මල්වතු ඔය අසල රාජගුරුවරුන්ගේ පුල්එළිය

pul eliya rajarata history ktravel knews

‘ඔය අල්ලපු ගම පුල්එළිය. කන්දෙන් බැහැපු එවුන් තමයි ඉන්නේ. දැන් මේ රටට කාණ්ඩ දෙකක් යුද්ධ කරනවා. ඒකට මේ රට හරියටම බැලුවොත් අපිට තමයි අයිති. අපි කුවේණිගේ එවුන්. ඔය පුල්එළිය ගමත් එක්ක අපේ බැඳීමක් නැහැ’. පුල්එළිය ගම පිළිබඳ මුල්ම හෝඩුවාව එන්නේ ඔය විදිහට. ඒ මීට අවුරුද්දකට විතර කලින්. ඒ වන්නි සිංහලයෝ කියන ජන වර්ගය සොයාගෙන තුලාවෙල්ලියට ගිය වෙලාවක.

තුලාවෙල්ලිය, කලවැල්පොතාන, දිවුල් වැව, කුරික්කඩ, රන්මලකුලම වගේ ගම් මැදිකරගෙන තමයි මේ ගම පිහිටලා තියෙන්නේ. ගම අසලින් මන්නාරම පැත්තට ගලා බසින මල්වතු ඔය තියෙනවා. මහාවංශ හාමුදුරුවෝ කියන විදිහට ලංකාවේ මුල්ම ශිෂ්ටාචාරගත ප්‍රජාවකට දියවර සැපයුවේ මේ නදිය. අතීත අනුරාධ ග්‍රාමයේ නැතිනම් අනුරාධපුරයේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කළේ මේ මල්වතු ඔය.

මම මල්වතු ඔය පැනලා කැලයට ඇතුල් වෙනවා. වන බූටෑවට ඈතින් පුල්එළිය. පුල්එළිය පැරණි ගම විද්වතුන් අතර ප්‍රකටයි. ඒ පොතක් නිසා. ඊ.ආර්. ලීච් කියන සුදු මහත්තයා 1961 දී පුල්එළිය ගැන පොතක් ලියනවා. ඒ පොත තමයි – Pul Eliya a Village in Ceylon.

පුල්එළිය

පුල්එළිය ගමේ පැරැන්නෝ කියන්නේ උපුල්+ජල, උපුල්+එළිය, පුල්එළිය වුණා කියලා. මේ නම හා බැඳුණු අතීතයක් පුල්එළියට තියෙනවා. ඒ අතීතය අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධිය සමග ගැටගැහිලා.

‘මහත්තයා දකින්න ඇතිනේ අපේ ගමේ ලස්සන වැවක් තියෙනවා. මේ වැවේ තිබුණ නෙළුම් මල් තමයි ඒ කාලේ ජය ශ්‍රී මහා බෝධියට අරන් ගිහින් තියෙන්නේ. ඒ නිසා තමයි ගමට ඔය නමත් හැදිලා තියෙන්නේ. අපේ ගමේ වැවෙන් කඩාගත්ත නෙළුම් කිරා මැන බලලා තියෙන්නේ තුලාවෙල්ලිය කියන ගමේදී තමයි. ඊටපස්සේ ඒ මල් මේ මල්වතු ඔය දිගේ තමයි අනුරාධපුරේට ගෙනිච්චේ. ගමට නම හැදුණේ උපුල් නිසා නැතිනම් නෙළුම් නිසා’. අපිට මුලින්ම කතා කළෙත් උපුල් ධර්මදාස. ගුරු මහතෙක්. දැන් විශ්‍රාමිකයි.

‘මේ ගමේ ඉන්න මුල් පදිංචිකාරයෝ පෙළපත් දෙකකට අයිති අය. ඉස්සර කාලේ මේ පෙළපත් දෙක අතර විතරයි හිර ගනුදෙනු සිද්ධ වුණේ’. මොනවාද ඒ පෙළපත් නාම. මම උපුල් මාමාගේ කතාවට බාධා කළා.

