2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට පසුගිය 2026 ජූලි 31 වැනිදා කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට ඔවුන්ව වරදකරුවන් බව අධිකරණය ප්‍රකාශ කළ අතර ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ විරාජ් වීරසූරිය යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2/3 ක බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ලබා දුන් මෙම නඩු තීන්දුව බෙදුණු තීන්දුවක් ය.
පාස්කු ප්‍රහාරයේ පසුබිම සහ එල්ල වූ චෝදනා
2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින උදෑසන 8.45ට පමණ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් සහ කතෝලික දේවස්ථාන තුනක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර එදිනම දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකද පිපිරීම් වාර්තා විය. මෙම සමස්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 270 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී, 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ.
මෙම ප්‍රහාරයට පෙර, එනම් 2019 අප්‍රේල් 9 වැනිදාත් 21 වැනිදාත් අතර කාල වකවානුව තුළ ප්‍රහාරය පිළිබඳව වෙන වෙනම නිශ්චිත බුද්ධි තොරතුරු 8කට ආසන්න ප්‍රමාණයක් බලධාරීන් වෙත ලැබී තිබිණි. එම තොරතුරු මගින් සහරාන් හෂීම් නමැත්තා සහ ඔහුගේ තව්හීද් ජමාත් සංවිධානය, කතෝලික පල්ලි කිහිපයක් සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි අනතුරු අඟවා තිබුණි. එයිනුත් නොනැවතී බුද්ධි අංශයන් විසින් මීට සම්බන්ධ වියහැකි සැකකරුවන්ගේ නම් සහ දුරකථන අංකත් අනාවරණය කර තිබුණි. එහෙත් ආරක්ෂක ප්‍රධානීන් හෝ ජනාධිපතිවරයා හෝ මේ පිළිබඳව සලකා නොතිබුණ අතර එයින් විශාල මිනිස් ඝාතන ප්‍රමානයක් ද ආපසු හැරවිය නොහැකි දරුණු මනුෂ්‍ය ඛේදවාචකයක් ද සිදුවිය.
මෙම අපරාධය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 (මරණය සිදු කිරීම), 300 (මිනී මැරුමට තැත් කිරීම) සහ 102 (අදාල අපරාධ වරදට අනුබල දීම) යන වගන්ති යටතේ අධිචෝදනා 855ක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලදී. ඉන් චෝදනා 268ක් මිනීමැරීම සම්බන්ධයෙන් ද, 587ක් මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද එල්ල වී තිබුණි. පැමිණිල්ලේ මූලික ස්ථාවරය වූයේ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, පාස්කු ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වයට අනුබල ලැබෙන පරිදි විත්තිකරුවන් නීති විරෝධී ලෙස ‘ක්‍රියා නොකර හැරීම’ හේතුවෙන් මෙම පුද්ගල මරණ සහ තුවාල සිදුවීම සෘජුවම බලපා ඇති බවයි.
2022 නිදොස් නිදහස් කිරීමේ තීන්දුව
ඒ අනුව මෙම නඩු විභාගය පටන් ගත් අතර 2022 පෙබරවාරි 18 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නාමල් බලල්ලේ, මොහොමඩ් ඉර්ෂඩීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කරන්නට නියෝග කළේය.
එම තීන්දුවට පදනම් වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තියයි. එම නෛතික ප්රතිපාදනයට අනුව, චෝදක පාර්ශ්වය (නීතිපති) විසින් ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවත්, එමගින් විත්තිකරුවන්ගේ වරදකාරීත්වය ඔප්පු කළ නොහැකි බවත් තීරණය කළ අධිකරණය, විත්තිවාචකය කැඳවීමකින් තොරවම ඔවුන්ව නිදහස් කිරීමට පියවර ගත්තේය.
එහිදී මහාධිකරණය පෙන්වා දුන්නේ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිය වගකීම් නිසි ලෙස ඉටු නොකරමින් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට අසමත් වී ඇති බවත්, ඒ මත පදනම්ව විත්තිකරුවන් චේතනාන්විතව රාජකාරිය පැහැර හැර ඇති බව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවත්ය. මේ අනුව 2022 ජනවාරි 20 වැනිදා සාක්ෂි නොමැතිකමින් මෙම නඩුව අවසන් කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම
මහාධිකරණයේ එම තීන්දුවට එකඟ නොවූ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය. රටතුළ පැවති දැනු විරෝධයත් මහජන කැළඹීමත් එයට හේතුවක් වන්නට ඇත. වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදිනී වික්‍රමසිංහ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අභියාචනය සලකා බලන ලදී.
2024 නොවැම්බර් 5 වැනිදා තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ මුල් ත්‍රිපුද්ගල මහාධිකරණය නඩුව විමසීමේදී බරපතළ ආකාරයේ නෛතික වැරදීමක් සිදු කර ඇති බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 107 වගන්තිය වැරදි ලෙස අදාල කරගනිමින් ‘අනුබල දීම’ යන්නට පුද්ගලිකවම අපරාධයට සහභාගී වීම අවශ්‍ය යැයි මුල් අධිකරණය වැරදි ලෙස සලකා තිබීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණයට ලක්විය.
