ජූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පසුගිය ජූලි 31දා ලබාදුන් මරණ දණ්ඬනය පිළිබඳ නඩු තීන්දුව දෙස නීතිමය ඇසකින් බලා කළ විග්රහයන් විරල පසුබිමක ශිරාල් ලක්තිලක මේ පිළිබඳව කරන විග්‍රහය අප නැවත නැවතත් කියවිය යුතු විග්‍රහයක් යැයි සිතේ. එනිසා ඔහුගේ මුහුනු පොතේ පළවූ එම විග්‍රහය මෙසේ යම් සංස්කරණයකට ලක්කර පළකරන්නෙමු..!
පාස්කු ප්‍රහාරයට ලක්වූ අහිංසක ජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලීමට එරෙහිව විකල්ප අදහසක් අපට නැත්තේය. එම වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුතුව තිබේ. නමුත් පාස්කු ප්‍රහාරයට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් වගකිව යුත්තන්ට, රාජසිංහ රජ කාලයේ සිදුවූ පරිදි දඬුවම් ලබා දීම ප්රජාතන්ත්රවාදී සමාජයක් තුළ “නීතියේ ආධිපත්‍යය” නාමයෙන් සිදුවන්නේ නම් එය අනුමත කළ නොහැකි කරුණක් වන්නේය.
අප එලෙසට පවසන කල ඇඟිල්ල දික්වන්නේ දඬුවම් ලබාදුන් අධිකරණය වෙතටය. නමුත් මෙය අධිකරණය ඉදිරියේ පවතින හරයාත්මක නීතිය හෝ කාර්යපටිපාටික නීතිය තුළ පවතින දෝෂයක් නිසා හටගත්තක් නොවේ. එසේ හඳුනාගත හැකි දෝෂයක් පවතී නම්, පූජිතට සහ හේමසිරිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමෙන් තමන්ට එරෙහිව සිදුවූ අයුක්තිය ප්‍රතිශෝධනය කර ගත හැකිව තිබේ. නමුත් මෙය ජවිපෙ විසින් සමාජය මත මුදා හරිමින් සිටින අති සූක්ෂ්ම දේශපාලනයක ප්‍රතිඵලයක් ලෙස අධිකරණ මනසට කාන්දුවෙමින් පවතින චින්තනයක් නම්, එමගින් ඇති කරවනු ලබන ප්‍රතිඵල අගතිදායක වන්නේය.
නීතියේ ආධිපත්‍යය මුවාවෙන් ක්‍රියාත්මක වන දණ්ඩනවාදය
මෙම තත්ත්වයේ පදනම වී ඇත්තේ “නීතියේ ආධිපත්‍යය” මුවාවෙන් සිදුවන අධිකරණමය දණ්ඩනවාදය (Punitivism) රාජ්‍යයේ භූමිකාවක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන චින්තනයයි. “නීතියේ ආධිපත්‍යය” (Rule of Law) මුවාවෙන් සිදුවන අධිකරණමය දණ්ඩනවාදය (Judicial Punitivism) යනු, අධිකරණය විසින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන බව පෙන්වමින්, සැබෑ ලෙසම සිදු කරන්නේ අධික ලෙස බරපතළ, පළිගැනීමේ ස්වරූපයෙන් යුතු සහ දැඩි ලෙස නීතිය අකුරටම ක්‍රියාත්මක කරන දණ්ඩනයන් ලබා දීමයි.
මෙහිදී “නීතියේ ආධිපත්‍යය” යන්න එහි සැබෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහ මානව හිමිකම් පදනමින් ගිලිහී, “දඬුවම් දීමේ මෙවලමක්” බවට පත්වේ. සිදුවන්නේ නීතියේ වගන්තිවල වචනාර්ථය (Literal interpretation) පමණක් අල්ලා ගනිමින්, සිදු වූ හානියේ ප්‍රමාණයට සාපේක්ෂව පුද්ගලයාගේ වරදෙහි ස්වභාවය (Mental culpability) නොසලකා අධික දඬුවම් නියම කිරීමයි. අපට අනුව පූජිත/හේමසිරි මරණ දඬුවමේ පදනම එයයි.
අනුර ජනාධිපතිවරයා කියන්නේ තමන් නීතියේ ආධිපත්‍යය සුරැකීමට ගත හැකි සියලු පියවර ගන්නා බවය; නීතියට ඉහළින් කිසිවකු නැති බවය. ජනාධිපතිවරයාට අනුව මෙම ක්‍රියාවලිය සඳහා තමන්ගේ සම්බන්ධතාවයක් නැත. එය ක්‍රියාත්මක වන්නේ ස්වාධීන රාජ්‍ය ව්‍යුහයන් හරහාය. නමුත් ජනාධිපතිවරයා කරන්නේ එම ස්වාධීන ව්‍යුහයන් තුළට තමන්ගේ චින්තනය කාවද්දනු ලැබූ පුද්ගල සාධක ඇතුළත් කිරීමය. දැනටමත් එසේ චින්තනය කාවැද්දූ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගණනාවකි. ඉතිරිව තිබෙන ආයතන තුළටද එම චින්තනය කාවැද්දීම සඳහා කවුරුන් එරෙහි වුවද, ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පවා ජනාධිපතිවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් සිටියි. එම අත්තනෝමතිකභාවය පිටුපස පවතින්නේ තම දේශපාලනික අවශ්‍යතාවයයි.