‘එකක් තමයි රාජගුරු මුදියන්සේලාගේ කියන අය. අනිත් පෙළපත තමයි දිසානායක මුදියන්සේලාගේ කියන අය. මේ ගමේ තියෙන කුඹුරු මේ පෙළපත් දෙකට විතරයි. පිටින් හිර ගනුදෙනු එහෙම ඒ කාලේ කළා නම් ගමෙන් කොන් කරනවා. ඒ කාලේ මේ ගම්වල ගොඩාක් සිද්ධ වුණේ ලේ විවාහ’.

පුල්එළිය ගමේ ඇවිදින කොට කතා කරපු හැමෝම මේ කතාව කිව්වා. ගමේ තියෙන ඉඩම් ටික පිටට නොදී රැකගැනීම මේ විවාහ ක්‍රමයේ අරමුණ වෙන්න ඇති. ලේ විවාහ අද නවීන විද්‍යාව අනුමත කරන්නේ නැහැ. ඒ වුණාට පුල්එළිය වගේ ලංකාවේ පැරණි ගම් පැවතුණේ ලේ විවාහ සංස්කෘතිය ඇතුළේ. මේ විදිහේ විවාහ සංස්කෘතියක් තිබුණ පුල්එළියේ ගම ගෙදරකට පිටින් පුද්ගලයෙක් එකතු වුණොත් උදාවෙන තත්ත්වය මොන වගේද?

වරිග සභාව

‘මෙහෙම හිතමු. මහත්තයා මේ ගමට ඇවිල්ලා මගේ දුවක් බඳිනවා. අපේ මහත්තයා මගේ වරිගෙට නැහැ. ඔන්න කෙලියා. ඔන්න එතකොට ගමේ අය යනවා වරිග සභාවට. ඕකා දූ දීලා තියෙන්නේ එගොඩහයෙකුට. ඕකට ආයේ ගින්දර පෙනෙල්ලක්වත් දෙන්න එපා. ඔන්න ගමේ අය මුහුණ බලන්නේ නැහැ. ගෙදරට යන්නේ එන්නේ නැහැ. එතකොට ඉතින් මේක හරි ප්‍රශ්නයක්නේ මහත්තයෝ. ගමේ අය මේ නඩුව වරිග සභාවට කිව්වට පස්සේ වරිග සභාව නඩුව අහනවා. කවුද වරිග සභාවට ඉන්නේ. බද්දරාළ, ගමරාළ, මොහොට්ටාල. ඔන්න නඩුව අහනවා. දැන් මහත්තයාට දඩයක් ගහන්න ඕනි. ඒ කාලේ රිදී සල්ලි තමයි. රිදී මෙච්චරක් ගෙවාපිය කියලා දඩයක් දෙනවා. මහත්තයා ඒක ගෙවනවා. ඔන්න සේරම හරි. සල්ලි ගෙවපු ගමන් වරිගෙට ගත්තා. සල්ලි දුන්නම වරිගේ හොඳයි. නැත්නම් නරකයි. පුදුම ක්‍රමනේ මහත්තයෝ. මේකත් ඉතින් ගසාකෑමක් තමයි. වරිග සභාවේ ඇත්තෝ මේ සල්ලි බෙදා ගන්නවා’.

පුල්එළියේ කපු මහත්තයා තමයි මේ විදිහට කතා කරන්නේ. නම තමයි වන්නිහාමිගේ හේරත්හාමි. දැන් වයස 73ක් වෙනවා. වයස ගියාට කෙස්ස පැසුණට මාමාට තාමත් ඒ අතීතය මතකයි. මාමා හරි අපූරුවට කතා කරනවා. සමහර කාරියන් රඟපාලත් පෙන්වනවා. මාමාගේ කතාව නාට්‍යයක් වගේ. මෝඩ ගඩොල් වහපු රතුපාට ගෙදර අල්ලපු කාමරයේ මාමාගේ මිණිබිරිය කැකිරි පළනවා. මාමාගේ කතාවෙදී එගොඩයා කියලා නමක් කියවුණා. මේ එගොඩයා ගැන ලීච් මහත්තයා ලියපු පුල්එළිය පර්යේෂණ ග්‍රන්ථයෙත් සඳහන් වෙනවා. පුල්එළියෙදි අපට මුණගැසුණ මල්ලිකා ධර්මදාස ඉස්කෝලේ නෝනාත් මේ එගොඩයා ගැන කතාව කිව්වා.