එමෙන්ම අපරාධ චේතනාව සම්බන්ධයෙන් King v. Marshall සහ Samy and others v. Attorney-General යන නඩු තීන්දු සලකා බලා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, ‘නිසි පරිදි ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම සහ නොසළකා හැරීම’ මගින් අපරාධ චේතනාව පවතින බව තීරණය කළේය. ඒ අනුව, සාක්ෂි නොමැති කමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) යටතේ නඩුව අවසන් කරමින් දුන් නිදොස් කිරීමේ තීන්දුව බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුවේ බරපතළකම සලකා විත්තිවාචකය කැඳවා නඩුව නතර කළ තැන සිට යළි විභාග කරන ලෙස මහාධිකරණයට නියෝග කළේය. නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර නඩුව අවසන් කිරීම නීතියට පටහැනි බවද එහිදී අවධාරණය කෙරිණි.
මරණ දණ්ඩනය නියම කිරීම
මෙම නියෝගයට අනුව යළි කැඳවූ නඩුවේදී දෙපාර්ශ්වයේම කරුණු සහ සාක්ෂි සලකා බැලූ මහාධිකරණය අවසානයේ පැය හතරකට අධික කාලයක් පුරා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් දෙදෙනාටම මරණ දඬුවම ලබාදෙන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි තීන්දුව ප්‍රකාශ කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ පෙන්වා දුන්නේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන වගකීම පොලිස්පතිවරයා වෙත පැවරී තිබුණු බවයි. 2019 අප්‍රේල් 20 වැනිදා සවස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් කතෝලික දේවස්ථාන හා හෝටල් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නිශ්චිත බුද්ධි තොරතුරු පොලිස්පතිවරයාට ලබා දී තිබිණි. එහෙත් අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට හෝ පොලිස් දෙපාර්තමේන්තුව හරහා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. එබැවින් ඔහුට එරෙහි චෝදනා 854කට වරදකරු කරමින් මරණ දඬුවම නියම කෙරිණි.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන්ද තීන්දුව ප්‍රකාශයට පත් කළ එම ත්‍රිපුද්ගල මහාධිකරණයම ප්‍රකාශ කළේ අප්‍රේල් 20 වැනිදා සවස ප්‍රහාරය පිළිබඳව රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයා විසින් ඔහුටද දැනුම් දී තිබුණත් බුද්ධි අංශ රැස්වීමක් කැඳවීමට, ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය කිරීමට හෝ හදිසි ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගෙන නොතිබූ හෙයින්, සිය නීතිමය වගකීම් පැහැර හැර ඇති බව අධිකරණයේ තීරණය බවයි. ඒ අනුව චෝදනා 855න් 854කට ඔහුද වරදකරු කර මරණ දඬුවම නියම කරන ලදී.
මෙම තීන්දුව බෙදුණු තීන්දුවක් විය. විනිසුරු විරාජ් වීරසූරිය තමන්ගේ සුළුතර තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් විත්තිකරුවන් නිදහස් කළ යුතු බවයි. එහෙත් අවසානයේ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරිණි.
මානව හිමිකම් නඩුව
මෙම අපරාධ නඩුවට සමගාමීව, පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශ්ව කිහිපයක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩුවක්ද විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පූජිත් ජයසුන්දරට රුපියල් මිලියන 75ක වන්දියක්ද, හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක වන්දියක්ද සිය පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කර තිබුණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද වරදකරුවෙකු කරනු ලැබූ එම නඩුකරය ද මෙම නඩුවට බලපාන්නට ඇත. කෙසේ හෝ අවසානයේ දේශපාලන බලධාරීන් පසෙක සිටියදී රාජ්‍ය නිලධාරීන් කොළ නැති ගහේ නඟ්ඟන්නට තීන්දු කර හමාරය. මේවා රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩම් බව කිවයුතුය.
සමස්තයක් ලෙස මෙම නඩු තීන්දුව හරහා, රාජ්‍යයේ ඉහළම ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරිමය වගකීම පැහැර හැරීම හුදෙක් පරිපාලනමය වරදක් පමණක් නොව, එය බරපතළ අපරාධමය වගකීමක් දක්වා විහිදිය හැකි බව අධිකරණය විසින් තහවුරු කර ඇත. ඒ අනුව ඉදිරියට රාජ්‍ය සේවකයන්ට ලේසි වන්නේ නැත. තමන්ට නියමිත රාජකාරිය නියමිත පරිදි සිදු නොකිරීම එය දේශපාලන බලාධිකාරයේ උවමනාව මත නොකර හිඳීම වැනි දෑ මරණීය දණ්ඬනය හිමිවෙන වැරදි විය හැකිය.






