අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ වරින්වර දුරකථන අංක තුනක් භාවිත කළ බව පෙනේ. ඒ අංක නම් 077-4475523, 077-5540724 හා 077-4575078 ය. මෙහි අප අවසන්වරට ලියූ 077-4575078 අංකය ඔහු අතුරුදන් වූ 2010 ජනවාරි 24 වැනි දින භාවිත කළ දුරකථන අංකයයි.
මේ දුරකථන අංකයට පැමිණි සහ එයින් පිටවූ ඇමතුම් පිළිබඳව දත්ත විශ්ලේෂණයේදී පෙනෙන්නේ මේ අංකය සමග නිරන්තරව දුරකථන අංක තුනක් සම්බන්ධ වී ඇති බවය. ඒ අංක නම් 077-3125569, 077-0359272 (ප්‍රගීත් අතුරුදන්වන අවස්ථාවේදී ප්රගීත්ගේ දුරකථනයට ඇමතුම් ලැබුණු අංකය) සහ 077-0375704 ය.
අප මුලින්ම මෙහි සඳහන් පළමු අංකය වන 077-3125569 අංකය ගනිමු. මේ සිම්පත ලියාපදිංචි කර ඇත්තේ 2009 ඔක්තෝබර් 05 වැනි දින කොක්මාතුර නඩරාජා විමලරාජ් නමටය. ඔහුගේ හැඳුනුම්පත් අංකය 861591905V ය. මෙම දුරකථන අංකය 2009 දෙසැම්බර් 01 සිට 2010 ජනවාරි 24 වැනිදා දක්වා ගිරිතලේ, හිඟුරක්ගොඩ, බකමූණ, මැදිරිගිරිය අවට සිට ක්‍රියාත්මක වී ඇත. මෙම දුරකථන අංකය ඉහත සඳහන් ප්රගීත්ගේ දුරකථන අංක සමග 2009 දෙසැම්බර් 08 දින සිට වරින්වර සම්බන්ධ වී ඇත. තවදුරටත් කියනවා නම් මේ දුරකථන අංකයෙන් ප්රගීත්ගේ නිවසේ දුරකථනය වන 011-4883948 ට ද ඇමතුමක් ලබාදී ඇත. ඒ 2010 ජනවාරි 03 වැනි දිනයේ දීය.
දැන් අපි 077-0359272 දුරකථන අංකය ගනිමු. 2010 ජනවාරි 06 වැනි දින මඩකළපුවේ කල්අඩි හි පදිංචි ක්රිෂ්නදාස් සුදාහර් නැතිනම් මයිලවාගනම් සිවකුමාර් නැතිනම් මහින්දන් නැතිනම් සුදා යන අයගේ නමට ගත් සිම්පතකි මේ. මේ පිළිබඳව ක්රිෂ්ණදාස් කියන්නේ කුමක්ද?
“මම එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්. මම හමුදාවට අහුවෙනකොට මා ළඟ හැඳුනුම්පතක් තිබුණා. ඒක සංවිධානය හදලා දුන්න එකක්. ඒකේ අංකය තමයි 861591905V. මම හමුදා අත්අඩංගුවේ ඉන්නකොට අපි සංවිධානයේ නව දෙනෙක් හිටියා. මම නිදහස්වෙලා යනකොට මට හැඳුනුම්පත ආයෙත් ලැබුණේ නැහැ.”
මේ කටඋත්තරය කියන්නේ මොහුගේ හැඳුනුම්පතට හමුදා දුරකථන සිම්පතක් ලබාගත් බවද? ඊළඟ ගැටලුව වන්නේ හමුදාව තමන්ගේ අත්අඩංගුවේ සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ නම් සහ හැඳුනුම්පත් භාවිත කරමින් දුරකථන අංක ලබාගෙන ඒවා යම් යම් අපරාධ සඳහා භාවිත කළාද යන්නයි. ක්රිෂ්නදාස්ගේ නමට ගත් මේ දුරකථන අංකය භාවිත කර තිබෙන්නේ එකම එක දිනයක් පමණි. ඒ 2010 ජනවාරි 24 වැනි දිනයයි. එහිදී මේ අංකයෙන් කතා කර තිබෙන්නේ එක්නැළිගොඩගේ 077-4575078 දුරකථනයට පමණි. මේ දුරකථන අංකය භාවිත කළ දුරකථනය එදින ක්‍රියාත්මක වී ඇත්තේ ගිරිතලේ 3, බකමූණ 3, ගිරිතලේ ඩී.සී.එස්. 3 යන දුරකථන කුලුනු ඔස්සේය.
මෙහිදී තවත් වටිනා දෙයක් සඳහන් කළ යුතුය. ඒ අප මුලින් සඳහන් කළ දුරකථන අංකය සහ මේ අංකය එකම දුරකථනයක බහා ඇමතුම් ලබාගෙන ඇති බවය. එම දුරකථනය IMEI අංක 3569130115100 දරන දුරකථනය බව සොයාගෙන ඇත. මේ ක්‍රියාන්විතය කියන්නේ මොවුන් ප්‍රගීත් එක්නැළිගොඩ හොඳටම දැන හඳුනාගෙන මේ පැහැර ගැනීම නියමිත සැලැස්මකට අනුව සිදුකර ඇති බවය. දැන් අපි 077-0375704 දරන දුරකථන අංකය වෙත අවධානය යොමු කරමු.
මේ දුරකථන සිම්පත 2009 දෙසැම්බර් 18 වැනි දින මඩකළපුව කල්ලාරු පදිංචි සුන්දරලිංගම් නිදර්ශන් යන අයගේ නමට ගත් එකකි. එම දුරකථන අංකය නිරන්තරව ප්රගීත්ගේ දුරකථනය (077-4575078) සමඟ සම්බන්ධ වී ඇත. ඒ 2010 ජනවාරි 24 වැනි දිනයේදීය. ඒ හවස 4.11 සිට රාත්‍රී 8.57 යි තත්පර 49 ක් දක්වාය. එහිදී ප්රගීත්ගේ දුරකථනය සමඟ මේ දුරකථනය අවස්ථා 8 කදී සම්බන්ධ වී ඇත. ඒ පිළිවෙළින් දඹුල්ල 3, නිට්ටඹුව ඩී.සී.එස්. 3, සියඹලාපේ ඩී.සී.එස්. 2, බියගම නගරය ඩී.සී.එස්. 2, කඩුවෙල, බත්තරමුල්ල ආර්.ටී. 1, බත්තරමුල්ල ආර්.ටී. 1, බත්තරමුල්ල ආර්.ටී. ඩී.සී.එස්. 1 යන කුලුනු හරහාය.
