත් පුළුවන්.

උල් වාරාගේ තෙල් කෑල්ල ටිකක් හයියයි. ඒක බුරුල් කරගන්න එක ලේසි දෙයක් නෙවෙයි. උල් වාරා ටිකක් නාකියි වගේ කියලා හිතෙනවා නම් විනාකිරි ටිකක් එහෙමත් නැත්තං ගස්ලබු පෙත්තක් දෙකක් එක්කාසු කරගෙන හෙමිහිට උයාගන්න. එතකොට රසට කන්න පුළුවන්. කොහොමත් ඉතිං චීන එකා රට ජම්බු කනවා වගේ වෙනකොට උල් වාරා මී පැණි කොහු අඹ වගේ රසට ඉන්න ඕනෑ.

මෙහෙම කරියට උකුවට කළුවට හදාගන්නවා වගේම කහ පාටට තැනින් තැන රතු මිරිස් කෑලි හිනාවෙන සුවඳට රසට දිව උල්වෙන රසම රස ස්ටූ එකක් වුණත් හදාගන්න උල් වාරා නරක නෑ. අපේ අතේ වගේම හිතේ තමයි රසේ තියෙන්නේ. මේකට ඉතිං කැරට් අර්තාපල් එහෙම දාලා ලොකු ලූණු රවුමට කපලා දාලා හදලා බලන්නකෝ. ආ සේර ටිකක් හොඳට එකතු කළොත් රස තව ටිකක් වෙනස් වෙලා නිකං තායි සුවඳක් එක්ක වෙනස්ම රසක් විඳගන්න පුළුවන්. මේකටත් ඉතිං අර්තාපල් අලයක් තම්බලා පොඩි කරලා දැම්මාම ස්ටූ එක උකුවෙලා රස වෙලා මත් වෙනවා ඈ.

උල් වාරා රස අතීතයට ගියාම නුවර මාළිගාවේ මේකා හදලා තියෙන්නේ ටිකක් විශේෂ ක්‍රමයකට. මරාගෙන පුච්චලා ගෙනාවට පස්සේ මුලින්ම කරලා තියෙන්නේ මී කිරිවල ඔබන එක. හොඳට මී කිරේ පෙඟුණාට පස්සේ තමයි ආයෙත් සෝදලා අරගෙන කපාකොටාගෙන රජ්ජුරු කෑම උයලා තියෙන්නේ. නුවර යුගයේ ගම්මිරිසෙන් ගිතෙලෙන් තමයි මේ මස් පැසවලා උයලා තියෙන්නේ. ඒකත් රස ඇති කියලා හිතෙනවා නුවර රාජධානියේ ආහාර පුරාණය ගැන හිතනකොට. අපේ වැදි රට මිනිස්සු නම් මුලින්ම මේ සතා මරලා පලහලා තීරු කරලා දුම් මැස්සේ වේලලා පස්සේ මී පැණියේ බහා තියලා කාගෙන කාගෙන ගිහින් තියෙනවා. දැන් වුණත් ඉතිං උල් වාරා බාබකිව් කරන ගමන් සැරින් සැරේ පොඩි බ්‍රෂ් එකකින් පැණි ගාලා ගම්මිරිස් ටිකක් ඉසලා කාලා බලන්නකෝ කොහොමද රස කියලා. මේවා ඉතිං ඔය නම ගිය රෙස්ටුරන්ට්වල නම් අනේ හනී හනී කියලා මුලට පැණි දාලා ලොකු ගණන්වලට විකුණනවා.

ලොව පැරණිතම සූපශාස්ත්‍ර ග්‍රන්ථයක් කියලා කියන ඇපිසියස්ගේ පොතේත් තියෙනවා ඕන් උල් වාරා උයන හැටි. මේ පොත ලියවෙලා තියෙන්නේ ක්‍රි.ව. 4-5 සියවස්වල. මේ කෑම සූත්‍ර පොත කියන විදිහට නම් රෝම ප්‍රභූන්ගේ රාජකීය උත්සවවලට උල් වාරා වැරදිලා නම් නෑ. උල් වාරා සම්පූර්ණයෙන් තම්බලා පස්සේ උඳුනක දාලා පුළුස්සලා ගම්මිරිස්, ලූනු, මී පැණි, වයින්, ලීක්ස් මිශ්‍ර සෝස් එකක බහා තියලා තමයි මේකෙදී රෝමන්ස්ලා කාලා තියෙන්නේ. යුරෝපයේ 14 සහ 15 සියවස්වල නත්තල් මේසෙ උල් වාරාගේ හිස හරිම ජනප්‍රියයි. හැබැයි ඉතිං නිකම්ම නිකම් ඔලුව අරගෙන ඒක පුච්චලා තිබ්බා නෙවෙයි, කුළුබඩු, සුවඳ හමන හර්බ්ස් වයින් දාලා තම්බලා පස්සේ රන්වන් පාටට හැරෙනකම් පුළුස්සලා කටට ඇපල් ගෙඩියක් තියලා, ඇස්වලට චෙරීස් තියලා තමයි අබ සෝස් එකක් එක්ක පිළිගන්වලා තියෙන්නේ.