දේශපාලන අභිමතාර්ථ සහ ඓතිහාසික සමානකම්
එම ආයතන අකුරටම නීතිය ක්‍රියාත්මක කරති. එවිට ක්‍රම වෙනසක් පැතූ ජනතාව ආණ්ඩුව පැත්තට හුරේ දමති. බැලූ බැල්මට සාධාරණ හා යුක්තිගරුක ප්‍රවේශයක් බව පෙනෙන මෙම ක්‍රියාමාර්ගයේ අදහස වන්නේ, ආණ්ඩුව තම දේශපාලන අභිමතාර්ථ දිනා ගැනීම සඳහා බලලුන් ලවා කොස් ඇට බාවා ගැනීමය. එනම්, “නීතියේ ආධිපත්‍යය” මුවාවෙන් අධිකරණ පද්ධතිය හරහා අධිකරණමය දණ්ඩනවාදය යොමු කරවා ගැනීමටය. මෙය බරපතළ නීතිමය අපගමනයක් වුවද ආරම්භයේදී ජනතාව මෙයට කැමති වන්නේය. නමුත් කල්ගතවී ඒ බව තේරෙන විට ප්‍රමාද වී වැඩි විය හැකිය.
මෙවැනි ප්රවණතා පිළිබඳ ලෝක ඉතිහාසය තුළ හිට්ලර්ගේ ජර්මනිය තුළද, ස්ටැලින්ගේ රුසියාව තුළද දක්නට ලැබුණි. එම අත්දැකීම් අද අපට නම් කළ හැකි වන්නේද “නීතියේ ආධිපත්‍යය” මුවාවෙන් සිදුවන අධිකරණමය දණ්ඩනවාදය ලෙසටමය.
හිට්ලර්ගේ ජර්මනිය : හිට්ලර් මේ සඳහා භාවිතා කළේ පළවන ලෝක යුද්ධයට පසුව ජර්මනියේ ලැජ්ජාසහගත යටත් වීමයි. ජාතියට වූ අවමානය භාවිතා කරමින් වයිමාර් ජනරජය කඩා බිඳ දමා, දණ්ඩනවාදය මත රට පාලනය කරන්නට හිට්ලර් කටයුතු කළේය. දණ්ඩනවාදයේ ප්‍රතිඵලය වූයේ හිට්ලර්ට තමන්ගේ ප්‍රතිවාදීන් නීතියට අනුව සිරබත් කෑමට සැලැස්වීමය. එලෙසට ජර්මනියේ ක්‍රියාත්මක වූ දණ්ඩනවාදය පිළිබඳව අද අපට සිහිපත් කරන්නේ මාටින් නිමොලර් පියතුමා විසිනි. ජර්මනියේ ජනතාව එදා තම ආණ්ඩුව විසින් අනුගමනය කරන ලද එකී ක්‍රියා සඳහා හුරේ දැමුවේ තම දේශවාත්සල්‍යය පෙරදැරි කොට ගෙනය.
ස්ටැලින්ගේ රුසියාව : ස්ටාලින් එලෙසටම ප්රතිවිප්ලවයට එරෙහිව මර්දනකාරී රාජ්‍ය තන්ත්රයක් ගොඩනගන ලදී. ස්ටාලින් යුගයේ එම රටේ ව්‍යවස්ථාවේ 58 වන වගන්තිය යටතේ, රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ පරිපාලනමය අසාර්ථකත්වය “රාජ්‍ය ද්‍රෝහීකමක්” ලෙස සලකා දඬුවම් දෙන්නට එරට අධිකරණවලට බල කරනු ලැබුවා.
ලංකාවේ වර්තමානයද එලෙසටමය. පූජිත/හේමසිරිගේ මරණ දඬුවම පිළිබඳව ප්‍රීති වන්නන් බොහොමයකි. ඔවුන් ඉල්ලන්නේ ඇසට ඇසකි. නමුත් එම ප්‍රතිඵලයේ පිටුපස ඇති කටුක බව ඔවුන් නොදකිති. දැනට දිග හැරෙන තත්ත්වය තුළ ලංකාවේ ඉදිරි අනාගතය ගෙවන්න වෙන්නේ මෙන්න මේ ප්‍රවණතාවය තුළ බව ඉතා පැහැදිලිය. රජය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න දඟලන්නෙත් මෙන්න මේ ප්‍රවණතාවය රට තුළ ප්‍රධාන පාලන රීතිය බවට පත් කරන්නට බව මනාව තහවුරු වන්නේය.