මේ දුරකථන දත්ත විශ්ලේෂණ තොරතුරුවලින් පෙනෙන්නේ 24 වැනි දින රාත්‍රී 9 පමණ වනවිට ප්‍රගීත් අපරාධකරුවන්ගේ දැලට හසුවී ඇති බවය. එදින රාජගිරිය ලංකා ඊ නිව්ස් කාර්යාලයේ සිටි ප්රගීත්ගේ යහළුවන් කියන පරිදි ප්‍රගීත් කාර්යාලයෙන් නික්මුණ වේලාව සහ මේ වේලාව සංසන්දනය කළහොත් එය මනාව පැහැදිලි වනු ඇත.
මෙහිදී තවත් කරුණක් කිව යුතුය. අප මීට ඉහත සඳහන් කළ දුරකථන අංකය වන 077-0375704 අංකයට 2010 ජනවාරි 24 වැනි දින රාත්‍රී 8.59 යි තත්පර 31 ට ද, රාත්‍රී 9.07 යි තත්පර 01 ට ද, රාත්‍රී 9.09 යි තත්පර 49 ට ද දුරකථන ඇමතුම් ත්‍රිත්වයක් 077-0553607 අංකයෙන් ලැබී ඇති බවයි. මේ අවස්ථා තුනේදීම අදාළ අංකය සහිත දුරකථනය ක්‍රියාත්මක වී ඇත්තේ බත්තරමුල්ල ආර්.ටී.ඩී.අයි.එස් 1 (RTDIS 1) සහ ඊ්කභධ ෘ3 යන දුරකථන කුලුනු හරහාය.
මෙහි තිබෙන වැදගත් කරුණ වන්නේ මේ නොම්බරය සහිත සිම්පත බහා තිබුණු 358956014463080 යන IMEI අංකය හිමි දුරකථනය තුළ එදිනම උදෑසන 077-0796397 යන අංකය සහිත සිම්පත ඇතුළත් කර භාවිත කළ බවට තොරතුරු අනාවරණය වීමයි. එම අංකයට අදාළව දුරකථන දත්ත විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ මේ දුරකථනය 24 වැනි දින උදේ වරුවේ ගිරිතලේ සහ බකමූණ ප්‍රදේශවල තිබූ බවය. එම දුරකථනයම එදිනම හවස බත්තරමුල්ල ප්‍රදේශයේ දී වෙනත් සිම්පතක් සමඟ භාවිත වී ඇත. දැන් ඕනෑම කෙනෙකුට රණවිරුවන් මුල් වී මේ දියත් කළ සැලසුම්සහගත අපරාධ පිළිබඳව වැටහී යා යුතුය. මෙලෙස ප්‍රගීත් හසුකර ගැනීම සඳහා දැල නිර්මාණය කිරීමේදී එහි සැලසුම ඇන්දා යැයි කියන ඒ පිළිබඳව සැකය යොමු වී තිබෙන ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරියා වන ෂම්මි කුමාරරත්න 24 වැනි දිනයේ දී සිට ඇත්තේ කොයිද? ඔහු එදින සිටි තැන සොයාගැනීමට තිබෙන මග ඔහුගේ දුරකථනයේ එදිනට අදාළ දත්ත විශ්ලේෂණය කිරීමය.
ෂම්මිගේ දුරකථනය
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ ප්‍රධාන චූදිතයා එවක ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරියා වන ෂම්මි අර්ජුන කුමාරරත්නය. ඔහු භාවිත කළා යැයි කියන දුරකථනයේ අංකය 077-7506092 වෙයි. මෙම අංකය 2003 ජනවාරි 23 වැනි දින අංක 87, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි කළ දුරකථන අංකයකී. මේ දුරකථනයේ 2010 ජනවාරි 23 වැනි දින ක්‍රියාත්මක වීම කෙලෙසද?
මෙහි දත්ත විශ්ලේෂණයේදී පෙනෙන්නේ එදින උදෑසන 6.52 පමණ සිට එදින රාත්‍රී 11.30 පමණ වනතුරු මේ දුරකථනය ක්‍රියාත්මක වී ඇති බවය. එය එම කාලය ඇතුළත වෙනත් ස්ථාවර සහ ජංගම දුරකථන සමඟ අවස්ථා 64 කදී පමණ පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවය. එම ඇමතුම් විශ්ලේෂණයේදී කියන්නේ එම ඇමතුම් 64 න් 60 ක්ම හුවමාරුව ගිරිතලේ සහ ඒ අවට දුරකථන කුලුනු හරහා සිද්ධ වී ඇති බවය. ඒ අනුව කිවහැක්කේ මේ හමුදා නිලධාරියා එදින එනම් ප්‍රගීත් පැහැර ගන්නට ප්‍රථම දින තමන් අණදෙන කඳවුරේ හෝ ඒ අවට සිට ඇති බවය. එය එලෙසම නම් ප්‍රගීත් පැහැරගත් 24 වැනි දිනයේ දී මේ දුරකථනයේ තත්ත්වය කෙබඳුද? සොයා බලමු.
077-7506092 දරන දුරකථන අංකය 24 වැනි දින ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ හිමිදිරි පාන්දර 1.02 ට පමණය. එහිදී මේ දුරකථනය උදෑසන 1.02 යි තත්පර 09 සිට උදෑසන 2.37 යි තත්පර 39 දක්වා අවස්ථා 25 කදී ඩයලොග් ජාලයේ දුරකථන සමඟ සම්බන්ධ වෙමින් පණිවිඩ හුවමාරු කරගෙන ඇත. එම අවස්ථා 25 තුළදීම මේ දුරකථනය ක්‍රියාත්මක වී ඇත්තේ ගිරිතලේ 3 සහ ගිරිතලේ ඩී.සී.එස්. 3 යන දුරකථන කුලුනු හරහාය.
