හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කළ නොහැකි බව කොළඹ මහාධිකරණය අද (30) ප්රකාශ කර ඇත.
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් මිදී පැනයාමට කුමන්ත්රනය කළැයි නඳුන් චින්තක වික්රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර තිබුණ අතර එම චෝදනාවන් පවත්වාගෙන යාමට හැකියාවක් නැතිබව කොළඹ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල තීන්දු කර ඇත.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්රකාශ කර ඇත්තේ, චූදිතයින් කර ඇතැයි කියන වැරදි සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්රහය යටතේ චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවයි.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සහ නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරුන් සිය මූලික විරෝධතා මතු කරමින් සඳහන් කර ඇත්තේ, සිය සේවාදායකයින්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැමිණිල්ල විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව ය.
එහිදී එම නීතිඥයන් කරුනු දක්වමින් ප්රකාශ කර ඇත්තේ, විත්තියට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(අ) වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණත් ඔවුන් කළ වරද, පැමිණිල්ල විසින් නිශ්චිතව දක්වා නොමැති බවත් ඒ අනුව අදාළ වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් ය.
මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව විත්තියේ නීතිඥයන් විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ නියෝගය එලබෙන 03 දා ප්රකාශයට පත් කරන බව ද විනිසුරුවරයා ප්රකාශ කර ඇත.
හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, මිදිගම රුවන් හෙවත් රුවන් චාමර, සංජය අබේසිංහ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර ඇත.