රට බංකොලොත් කරවූ දේශපාලනයට දඬුවම් පැමිණවීම ජනතාවගේ අභිප්‍රායයි. නමුත් ඒ හරහා රාජ්‍ය අල්ලා ගැනීම අනුර ජනාධිපතිවරයා ප්රමුඛ ජවිපෙ අභිප්‍රාය වී තිබේ. ඒ නිසා අනුර ජනාධිපතිවරයා සමාජය මෙහෙයවන්නේ සොරකමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නටය. එවිට ජනතාවගේ පාරේ ගොස් තමන්ගේ ඉලක්කයද දිනා ගන්නට හැකි වන්නේ යැයි අනුර ජනාධිපති සිතන බව පෙනේ. පූජිත/හේමසිරි මරණ දණ්ඩනය හරහා අනුරගේ එම චින්තනයට තවත් එක් නිර්ණායකයක් එක් කොට තිබේ. ඒ රාජ්‍ය නොසැලකිල්ලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමය.
නෛතික පරස්පරතාව සහ අපරාධ චේතනාව (Mens Rea)
බැලූ බැල්මට මෙය සද්භාවී උත්සාහයකි. ජනතාවගේ ප්‍රණාමයද ඒ සඳහා රජයට හිමිවෙමින් තිබේ. නමුත් ගැඹුරින් සලකන කල මෙවැනි ප්රවණතාවයේ පවතින ප්‍රධාන ලක්ෂණය වන්නේ සාධාරණත්වයට ඉහළින් අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීමයි.
නමුත් නීතියේ ආධිපත්‍යය යනු අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොවේ. නීතියේ ආධිපත්‍යය යටතේ යුක්තිය ඉටු කිරීම;
- වරදකට පමුණුවන දඬුවමේ ප්‍රමාණාත්මක බව (Proportionality)
- පුද්ගලයාට එරෙහිව චෝදනා කරන වරදෙහි ස්වභාවය
- එම වරද සිදුකිරීමට පෙර එය පුරෝකථනය කළ හැකි බව
යන මූලධර්ම මත පදනම් වූවකි. එවැනි පසුබිමක දඬුවම තීරණය විය යුත්තේ සිදු වූ හානියේ ප්‍රමාණය මත නොව, පුද්ගලයාගේ මානසික චේතනාව (mens rea) මතය. පූජිත/හේමසිරිට ලබා දුන් මරණ දණ්ඩනය මගින් පෙන්වන්නේ අපගේ අධිකරණ ක්‍රමය ඉහතින් සඳහන් කළ දණ්ඩනවාදයට පය තැබීමේ ප්රවණතාවයයි.
ඔවුන්ට පැනවූ මරණ දණ්ඩනය තුළ පවතින පරස්පරය පැනනගින්නේ පරිපාලනමය නොසැලකිල්ලේ මානසික මූලධර්මය (mens rea) සහ මරණීය දණ්ඩනය සඳහා අවශ්‍ය වන නෛතික සීමාව අතර පවතින දුරස්ථභාවය නිසාය. මෙම තත්ත්වය තවදුරටත් අපරාධ නීතිය තුළින් පැහැදිලි කරගත හැකිව තිබේ. සම්මත අපරාධ නීති රාමුව (ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 294 වන වගන්තිය) යටතේ මරණීය දණ්ඩනය ලබා දීම සඳහා සෘජු මිනීමැරුම් චේතනාව (dolus directus) හෝ මරණය සිදුවීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව දැන දැනම සිදුකරන ක්‍රියාවක් (dolus eventualis) තිබිය යුතුය.
උදාහරණයක් ලෙස, මෝටර් රථ අනතුරකින් යමෙකු මිය ගිය විට, එම රියදුරා එය දැන දැනම සිදු කළ ක්‍රියාවක් නොවන නිසා ලබාදෙන දඬුවමේ ස්වභාවය පහළ යන්නේ එම රියදුරා සතුව තිබූ අපරාධ චේතනාවේ අඩු මට්ටම නිසාය. එවැනි තත්ත්වයකදී අපරාධමය නොසැලකිල්ලක් සඳහා වන අපරාධමය චේතනාව ඉතා පහළය. නමුත් දණ්ඩනවාදය මත පිහිටන අධිකරණයකට ඉහත තර්ක කිසිවක් අදාළ නොවන්නේය. වැදගත් වන්නේ ප්‍රතිඵලය දෙස බැලීම පමණකි.
අවසාන වශයෙන් අපට කිව හැක්කේ, දණ්ඩනවාදය අධිකරණමය මනසක කොටසක් වුවද, එය අධිකරණයට අභිනවයෙන් ඒකාත්මිකව ආරෝපණය කරමින් සිටින්නේ අනුර ජනාධිපතිවරයා ප්රමුඛ ජවිපෙ දේශපාලනය විසින් බවයි. අධිකරණය එම දේශපාලන චින්තනයේ ගොදුරක් වනු ඇත්ද නැද්ද යන්න අනාගතයේදී අපට ලැබෙන අත්දැකීමකි.
-ශිරාල් ලක්තිලක-
මේ පිළිබඳ වෙනත් ලිපි –
https://knews.lk/easter-attack-verdict-pujith-jayasundara-hemasiri-fernando/
https://knews.lk/easter-sunday-attack-verdict-hemasiri-fernando/
https://knews.lk/pujith-jayasundara-sentenced-to-death/