ඉන්පසු මේ දුරකථනය ක්‍රියාත්මක වූයේ කෙසේද? 24 වැනි දින උදෑසනම 6.14 යි තත්පර 21 සිට එම දිනයේම රාත්‍රී 11.56 පමණ වනතුරු මේ දුරකථනය අවස්ථා 126 කදී වෙනත් දුරකථන සමඟ සම්බන්ධ වී ඇත. එම තොරතුරු කියන්නේ ෂම්මි කුමාරරත්න එදින උදෑසන 11 ට ආසන්න කාලයක් පමණ වනතුරු ගිරිතලේ සිට ඇති බවයි. 2010 ජනවාරි 24 වැනි දින උදෑසන 10.49 යි තත්පර 55 ට ඩයලොග් ජාලයට අයත් මින්නේරිය කුලුන හා මෙම දුරකථනය සම්බන්ධ වන අතර ඉන්පසුව මේ දුරකථනය පිළිවෙළින් පැල්වෙහෙර, දඹුල්ල, පන්නම්පිටිය, නාඋල, ලග්ගල, මාතලේ, අඹතැන්න, කටුගස්තොට, බූවැලිකඩ, කුණ්ඩසාලේ, දිගන, තලාතුඔය, වේවැල්ල, කෑගල්ල, නැවුගල, නෙළුම්දෙණිය, පස්යාල, බැලුම්මහර, වැලිවේරිය, නාරංවල, දෙල්ගොඩ, සියඹලාපේ, බියගම, මාලබේ, බත්තරමුල්ල යන කුලුනු සමඟ සම්බන්ධ වෙයි. ඒ අනුව අපට නිගමනය කළ හැක්කේ මේ ගමන්මග ඔස්සේ ගිරිතලේ සිට ෂම්මි කුමාරරත්න අදාළ දිනය තුළ බත්තරමුල්ලට පැමිණ ඇති බවයි. එම ඇමතුම් වාර්තා විශ්ලේෂණයේ දී පෙනෙන්නේ උදෑසන 11 ට පමණ මින්නේරිය පසුකළ ඔහු රාත්‍රී 8.40 පමණ වනවිට පරංගියා කෝට්ටේ ගියා වාගේ බත්තරමුල්ලට පැමිණ ඇති බවයි.
ඉන්පසුව ඔහු නැවත ගිරිතලේට යෑමේ කතාවද දුරකථන කුලුනු වාර්තාවේ සඳහන් වී ඇත. මේ අනුව දුරකථන දත්ත වාර්තා කියන්නේ පසුදා උදෑසන 6.47 පමණ වනවිට මේ දුරකථනය ගිරිතලේ ප්‍රදේශයට පැමිණ ඇති බවය. ඒ ගිරිතලේ ඩී.සී.එස්. 3 කුලුන හරහා මේ දුරකථනය තවත් දුරකථනයක් සමඟ උදෑසන 6.47 යි තත්පර 05 ට සම්බන්ධ වී ඇති නිසාය. ඒ අනුව අපට මේ ගමන සහ සාජන් රන්බණ්ඩාගේ කතාව එකට ගැටගැසිය හැක. ඒ කෝප්රල් රංජි ගිරිතලේ කඳවුරේ විශේෂ එල්.ටී.ටී.ඊ. සිරමැදිරිය අසලට රන්බණ්ඩාට කතා කරන තැනටය. රංජි දෑස් රෙදිකඩකින් ගැට ගැසූ ප්‍රගීත් රන්බණ්ඩාට මුණගස්වන තැනටය. ඉන්පසුව රන්බණ්ඩා ප්‍රගීත්ගෙන් ප්‍රශ්න කරන තැනටය. ඒ 2010 ජනවාරි 25 වැනි දිනයයි.
ප්‍රගීත් ගිරිතලෙන් කොතැනටද?
ප්‍රගීත් පැහැරගෙන අතුරුදන් කිරීමට අදාළව මේ ලිපිය ලියන 2017/05/07 වන දින වනවිට යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඒ සියලු දෙනාම ඇප ලබා ඇත. ඔවුන් නම් ෂම්මි කුමාරරත්න, ටී.ටී. ප්‍රබෝධ සිරිවර්ධන, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නාදන්), ඩබ්ලිව්.ඩබ්ලිව්.පී.ඩී. උපසේන (සුරේෂ්), එස්.එම්.ආර්. රූපසේන (රංජි), වයි.එම්.සී.කේ. අබේරත්න, එස්.එම්.කේ. ගුණරත්න, අයියසාමි බාලසුබ්රමනියම්, ඩී.ජී.ටී.පී. ගමගේ ය.
මොවුන්ගෙන් දෙවැනි සැකකරු ලෙස නම් ලබන ප්‍රබෝධ සිරිවර්ධන හැර ඉතිරි සැකකරුවන් සියලුම දෙනා ප්‍රගීත් දෙවනවර පැහැර ගැනීමට සහ අතුරුදන් කිරීමට දායක වී ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු ලැබී තිබේ. ඒ තොරතුරුවලින් හෙළිදරව් වන අන්දමට දෙවැනි සැකකරු පළමු පැහැර ගැනීම සැලසුම් කර ක්‍රියාත්මක කළ නිලධාරියාය. ඒ ෂම්මි කුමාරරත්නගේ දෙවැනියා ලෙසය.