‘අපි පොඩි කාලේ මේ ගම්වල කුල ක්‍රමය හරියට තිබුණා. අපේ අම්මලා තමයි ඒවා නඩත්තු කළේ. ඉස්සර අපේ ගමේ ඉස්කෝලෙට පිටින් ගුරුවරයෙක් ආවහම වුණත් අපේ අම්මලා ඒ අයගේ වග වාසගම් සොයා බලනවා. අල්ලපු ගම් විදිහට තියෙන තුලාවෙල්ලිය, කළවැල්පොතාන වගේ ගම්වල අයට මෙහේ අය කිව්වේ ගම් වැද්දෝ කියලා. ඒ කාලේ මට මතකයි ඉස්කෝලෙට ඒ ගමේ ළමයි එනකොට අපි එයාලට කවදාවත් ඉස්සරහ පේළිය දෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපිට උගන්වන්න වුණාම නම් ඒක කළේ නැහැ. අපි ඒ ළමයින්ට හරියට ආදරය කළා. මේ භේදය වපුරවන්න නෙවෙයි නැති කරන්න තමයි අපි වැඩ කළේ. දැන් ළමයි නම් කුල භේදය ඔළුවේ තියාගෙන නැහැ. කෑම පවා බෙදාහදාගෙන කනවා’.

‘මට මතකයි අපි පොඩි කාලේ මේ ගමේ පවුලක් හිටියා එගොඩයාගේ ගෙදර කියලා. මූලිකයාගේ නම තමයි පුංචිරාළ. මේ ගෙදරත් එක්ක ගමේ අය කිසිම සම්බන්ධයක් පැවැත්වූවේ නැහැ. නෑකම් කියුවේ නැහැ. අඩුම ගානේ ගිනි පෙනෙල්ලක්වත් දුන්නේ නැහැ. මේ පවුල ගැන ලීච් මහත්තයා ලියපු පොතෙත් තියෙනවා. දැනටත් ඒ පරපුර මේ ගමේ ඉන්නවා. හැබැයි දැන් නම් ඒවා පිළිගන්නේ නැහැ. ඒත් අපේ අම්මලා අපිට අර හුරු කරපු විදිහ නිසා ද මන්ද අපි තාමත් එයාලා දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ එගොඩහයෝ දිහා බලනවා වගේ’.

මහවෙල කුඹුර

අම්මෝ අපි පොඩි කාලේ මේ ගම හරිම ලස්සනයි. ගෙවල් දහයයි තිබුණේ. වැව, වැව් බැම්ම, රිසිවේසම, එතැනින් එහා ගෙවල්. ගෙවල් ළඟින් පාර. පාරෙන් එහා පැත්තේ කුඹුරුවෙල. ඒ කාලේ මහත්තයෝ ඔය වැව් බැම්මත් එක්ක රිසිවේසම කඩන්නේ ලැට් නැහැනේ… මළ පහ කරන්න… කැලේ ගිහින් වැඩේ කළා. වැවෙන්ම හෝදාගත්තා. එහෙමයි තිබුණේ. ඊළඟට පාරයි, කුඹුරයි අතරේ රිසිවේසම තිබුණේ හරක් දිගේලි කරන්න. මේ මහකුඹුරු යාය උඩ ඇළපත, මැද ඇළපත, පහළ ඇළපත කියලා බෙදලා තිබුණේ. ඒවායේ කෙරුමෝ විදිහට ගමරාළලා තුන්දෙනෙක් හිටියා. වටේට පැල් 6ක් විතර තිබුණා. අනිවාර්යයෙන්ම පැල් රකින්න ඕනි. වෙල් විදානේ රෑට එනවා බලන්න. පැලේ හිටියේ නැති වුණොත් වෙන කෙනෙක් කුලියට දාලා කුඹුරේ වතුර කපලා යනවා. ඒක තමයි දඬුවම’.

හේරත්හාමි මාමා ගමේ කුඹුරු කෙරුවාව කියනවා. දැන් මේ දේවල් ගොඩාක් වෙනස් වෙලා. මේ කුඹුරු ගැන කතා කරනකොට පුල්එළියට සුවිශේෂී වෙන කරුණකුත් තියෙනවා. මල්ලිකා ඉස්කෝලේ නෝනා ආයෙත් කතා කළා.

