හිටපු අමාත්‍ය මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා සේ කටයුතු කළ අවුරුදු 2ක කාලය තුළ රුපියල් මිලියන 600කට වඩා විශාල ධනයක් අයථා ලෙස උපයාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ අනාවරණය කර ඇත.
හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති අයථා වත්කම් නඩුවේ කරුණු හරහා මෙම තොරතුරු අනාවරණය වෙයි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ ස්ථාවර තැන්පතු 10ක පමණක් රුපියල් ලක්ෂ 1823කට වැඩි මුදලක් තැන්පත් කර ඇති බවත්, එම ගිණුම් අතරින් එක් ගිණුමක පමණක් රුපියල් කෝටි 6ක් ඇති බවත් අනාවරණය වී ඇත. එම අනාවරණයන්ට අනුව තවත් රුපියල් ලක්ෂ 366ක්, ලක්ෂ 365ක් සහ ලක්ෂ 225ක් ඉක්මවූ විශාල තැන්පතු 3ක් ද එහි තිබී ඇති බව ප්‍රකාශ වෙයි.
මීට අමතර ලෙස එම බැංකුවේම තවත් රුපියල් ලක්ෂ 33 ඉක්මවූ ස්ථාවර තැන්පතු ගිණුම් 5ක් පවත්වාගෙන ගොස් ඇති බවත්, ඔහු සිය බිරිඳ වන මේරි ලුසීඩා සිල්වා සහ පුත් මාලක මනෝජිත් සිල්වා සමඟ එක්ව බද්ධ ගිණුම් රැසක් ද පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.
මේ අනුව පෑන් ඒෂියා බැංකුවේ සිය බිරිඳ සමඟ බද්ධ ගිණුමක රුපියල් 2,140,199.36ක ශේෂයක් ද, පුතා සමඟ සම්පත් බැංකුවේ පවත්වාගෙන ගිය බද්ධ ගිණුමක රුපියල් 2,687,852.25ක ශේෂයක් ද 2010 වසර වන විට පැවතී ඇති බව අල්ලස් කොමිසම සිය විමර්ශනවලදී සොයාගෙන ඇත.
මාලක සිල්වාගේ නමින් පමණක් වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ රුපියල් මිලියන 15ක් සහ 35ක් බැගින් වූ ගිණුම් දෙකක් තිබී ඇති බවත්, දියණිය සන්දීපනී මලිකා සිල්වා සහ බෑනා වන එම්.සී. අගුළුගමුව නමින් තවත් රුපියල් මිලියන 15 බැගින් වූ තැන්පතු ද එම ආයතනයේම පවත්වාගෙන ගොස් ඇති බවත් සොයාගෙන ඇත. මර්වින් සිල්වාගේ නමින් ද එම ආයතනයේ රුපියල් මිලියන 14ක තැන්පතු තිබී ඇත.
බැංකු තුනක පවත්වාගෙන ගිය ජංගම ගිණුම්වල ද 2012 වසර වන විට රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් ඉතිරිව තිබී ඇති අතර, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 32.5ක සහ DFCC වර්ධන බැංකුවේ රුපියල් මිලියන 6.8ක තැන්පතු ද මේ කාලය වන විට ඔහු විසින් පවත්වාගෙන ගොස් ඇත.
මොහු විසින් මිල දී ගෙන ඇති නිශ්චල දේපළ රැසක් සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති එම කොමිසම, හිටපු ඇමැතිවරයා කොළඹ ඉහළම වටිනාකමක් ඇති ප්‍රදේශවලින් දේපළ මිල දී ගැනීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව කොළඹ 07, කුරුඳුවත්තේ අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක් ද, රාජගිරිය, නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක් ද මිල දී ගෙන ඇති බව සොයාගෙන ඇත. මීට අමතරව කඩවත දලුපිටිය ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13ක් වටිනා ඉඩමක් ද මිල දී ගෙන ඇත.
මෙම හිටපු අමාත්‍යවරයා විසින් වික්ටෝරියා ව්‍යාපෘතියට අයත් කුණ්ඩසාලේ නිලගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් 1994 වසරේ සිට රුපියල් 1,600ක වැනි ඉතා සුළු බදු කුලියකට පවරා ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය කරගෙන ඇත. මීට අමතරව අමාත්‍ය ධුරය දරනු ලැබූ වසර දෙකක කාලය තුළ වාහන 7ක් මිල දී ගෙන ඇති අතර, මෙම වාහන ඉතා අසාමාන්‍ය අයුරින් කෙටි කාලයක් තුළ මිල දී ගෙන ඇති බවත් අනාවරණය වී ඇත.
මේ අනුව හිටපු අමාත්‍යවරයා 2010 වසරේ අප්‍රේල් 10 වැනිදා Porsche වර්ගයේ මෝටර් රථයක් මිල දී ගෙන ඇති අතර, ඉන් මාස 3කට පසු ජූලි මාසයේදී සිය පුත් මාලක සිල්වාට රුපියල් මිලියන 28.8ක් වටිනා Range Rover Sport Petrol V8 රථයක් මිල දී ගෙන ඇත. ඉන් මාස තුනක් ගතවූ තැන නැවතත් තමාගේ භාවිතය සඳහා රුපියල් මිලියන 32.3ක් වටිනා Mercedes Benz රථයක් මිල දී ගෙන ඇති අතර, මෙම රථවලට අමතරව රුපියල් ලක්ෂ 20ක් වටිනාකමට Land Rover රථයක්, රුපියල් මිලියන 9ක Hyundai ජීප් රථයක් සහ රුපියල් ලක්ෂ 58ක් වටිනා ලොරි රථ දෙකක් ද වසර දෙකක් තුළදී මිල දී ගෙන ඇති බව එම කොමිසම සිය විමර්ශනවලදී සොයාගෙන ඇත.
හිටපු අමාත්‍යවරයා සම්පත් සහ සෙලාන් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් භාවිත කරමින් වසර දෙකක් තුළ රුපියල් ලක්ෂ 42කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා මිල දී ගෙන ඇති අතර, එසේම මූලාශ්‍ර හෙළි නොකළ රුපියල් මිලියන 34.7ක දැවැන්ත ණය මුදලක් ද ගෙවා දමා ඇති බව අනාවරණය කරගෙන ඇත.
ඔහු තමන් වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන නොතිබුණ ද, සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් රක්ෂණ ඔප්පු 6ක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වාරික ලෙස ගෙවා ඇත.
මෙම නඩුව ලබන අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.