2010 ජනවාරි 24 වැනි දින දෙවැනි පැහැර ගැනීම සිදුවන විට ඔහු, එනම් ප්‍රබෝධ සිරිවර්ධන හමුදා පුහුණුවක් සඳහා ගොස් සිටියේ කුකුළේගම කඳවුරකය. අනෙක් සැකකරුවන් සියලුදෙනාම ප්‍රගීත් දෙවනවර පැහැරගත් 2010 ජනවාරි 24 වැනි දිනයේ උදේ කාලයේ ගිරිතලේ ආශ්‍රිතවද, සවස සහ රාත්‍රී කාලයේ බත්තරමුල්ල සහ ඒ අවටද ගැවසී ඇති බවට තොරතුරු තිබේ. පරීක්ෂණ අංශ එසේ කියන්නේ මේ පුද්ගලයන්ගේ ජංගම දුරකථන ගමන් කළ ගමන්පථය සලකමින්ය. ඉන් අනතුරුව මේ දුරකථන නැවත 2010 ජනවාරි 25 වැනි දිනයේදී ගිරිතලේ සිට ක්‍රියාත්මක වී ඇත. මේ කාලයේ බොහෝ අවස්ථාවලදී මේ සැකකරුවන්ගේ දුරකථන ද ඇමතුම් මඟින් එකිනෙක ගැටගැසී තිබී ඇත. එයින් පෙනෙන්නේ මොවුන් ඉතාමත් සංවිධානශීලීව මෙම පැහැරගැනීම ක්‍රියාත්මක කර ඇති බවය.
ඉන්පසුව 25 වැනි දින සවස සහ 26 වැනි දින, 27 වැනි දින මේ දුරකථන ක්‍රියාත්මක වුණේ කොහේ සිටද? අපට ඒ පිළිබඳව ඉදිරියේ දී කතා කළ හැකිය. එම කතාව තුළ ප්රගීත්ගේ ඉරණම විසඳුණු අයුරු ද පැහැදිලි වනු ඇත්තේය. තුන්වැනි සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ අණදෙන නිලධාරියාගේ දුරකථනය අදාළ දිනය වන 2010 ජනවාරි 24 වැනි දිනයේදී කොළඹ ගිය හැටි සහ එය නැවත ගිරිතලේට පැමිණි අයුරු ඉහත කථා කළෙමු.
මේ සිද්ධියේ තුන්වැනි සැකකරු ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නැතිනම් නාදන්ගේ (මුරලි තමන්ගේ නෑදෑයකු ලෙස ප්‍රගීත්ට මුණගැස්සූ පුද්ගලයා) නමට ලියාපදිංචි කළ දුරකථනයේ තත්ත්වය කෙබඳුද?
එයද සුපුරුදු ලෙස එදින උදෑසන තිබෙන්නේ ගිරිතලේය. උදෑසන 5.37 තත්පර 25 ට සහ තත්පර 37 ට දුරකථන අංකයට (071-8157933) ඇමතුම් දෙකක් ලැබෙන අතර ඒවා ලැබෙන්නේ ඔහුගේම නමට ලියාපදිංචි කළ ලංකා බෙල් දුරකථනයකින්ය. එහි අංකය 027-5675432 ය. අනතුරුව ලංකා බෙල් දුරකථනයෙන් මේ මොබිටෙල් අංකයට ඇමතුමක් උදෑසන 8.59 යි තත්පර 18 ට ලැබෙන අතර මේ ඇමතුම් තුනම ක්‍රියාත්මක වන්නේ මොබිටෙල් ආයතනයට අයත් ගිරිතලේ සම්ප්‍රේෂණ කුලුන හරහාය. මෙයින් පෙනෙන්නේ මොහු උදෑසන කාලයේදී තම කඳවුර තිබෙන ගිරිතලේ ප්‍රදේශයේ සිට ඇති බවය. එහෙත් මේ පුද්ගලයා අදාළ දිනයේ සවස 2 පසුවී විනාඩි 30 ක් පමණ වනවිට ගිරිතලෙන් බැහැරට යන්නට පිටත් වී ඇති බව පෙනෙන්නේ මේ වෙලාව තුළ දී ඉහත සඳහන් කළ ඔහුගේ දුරකථනයට මින්නේරිය ප්‍රදේශයේ සම්ප්‍රේෂණ කුලුනක් හරහා දුරකථන ඇමතුමක් ලැබී තිබෙන නිසාය. ඉන් අනතුරුව මේ දුරකථනයට ලැබෙන ඇමතුම් කියන්නේ දඹුල්ල, පොතුහැර ආදී ප්‍රදේශ පසුකරමින් බත්තරමුල්ලට ගිය බවය. ඉන්පසු පසුදා (25) උදෑසන නැවත ගිරිතලේට පැමිණි බවය.
මෙම නඩුවේ පස්වැනි සැකකරු රවීන්ද්‍ර රූපසේන නැතිනම් රංජිගේ දුරකථනය කියන්නේ කුමක්ද?
ඔහුගේ දුරකථන අංකය වන 071-8261725 ට 2010 ජනවාරි 24 වැනි දිනයේදී ලැබුණු ඇමතුම් කියන්නේ අදාළ සැකකරු 24 වැනි දිනයේදී හවස 2.14 යි තත්පර 28 පමණ වනතුරු ගිරිතලේ ප්‍රදේශයේ සිට ඇති බවය. ඉන්පසුව සවස 2.34 යි තත්පර 7 ට ඔහු මින්නේරිය ප්‍රදේශයේ සිට ඇත. මේ එන ගමනේ කෙළවරට එනම් බත්තරමුල්ලට ඔහු ළඟා වන්නේ රාත්‍රී 8.49 යි තත්පර 48 ට පමණය. අප ඒ වේලාව එලෙස කියනුයේ ඔහුට ඒ වේලාවේදී ‘බත්තරමුල්ල ටවුන්’ යන සම්ප්‍රේෂණ කුලුන හරහා ඇමතුමක් ලැබෙන බැවින්ය. පසුව ඔහු බත්තරමුල්ලට පැමිණි රාජකාරිය අවසන් කර නැවත ගිරිතලයට යන්නේ කුමන වේලාවටද? මේ දුරකථනයට 25 වැනි දින උදෑසන 1.27 යි තත්පර 57 ට ඇමතුමක් ලැබෙන අතර එය ලැබෙන්නේ ගිරිතලේ සම්ප්‍රේෂණ කුලුනක් හරහාය.