‘මේ ගමට තියෙනවා මහවෙල කියලා කුඹුරු යායක්. ඒකට වෙහෙරේ කුඹුරු කියලත් කියනවා. ගමේ ඉන්න අය වංශවත් කියලා සැලකුවේ මේ කුඹුරු යායේ කුඹුරු තියෙන අය තමයි. රාජගුරුලා ගමේ පැරැන්නෝ මුල් පදිංචිකාරයෝ කියලා අදටත් ගණන් ගන්නේ මේ නිසා. මේ කුඹුරු යායේ කුඹුරු දරුවන්ට දෙනකොට පිරිමි දරුවන්ට විතරයි දෙන්නේ. පිටට අයිතිය යනවා කියලා කවදාවත් මොන හේතුවකටවත් ගැහැනු දරුවන්ට දෙන්නේ නැහැ’.

මඟුල් අවමඟුල්

පුල්එළිය ගොඩාක් පැරණි ගමක්. ගමේ අතීතයත් එක්ක බැඳුණු චාරිත්‍ර විදිත් හරිම වෙනස්. අපේ රටේ අනික් ප්‍රදේශ එක්ක සංසන්දනය කරනකොට මේ චාරිත්‍ර වාරිත්‍ර හරිම විචිත්‍රයි. අපි මඟුල් අවමඟුල්කම් ගැනත් සෙව්වා. මඟුල් ගැන හේරත්හාමි මාමා ලස්සන කතාවක් කිව්වා.

‘ඒ කාලේ මහත්තයෝ ඔය පෝරු ගහන ඒවා අපි දන්නෙත් නැහැ. අපේ අම්මලා තාත්තලා තමයි අපිට මඟුල් තුලා කතා කළේ. ඒක වුණේ මෙහෙමයි. දැන් මමයි මගේ ගෑනිටයි කොල්ලෙක් ඉන්නවා. ගෑනියෙක් ගේන්න කල වයසත් හරි. අපේ ගෑනි කියනවා අර ගෙදර ඉන්න දෝණියන්දැ නම් අපේ එකාට ගැලපෙනවා කියලා. එහෙනම් යමු ගෑනියේ බලන්න කියලා අපි යනවා. මමයි ඒ ගෙදර පිරිමි මනුෂ්‍යයයි පිලේ තමයි මේ ගැන විටක් කාරිය හප හප කතා කරන්නේ. ගෑනියි ඒ ගෙදර ගෑනියි කුස්සියේ කතා කරනවා. කුස්සියේ කතා කරන ගමන් ඉතින් අපේ ගෑනි අර දෝණියන්දැ ගැන විපරම් කොරනවා. පිරිසිදුකම, අරපිරිමැස්ම, ඔන්න ඔය වගේ දේවල්. ඔය විදිහට ඒ ගෙදර අයත් අපේ ගෙදර එනවා. මේ විදිහට බලලා දෙපැත්තට හිතුණොත් කැපෙනවා කියලා මඟුල් ගන්නවා. මඟුල් කන දවසේත් මනමාලයා මනමාලිය ගේන්න ඒ ගෙදරට යනවා කියමු. කඩුල්ල වහලා තිබුණොත් කඩුල්ල ඇරගන්න කවි කියන්න ඕනි’.

ඒ මොකක්ද ඒ කතාව…. කවි කියනවා…

‘ඔව් මහත්තයෝ. ඉස්සර ගෙවල් ඉස්සරහා කඩුල්ලක් තිබුණනේ. ඒ කියන්නේ ඉනි දෙකක් හිටුවලා ඒක හරහට මාවරේ බැඳලා. මේ මාවරේට අමතරව උඩිනුත් ලීයක් බැඳලා තිබුණොත් මනමාලයාගේ පාර්ශ්වයට කඩුල්ල පනින්න අවසර නැහැ. එතකොට ඉතින් කඩුල්ල ළඟ ඉඳලා කවි කියනවා. හැබැයි ඉතින් කවි කිව්වොත් කඩුල්ල ළඟ ඉඳලා මනාලියගේ ගෙදර පිළටම පාවඩ එළන්න ඕනි. අනෙක් පැත්තෙනුත් කවියක් කියලා තමයි මනාලිය බුලත් අත අතට ගන්නේ. ඒ කාලේ මඟුල් කෙරෙනකොට සාලේ ගැහැනු එළියේ පිළේ පිරිමි. එකට බෑ. මනාලයට වුණත් වැඩ සේරම කෙරිලා අරගෙන යනකොට තමයි මනාලිය බලන්න වෙන්නේ. ඒ කාලේ සේරුවක්කාරියට තියලා තමයි බත් මාළු පිණි පිළිගන්වන්නේ’.