ඉතාලියේ ටස්කනි පැත්තේ මිනිස්සු අස්වනු නෙළන කොට පවුලේ විශේෂ අවස්ථා ආවාම උල් වාරා අතහැරියේ නම් නෑ. උල් වාරා දඩයම් කරගෙන ඇවිත් සුද්දබුද්ද කරලා චූටියට චූටියට කපලා රතු වයින්, තක්කාලි, රෝස්මරී, බේ කොළ වගේ හර්බ්ස් වර්ග දාලා යාන්තම් ගින්නේ, ළිපේ තියාගෙන ගොඩක් වෙලා මැජික් අරිෂ්ටෙ වගේ හැඳිගාලා තමයි උල් වාරා හදාගත්තේ. මේක පාස්තා එක්ක කෑමට ගත්තා කියලා කියනවා.

අපිට වුණත් ඔය හර්බ්ස් වර්ග එක්ක මේක රසට කන්න පුළුවන්. රෝස්මරි, බේ කොළ, ඔරිගානෝ, බැසිල් වගේ හර්බ්ස් වර්ග අද කොළඹ නුවර වගේ නගරවල ෆුඩ් සිටීස්වල තියෙනවා අවශ්‍ය නම්.. ටුවරිසම් තව දියුණු වෙනකොට මේ රස අපිට මඟහැරෙන එකක් නෑ ඕන්.

wild boar kfoods 4 knews

විසේ ඇති උල් වාරාට රැයක් දවාලක් නෑ කියලනේ අපි කියන්නේ. ඌ ශක්තිවන්තයා. ඌ දඩයම් කරන එකත් ඒ හින්දාම අතීතයේ ඉඳලාම ශක්තිවන්තයෝ කරන වැඩක්. මෙහෙම ශක්තිවන්ත සතෙක්ගේ මස් ටිකක් ශක්තිමත් වෙන එක අහන්න දෙයක් ද? මස්වල තියෙන මේ තද ගතිය නැතිකරගන්න එක තමයි උල් වාරා හදනකොට මූලික දේ වෙන්නේ. වයින්, විනාකිරි, සියඹලා වගේ ඔය ඕනෑම දෙයක් මේ මෘදුකාරක වැඩේට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතිං මේ මසෙන් එන ටිකක් සැර සුවඳ අපිට කරාබුනැටි, කුරුඳු, ගම්මිරිස්, ඉඟුරු වගේ දේවල් වලින් වෙනස් මෘදු කරගෙන තව තවත් මිහිරි රසක් හදාගන්න පුළුවන්.

අදින් වසර 40,000 කට ඉස්සෙල්ලා මිනිහා දඩයම්කරුවෙක් වුණ මුල් කාලෙම උල් වාරා දඩයම් කරලා තියෙනවා. ස්පාඤ්ඤයේ අල්ටමිරා වගේ ගුහාවල අතීත මානවයෝ ඇඳපු සිතුවම්වල උල් වාරා දඩයම් කරන හැටි ඇඳලා තියෙනවා. ඒක තමයි අපෙයි උල් වාරාගෙයි රස ඉතිහාසයේ ආරම්භය ගැන සාක්ෂිය. අදින් වසර 9,000 – 10,000 අතරේ තමයි මිනිස්සු කැලෙන් අල්ලගත්ත උල් වාරා ගෙදර ගෙනල්ලා හීලෑ කොරගත්තේ.

ඉරාකය, තුර්කිය, චීනය වගේ කලාපවල මිනිස්සු තමයි මුලින්ම උල් වාරා ගෙදර ගෙනල්ලා ගෙදර හදලා මස් කරලා බඩ පුරවාගන්න පටන් ගත්තේ. එදා ඉඳලා අද වෙනකම් හෙටත් අනිද්දත් උල් වාරා රස මිනිස්සු අතහරින එකක් නම් නෑ. උල් වාරලා ලෝකේ කොහේ හිටියත් ඉක්මනින් ගොඩක් බෝවෙනවා. සමහර රටවල්වලට මේ බෝවීම දරාගන්න අමාරුයි, එහෙම රටවල් දඩයමට ඉඩ දීලා තියෙනවා. ලංකාවෙත් ගොවිතැනට මෙයාලගෙන් ලොකු බාධාවක් තියෙනවා. ඒ නිසා අපේ රටේ නීතිය වුණත් උල් වාරා මස් පස්සේ එහෙමට පන්නන්නේ නෑ. කොහොමවුණත් මේ ගහනය වැඩි පැති බලලා කාලෙකට හරි උල් වාරා දඩයමට ලයිසමක් දෙන එක හොඳ වැඩක්. එහෙම වුණොත් මිනිස්සුන්ට බයක් සැකක් නැතුවම උල් වාරා රස බලන්න ඇහැක් වෙයි.

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...