ඉන්පසු එදිනම උදෑසන කඳවුරේ ගල ළඟට කතා කර සාජන් රන්බණ්ඩාට දෑස් රෙදිකඩකින් බැඳ හිඳුවා සිටින ප්‍රගීත් මුණගස්වන්නේ ද මේ රංජිමය. ඔහු ප්‍රගීත් පළමුවර පැහැර ගැනීමටද කෙලින්ම දායක වූ හමුදා නිලධාරියෙකි. 2009 අගෝස්තු 27 වැනි දිනයේදී ප්‍රගීත් හබරණ ප්‍රදේශයට ගෙන්වා ගත් පසු ඔහු මුණගැසෙන්නට යන නාදන් ඒ සඳහා ත්‍රීවිලරයක රැගෙන යන්නේද මේ රංජිමය. එහිදී දඹුල්ල ප්‍රදේශයේ තිබෙන ප්රගීත්ගේ ඉඩමේ වැඩකරන කම්කරුවාට රුපියල් තුන්දහසක් ලබාදෙන්නේ ද මේ රංජිමය. ඉන් අනතුරුව 2010 ජනවාරි 25 වැනි දිනයේදී ලොක්කාට භාරදෙන්න යනවා කියමින් නාදන් සමග ප්‍රගීත් රැගෙන ගියේද මේ රංජිමය.
හතරවන සැකකරු
මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්වූ හතරවැනි සැකකරුවා පොලීසිය හමුවේ කියන්නේ කුමක්ද?
“මම මේ අතුරුදන් වීම වෙන දවස් වෙනකොට වැඩ කළේ වවුනියාවේ කඳවුරක. හැබැයි 26 වැනිදා ජනාධිපතිවරණයට ඡන්දය දාන්න මම පදිංචි මැණික්හින්නට ආවා.”
හතරවන සැකකරු වඩුගෙදර විනී ප්‍රියන්තය. නැත්නම් සුරේෂ්ය. ඔහුගේ දුරකථන අංකය 071-8619636 ය. එම අංකයට අදාළ දුරකථන දත්ත කියන්නේ කුමක්ද? එම දත්ත ඔහු පොලීසිය හමුවේ කළ ප්‍රකාශය තහවුරු කරන්නේද? පිළිතුර, “නැත” යන්නයි.
2010 ජනවාරි 01 දා සිට ඔහුගේ දුරකථන තොරතුරු කියන්නේ 2010 ජනවාරි 12 වැනි දවස වනතුරු ඔහු ගිරිතලේ ප්‍රදේශයේ සිට ඇති බවයි. ඔහු 2010 ජනවාරි 13 වැනි දිනයේදී නම් දඹුල්ල, මඩවල, මහනුවර හරහා මැණික්හින්නට පැමිණ ඇති බව දුරකථන දත්ත කියයි. නැවත ඔහු 2010 ජනවාරි 22 වැනි දින වනවිට ගිරිතලයට පැමිණ ඇති බව එම දුරකථන ඇමතුම් වාර්තාව තවදුරටත් කියයි. එම ඇමතුම් වාර්තා තවදුරටත් කියන්නේ ඔහු පස්වන සැකකරු සමඟ 24 වැනි දිනයේදී දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවයි. එහිදී එම දුරකථන දෙකම ක්‍රියාත්මක වී ඇත්තේ ගිරිතලේ ප්‍රදේශයේ සිටය. ඒ අනුව නිගමනය කළ හැක්කේ වවුනියාවේ සිටියා කීවද ඔහු ගිරිතලේම සිටිමින් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇති බවය.
ඉන්පසුව මේ සිද්ධියේම හයවන සැකකරු වන චමින්ද කුමාර අබේරත්නගේ දුරකථන අංකයට (071-8289798) මේ ඉහත සඳහන් කළ හතරවන සැකකරුගේ දුරකථනයෙන් ඇමතුමක් ලැබී ඇති අතර එවිට වෙලාව සටහන් වන්නේ සවස 2 පසුවී විනාඩි 42 ලෙසටය. එම අවස්ථාවේදී මේ දුරකථන දෙකම ක්‍රියාත්මක වී ඇත්තේ මින්නේරිය ප්‍රදේශය තුළ සිටය. ඉන් අනතුරුව හතරවන සැකකරුගේ දුරකථනයෙන් තුන්වැනි සැකකරු වන නාදන්ගේ දුරකථනයටද ඇමතුමක් ලැබී තිබෙන අතර එවිට වේලාව සටහන් වන්නේ සවස 3 පසුවී විනාඩි 40 ලෙසය. මේ අවස්ථාවේදී මේ දුරකථන දෙකම ක්‍රියාත්මක වී ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ සිටය.
ප්‍රගීත් ගිරිතලෙන් ගෙනගියේ කොහේද?
ප්‍රගීත් ගිරිතලේ සිට ගෙනගියේ කොහේද? එම සොයාබැලීම සඳහා මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ෂම්මි කුමාරරත්නගේ දුරකථන ඇමතුම් වාර්තාවන්ට නැවත අවධානය යොමු කරමු. 2010 ජනවාරි 25 වැනි දිනයේදී මේ පුද්ගලයා සිටියේ කොහිද? 2010 ජනවාරි 25 වැනි දිනයේදී පැය 6.47 යි තත්පර 45 සිට පැය 12.32 යි තත්පර 22 පමණ වනතුරු මේ පුද්ගලයා ගිරිතලේ ප්‍රදේශයේම රැඳී සිටි බව ඔහුගේ දුරකථනය කියයි. ඒ ඔහුගේ 077-7506092 දරන අංකයට ලැබෙන ඇමතුම් සහ එයින් පිටවන ඇමතුම් ගිරිතලේ ප්‍රදේශයේ දුරකථන කුලුනු හරහා සම්ප්‍රේෂණය වීම නිසාය.
ඉන් අනතුරුව, 2010 ජනවාරි 25 වැනි දින පැය 13.17 යි තත්පර 53 සිට එදිනම පැය 17.27 යි තත්පර 13 පමණ වනතුරු මේ දුරකථනය ගමන් කරන්නේ කොහේද? එම ස්ථාන පිළිවෙළින් මැදිරිගිරිය, කදුරුවෙල, මනම්පිටිය, දිඹුලාගල, වැලිකන්ද, පුනානි, ඔට්ටමාවඩි, වාලච්චේන, සිත්තන්ඩි, වෙන්කල්ලඩි, එරාවුර්, කල්ලඩි, මඩකලපුව, නොච්චිමුනෙයි, කලවන්චිකුඩි, මරදමුනෙයි, අඩ්ඩාලච්චේනෙයිය. ඒ අනුව මේ ගමන් පථය ඔස්සේ මේ දුරකථනය හිමි සිද්ධියේ පළමු සැකකරු ගමන්කර තිබේ.