එතකොට මාමා අවමඟුල් කොහොමද? හම්මෝ… හඬත් එක්ක මාමාගේ මුහුණේ සිනාවක් ඇඳිලා මැකිලා යනවා.

‘හරි මහත්තයෝ… කවුරු හරි මැරුණ කියමු. මුලින්ම කරන්නේ කාමරයට දාලා පහනක් පත්තු කරලා දොර බඳිනවා. මිනිය තනි කරනවා. මිදුලේ ගින්දර පත්තු කරගෙන ඉන්නවා. ඇතුළට යන්නේ නැහැ. මැරුවත් යන්නේ නම් නැහැ මහත්තයෝ. රැයක් මේ විදියට තියනවා. හොඳට ඉර පෑයුවට පස්සේ දොර ලිහනවා. එම්බාම් එහෙම මොකුත් නැහැ. මිනිය එළියට අරන් ලෑලි දෙකක් උඩ බාවනවා.

ඊළඟට වතුර කලයක් අරන් ඔළුවේ ඉඳලා දෙපතුලට වක්කරනවා. කහයි පොලුයි බතුයි පිඟානකට දාලා මිනිය ළඟින් තියෙනවා. ඒකට කියන්නේ කටහාල් දානවා කියලා. මිනිය අර විදිහට දෝවන්නේ බෑනා. ඊළඟට මිනිය පැදුරක ඔතලා තුන් තැනකින් බැඳලා කරේ තියාගෙන කැලයට යනවා. මෙහෙම යනකොට මහත්තයෝ ගෙදර වත්තට අපි ඇතුල්වෙන කඩුල්ල ඒකට පාවිච්චි කරන්නේ නැහැ. වෙන එකක් හදාගෙන තමයි යන්නේ. ඒ මොකද අර කඩුල්ල ළඟ සොහොන් යකා ඉන්නවා. යකා මේකට නැග්ගොත් බර වැඩිවෙනවා’.

සොහොන් යකා ගැන මතක් කරලා හේරත්හාමි මාමා සිනාවෙනවා. කැලයට යන්නේ පිරිමි විතරය නේද? කැලේට යන කතාව මම ආයෙත් සොහොනට ගන්නවා.

‘ඔව්. පිරිමි විතරයි යන්නේ. කැත්තයි පොරවයි අරන් යනවා. ඊළඟට එක ළඟට තියෙන ගස් දෙකක් අතරේ ලී හිරකරලා ඒක උඩින් මිනිය තියලා මිනිය උඩට තවත් දර අඩුක් කරලා ගින්දර තියනවා. මෙහෙම ගින්දර තියන්නෙත් බෑනා. ඒ දෙපැත්තෙන්. ඊළඟට කැලයෙන් ඈතට ඇවිත් ගිනි මැළ දෙක හා වෙනකම් ඉඳලා ගෙදර එනවා’.

ගිනි මැලය හා වෙනකම් ඉන්නේ ඇයි? මගෙන් නැවත ප්‍රශ්නයක්. ‘ඇයි මහත්තයෝ සොහොන් යකා මේක නිවලා පෙරළලා දාන්න පුළුවන් නේ’.

‘ඔන්න ඊළඟට කැලයට ගිය කට්ටිය ගෙදරට ආවට පස්සේ කන්න දෙනවා. මිනියක් මැරුණට පස්සේ ගෙදර අය දෙන පළමු කෑම. මේකට කියන්නේ මතක බත කියලා. හැබැයි මහත්තයෝ මෙතනත් හරි ලස්සන වැඩක් වෙනවා. මෙහෙම මළ ගෙදරින් කෑම වේලක් කන්න දුන්නත් ගොඩක් අය කන්න බයයි. එහෙමත් පුතෙක් තමයි කෑවොත්. අනික් අය එක එක හේතු කියලා මේ වැඩේ මඟඅරිනවා. ඒ කාලේ යක්කුන්ට හොල්මන්වලට මිනිස්සු ගොඩාක් බයයි. ගෙදරක මිනියක් මැරුණා කියලා ආරංචි වුණාම බල්ලෙක්වත් ගෙදරින් එළියට බහින්නේ නැහැ. දොරවල් වහගෙන මිනියේ වැඩ ඉවර කරනකන් කොහොම හරි ඉන්න තමයි බලන්නේ. මොකද ගමක මිනිහෙක් මැරෙනවා කියන්නේ ගමේ හැමතැනම යක්කු කළඑළි බහිනවා කියන එකයි’.