ඉන් අනතුරුව එදින සවස 5.41 යි තත්පර 7 පමණ සිට 27 වැනි දින දහවල් 12.45 යි තත්පර 27 පමණ වනතුරු දුරකථන දත්තවලට අනුව මේ සැකකරු පහත ප්‍රදේශවල රැඳී සිට ඇත. එම ප්‍රදේශ නම් අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චේනෙයි, ඔලුවිල්, නින්දවූර්, මරදමුනෙයි, කුරුක්කල්මඩම්, කාන්තන්කුඩි, නොච්චිමුනෙයිය. ප්‍රධාන සැකකරුගේ මේ ගමන් මාර්ගයේම ප්‍රගීත් එක්නැළිගොඩත් ගියාද? දෙවැනි සැකකරු හැර අනෙක් සැකකරුවන්ගේ ගමන් මාර්ගයත් මෙයමද? ඔවුන් මෙලෙස ගියේ කොහේටද? නවාතැන් ගත්තේ කොහේද?
මෙහිදී සුදු පැහැති වෑන් රථයකින් මොවුන් ගිරිතලේ සිට අක්කරෙයිපත්තුව බුද්ධි ඒකකය හරහා මඩකලපුව බුද්ධි ඒකකය දක්වා ගිය බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙම වාහනයට මින්නේරිය කඳවුරෙන් තෙල් පිරවුම් හලෙන් තෙල් සපයාගෙන ඇති බවද, ඔවුන් එදිනම එනම් 25 වන දින අක්කරෙයිපත්තුව බුද්ධි ඒකකයට ගොස් ඇති බව පසුව මඩකලපුව බුද්ධි ඒකකයට ගොස් ඇති බවද පොලිසිය සනාථ කරගෙන ඇත.
ප්‍රගීත් කොටියෙක්ද?
ගිරිතලේ බුද්ධි කඳවුර භාර එවක නිලධාරියා වූ කර්නල් ෂම්මි කුමාරරත්නගේ දුරකථන දත්ත වාර්තාවන්ට අනුව 2010 ජනවාරි 25 වැනි දිනයේ සවස පැය 18 පමණ සිට එදින මැදියම් රාත්‍රියේ 23.18 දක්වා කාලය තුළ මේ දුරකථනය අවස්ථා 36 කදී ක්‍රියාත්මක වී ඇත. ඉන් අනතුරුව 26 වැනි දින උදෑසන පැය 00.23 සිට එදිනම පැය 03.27 දක්වා අවස්ථා 78 කදී මේ දුරකථනය ක්‍රියාත්මක වී ඇත. මෙයින් පෙනෙන්නේ අදාළ බුද්ධි නිලධාරියා 25 වැනි දිනයේ මුළු රාත්‍රියම නිදිවර්ජිතව සිට ඇති බවයි.
මේ දුරකථන ඇමතුම් සියල්ල ක්‍රියාත්මක වී ඇත්තේ අක්කරෙයිපත්තුව හෝ ඒ අවට දුරකථන සන්නිවේදන කුලුනු හරහාය. මේ අනුව ඔවුන් ප්‍රගීත් අක්කරෙයිපත්තුවට රැගෙන පැමිණියා නම් ඔවුන් නිදිවර්ජිතව 25 වැනි දින රාත්රියේදී ප්‍රගීත් සමග කළ රාජකාරිය කුමක්ද? දැනට හෙළි වී තිබෙන තොරතුරුවලට අනුව ප්‍රගීත් එක්නැළිගොඩ අක්කරෙයිපත්තු හමුදා බුද්ධි කඳවුරට ගෙන ගියා යැයි සිතිය හැකිය. එතැනින් එහාට තොරතුරු සෙවීම සඳහා රහස් පොලීසිය අනවරත අරගලයක නිරත වෙමින් සිටින්නේය. ඒ රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට මේ පරීක්ෂණවලට එල්ලවෙන අවහිර කිරීම් බලපෑම් හමුවේය. ඒ අවහිර කිරීම් සියල්ල පැමිණෙන්නේ මේ සැකකරුවන් විශිෂ්ට රණවිරුවන් කියන පදනම මත සිටය. පසුගිය යුද්ධයේදී අදාළ යුද ජය වෙනුවෙන් මේ නිලධාරීන් සහ සෙබළුන් මෙහෙයක් සිදුකළ බව අපි මොහොතකට පිළිගනිමු. එහෙත් ඒ මෙහෙය නිසා මේ සාහසික වැරැද්ද අහෝසි වන්නේ යැයි කාට නම් තර්ක කළ හැකිද?
ප්‍රගීත් අතුරුදන් කිරීමේ මෙහෙයුමට සම්බන්ධ රණවිරුවන් කියන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක පාර්ශ්වයන් එම ක්‍රියාවලිය සාධාරණීකරණය කරන්නේ ප්‍රගීත් කොටියකු බව ප්‍රකාශ කරමින්ය. මේ නිසා ප්‍රගීත් කොටියකු කිරීම දැවැන්ත මාධ්‍ය මෙහෙයුමකි. ඒ මාධ්‍ය මෙහෙයුමේම කොටසක් ලෙස යුද හමුදා බුද්ධි අංශයම ප්‍රකාශ කළේ ප්‍රගීත් ප්‍රහාරයක් සඳහා කොටින් එක්ක එකතුව සැලසුම් කරනවා තමන්ට හෙළිවී ඇති බවය. ඔවුහු එතැනිනුත් ඉදිරියට යමින් කීවේ තමන්ට ඒ සඳහා සාක්ෂි ලෙස හඬපටයක් ලැබී ඇති බවය. දැන් අපට දැනගන්නට ලැබෙන්නේ මේ ප්‍රකාශයද අල්ලේ පැළවෙන බේගලයක් බවය.
කෙලෙසක හෝ මේ පිළිබඳව ඇත්තම තොරතුරු දැනගැනීම සඳහා රහස් පොලිසිය අදාළ අංශවලින් විමසා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී රහස් පොලිසිය යුද්ධ හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, අණදෙන නිලධාරි විශේෂ කාර්ය බලකාය, අධ්යක්ෂ විශේෂ කාර්යාංශය, අධ්යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය, අධ්යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව, අධ්යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය, නියෝජ්‍ය පොලිස්පති ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුගේගොඩ යන අංශවලින් අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ යම් අපරාධයකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වී තිබෙන්නේද නැතහොත් යම් අපරාධ කණ්ඩායමකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබල ලබාදීමක් කර තිබේද නැතහොත් ඔහුට විරුද්ධව යම් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන ප්‍රශ්න යටතේ කරුණු විමසා ඇත.
එහිදී අදාළ පාර්ශ්වයන් දන්වා ඇත්තේ ඒ පිළිබඳව තමන් සතුව කිසිදු වාර්තාවක් නොමැති බවය. ඒ අනුව පැහැදිලි වන්නේ එවක රාජපක්ෂ පාලනයට තමන් කළ සාහසික ක්‍රියාව වසා ගැනීමට අතේ පැළවෙන බොරුවක් නිර්මාණය කරන්නට සිදුවී ඇති බවය. ප්‍රගීත් කොටියෙකු වන්නේ එලෙසින්ය. මේ ක්‍රියාවන්ට එකල හමුදාව නොමසුරු දායකත්වය සපයා ඇත. ඒ ආරක්ෂක ලේකම්වරයා නිසා වන්නට බැරි නැත. කරුමය වන්නේ යහපාලනය පැමිණි පසුද හමුදාවේ පිළිවෙත එයම වීමය. ඒ අනුව පෙනෙන්නේ හමුදාව තුළ ගෝඨාගේ සෙවණැල්ල තවදුරටත් සෙලවෙන බවය.
හමුදාව තවමත් ගෝඨා යටතේද?
රහස් පොලිසියේ පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට අනුයුක්තව ගිරිතලේ කඳවුරේ සේවය කළ යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙබළුන් කිහිපදෙනකු අත්අඩංගුවට පත්වෙන අතර ඔවුන්ට විරුද්ධව නැගෙන චෝදනා සනාථ කර ගැනීම සඳහා යුද හමුදාව වෙතින් විශාල තොරතුරු ප්‍රමාණයක් අධීක්ෂණයට අවශ්‍ය වෙයි. ඒ අනුව 2015 සැප්තැම්බර් 28 වැනි දින රහස් පොලිසිය යුද හමුදාවෙන් ලේඛන සහ වාර්තාවන් රැසක් ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි බී වාර්තාවක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කරයි. ඒ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුවය. එහිදී ඔවුහු කරුණු 11 ක් යටතේ අදාළ වාර්තා සහ ලේඛන ලබාදෙන්න යැයි ඉල්ලීමක් කරති.
- ගිරිතලේ පිහිටි 3 වැනි සන්නද්ධ බුද්ධි බලකායට අයත් කඳවුරේ 2009 අගෝස්තු 01 වැනි දින සිට 2009 අගෝස්තු 31 දක්වා සහ 2010 ජනවාරි 01 සිට 2010 ජනවාරි 31 යන දිනය දක්වා කාලය තුළ රාජකාරි කරනු ලැබූ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනයන් සහිත වාර්තාවක්.
- එම කාලයටම අදාළව එම කඳවුරේම ප්‍රධාන දොරටුවේ භාවිත කරනු ලැබූ වාහන ඇතුල්වීම සහ පිටවීම සම්බන්ධව සටහන් තබන ලද DOB (Daily Occurrence Book) ලේඛනය.
- එම කාලයටම අදාළව කඳවුරේ දොරටුවේ භාවිත කරනු ලැබූ නිලධාරීන් සහ සෙසු නිලයන් පැමිණීම සහ පිටවීම සම්බන්ධ සටහන් තබන ලද DOB ලේඛනය.
- එම කාලයටම අදාළව එම කඳවුරේම නිලධාරීන් සහ සෙසු නිලයන් පාවිච්චි කළ වාහනවල ඉන්ධන ලබා ගැනීම පිළිබඳ O80 පෝරම සම්බන්ධ වාර්තාව.
- එම කාලයේම එම කඳවුරේම බුද්ධි කාර්යාලයේ පවත්වාගෙන ගිය DOB ලේඛනය.
- එම කාලයේම එම කඳවුරේම නිලධාරීන් සහ සෙසු නිලයන් නිවාඩු ලබා පිටවීම සහ යළි කඳවුරට පැමිණීම සටහන් කරන ලේඛනය.
- එම කාලයේම එම කඳවුරේම නිලධාරීන් සහ සෙසු නිලයන් නිවාඩු ලබා පිටව යනවිට ලබාදෙන පෝරමවල තොරතුරු සහ ලියූ චිට් පොතේ ඉතිරි කොටස සහිත පොත්.
- එම කාලයේම එම කඳවුරේම බුද්ධි බලකායේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ආහාර වියදම් ලබාදීම පිළිබඳව පවත්වාගෙන යන ලේඛනය.
- එම කාලයේම එම කඳවුරේම බුද්ධි නිලධාරීන් සහ සෙසු නිලයන් දිනපතා කරනු ලැබූ රාජකාරි, පුහුණුවීම් සඳහා පිටවීම් සහ යළි පැමිණීම, පාඨමාලාවන් හැදෑරීම සඳහා පිටවීම සහ යළි පැමිණීම පිළිබඳව වූ වාර්තාවන්.
- එම කාලයේම එම කඳවුරේම නිලධාරීන් සහ සෙසු නිලයන් භාවිත කළ දුරකථන අංකවල විස්තර සහිත වාර්තාවක්.
- එම කඳවුරේම එම කාලයේදීම අණදෙන නිලධාරියා විසින් කඳවුරේ සිට කිලෝමීටර් 20 ක් දුරට වැඩිය යන්නේ නම් ඒ සඳහා ගතයුතු අනුමැතිය සහිත රාජකාරි (U) වාර්තාව.
රහස් පොලිසිය අධිකරණයෙන් මේ ඉල්ලීම කරන්නේ 2015 සැප්තැම්බර් 28 වැනි දිනය. මේ වාර්තාව ඉදිරිපත් කළ විට ඒ පිළිබඳව වූ අධිකරණ නියෝග ලැබිණි. ඉන් අනතුරුව හමුදාවේ හැසිරීම කෙසේද? ඒ හැසිරීම නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට හිතෙන්නේ හමුදාව තවම පාලනය කරන්නේ රාජපක්ෂවරුන් බවය. ඉන්පසු සිද්ධවන්නේ දිගින් දිගටම යුද හමුදාව අදාළ ලේඛන සහ වාර්තා අධිකරණයට හෝ රහස් පොලිසියට ලබා නොදීමය. අධිකරණයට දිගින් දිගටම හමුදාපතිවරයාට නියෝග නිකුත් කරන්නට සිද්ධවන අතර එහිදීද හමුදාව කරන්නේ ඒ නියෝග නොසලකා කටයුතු කිරීමය. එහිදී ඔවුන් අධිකරණය හෑල්ලුවට ලක්කළ බව පිළිගත යුතුය. අවසානයේදී අධිකරණයෙන් සහ ජනතාවගෙන් ආ පීඩනය නිසාදෝ හමුදාව යම් යම් තොරතුරු පොලිසිය වෙත ලබාදෙන අතර ඒවාද සමහර විට පරීක්ෂණ නොමඟ යවනසුලු වීම සහ දෝෂ සහිත වීම, ඉල්ලූ තොරතුරු මගහැර වෙනත් තොරතුරු ලබාදීම, අදාළ තොරතුරු නැති බව පැවසීම යනාදී ලෙස සිදුවීම සැලකිය යුතුය. ඒ අනුව දිගින් දිගටම යුද හමුදාව මේ පරීක්ෂණවලට බාධාකිරීම් සිදුකළා යැයි කීම යුක්ති යුක්තය.
මේ තත්ත්වය යටතේ 2016 ජනවාරි 25 වැනි දින පොලිසිය අධිකරණයට කියන්නේ, 2015 සැප්තැම්බර් 28 නියෝගවලට අනුව විමර්ශනයට අවශ්‍ය ලේඛන සහ අනෙකුත් දෑ අසම්පූර්ණ ලෙස ඉදිරිපත් කළ බවය. සමහර ලේඛන තමන් සතුව නැතැයි ප්‍රකාශ කළ බවය. ඉන්පසුව පොලිසිය නැවත අධිකරණයට කියන්නේ, අධිකරණය 2016 ජනවාරි 11 වෙනි දිනයට අදාළව ලබාදුන් නියෝග හමුවේ යුද හමුදාවේ පොලිස් සේවා බලඇණිය ඉහත කඳවුර පරීක්ෂා කළ බව සහ එහිදී පරීක්ෂණවලට අවශ්‍ය වේ යැයි සිතන ලේඛන කිහිපයක් සහ වාර්තා කිහිපයක් සොයාගත් බවය. මෙම කඳවුරු පරීක්ෂාවට කර්නල් ඉලංගකෝන් නමැති නිලධාරියා සමඟ යුද හමුදා පොලිසියේ කණ්ඩායමක් සහභාගි වී ඇති අතර එම ලේඛන 2016 ජනවාරි 19 වැනි දිනයේදී කපිතාන් දොන් කෞෂල් යන නිලධාරියා විසින් රහස් පොලිසියට ගෙනැවිත් භාර දී ඇත. එම තොරතුරු ද බොහොමයක් අසම්පූර්ණ බව දැනගන්නට ලැබෙන අතර ලැබෙන සීමිත තොරතුරු හමුවේ රහස් පොලිසිය අසීරු ගමනක යමින් සිටියි.
2018/09/10 වන දින වනවිට මේ තොරතුරු ලබාදීමේ අලුත්ම තත්ත්වය කුමක්ද? දැන් අපට දැනගන්නට ලැබෙන්නේ ජනාධිපතිවරයා මැදිහත් වී මෙම තොරතුරු ලබාදීම වළකා ඇති බවය. එම පුවත සිය මුල් පුවත ලෙස ‘අනිද්දා’ පුවත්පත පසුගිය 2018/09/02 දින පළ කරන්නේය. ඒ අනුව යුද හා නාවික හමුදාවලට සිය අපරාධ සාමාජිකයින් පොලිසියෙන් ගලවා ගැනීමට දැන් තොරතුරු සඟවා ගැනීමට පුළුවන්ය. එම තත්ත්වය තුළ අදාළ පරීක්ෂණ කණ්ඩායම් එම පරීක්ෂණවල ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද දැනගන්නට ලැබේ. එය එසේ වුවහොත් දැනට තිබෙන ප්‍රතිඵල මත නඩු පැවරීම හෝ තවත් ඉදිරියට පරීක්ෂණ කරනවාද යන්න නීතිපතිවරයා තීරණය කරනු ඇත.
-කේ. සංජීව-
මෙම ලිපි කොටස් තුනට අදාළවූ මුල් ලියවිලි 2017/03/19, 2017/04/09, 2017/04/23, 2017/04/30, 2017/05/07, 2017/05/21 යන දිනයන්වලදී රාවය පුවත්පත තුළ පළවිය.
පළමු ලිපිය - https://knews.lk/prageeth-eknaligoda-disappearance-investigation-part-01/
දෙවෙනි ලිපිය - https://knews.lk/prageeth-eknaligoda-disappearance-investigation-part-02/
මෙම වෙබ් අඩවිය පත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍යමය සහාය මතය. ඔබට අපහට යම් මූල්‍යමය සහායක් ලබාදෙන්නට සිතෙනවා නම් එයට පහත සබැඳිය හරහා පිවිසෙන්න.
buymeacoffee.com/knews.lk