මුට්ටි නැවුම් මංගල්‍යය

රජරට බොහෝ ගම්වලට උරුම මුට්ටි නැවුම් මංගල්‍යය තමයි පුල්එළියට තියෙන ප්‍රධාන ආගමික උත්සවය. මේ උත්සවයට ගම්මුන් සේරමලා එකා වගේ එකතු වෙනවා. ඇසළ මහට තමයි උත්සවය සංවිධානය කරන්නේ. හැම ගෙදරකින්ම කෑම වර්ග, රසකැවිලි වර්ග, බුලත්, පුවක්, හාල් එකතු කරනවා. රජරට අනෙක් ගම් මේ උත්සවයට ගන්නවාට වැඩිය ටිකක් පුල්එළියේ මංගල්‍යය වෙනස්. බුලත් පුවක් ආදිය එකතු කරන සියල්ල දේවාලය (විෂ්ණු) පුල්ලෙයාර් කෝවිලට මුට්ටි නැවුම්පොළට කියලා වෙන් කරනවා.

‘ඔව් මහත්තයෝ… මේ මංගල්‍යයට ගමේ හැමෝම එකතුවෙලා තමයි දිනය තීරණය කරන්නේ. එහෙම දිනය තීරණය කළාට පස්සේ ගමේ අපි ලොකු කුඩා කවුරුත් හරියට පරිස්සම් වෙනවා. ඒක හරියට නොනගත කාලය වගේ. දුර ගමන් යන්නේ නැහැ. යම් අතුරු-අන්තරා වගේ දේවල් මේ කාලයේදී සිද්ධ වෙන්න පුළුවන් කියලා අපේ අම්මලා විශ්වාස කළා. මට මතකයි අම්මලා කියනවා ඒ කාලේ පොල් ගෙඩියක් බිඳින්නත් බයයිලු’.

මුලින් කතාකරපු ඉස්කෝලේ නෝනා ආයෙත් මේ මංගල්‍යය ගැන කතා කළා. ඊළඟට මංගල්‍යය ගැන කතා කළේ හේරත්හාමි මාමා.
‘පාන්දරම මුට්ටි නවන්න වැවට යනවා. තටු 4ක් දීලා මුට්ටි පේ කරලා කවි කියලා අදාළ චාරිත්‍ර සිද්ධ කරලා කෙළින්ම එන්නේ විෂ්ණු දේවාලයට. එතැනට බුලත් 5යි පුවක් 5යි දීලා කිරි උතුරවනවා’.

ඊළඟට රජ හැලිය

‘රජ හැලිය කියල කියන්නේ මහත්තයෝ ලොකු මුට්ටියක වටේට බුලත්/කෙසෙල් කොළ ලස්සනට තියලා සුරුවම් ඇඳලා මුට්ටියට උක් පැණි, උක් හකුරු, පොල් හකුරු, සීනි, ගිතෙල්, වට්ටක්කා, අළුකෙසෙල් වගේ ගොඩාක් දේවල් දාලා ළිපේ තියනවා. මේ වෙලාවට වෙඩිල්ලක් තියනවා. මුට්ටි නවන වෙලාවටත් වෙඩිල්ලක් තියනවා. කොහොම හරි කඩවරයට කම්බිලියට ගොටු තියලා අන්තිමට උදේ 10 විතර වෙනකොට මේ මංගල්‍යය ඉවර කරනවා.
පෙර දවසේ උදෑසන ගම්මු රොත්ත බුරුත්ත එකතුවෙලා එකා වගේ පටන් ගත්ත මේ කෙරුවාව ඉවර වෙන්නේ කඩවරයාගෙන්. නැතිනම් කම්බිලියා ළඟින්. එතැනින් පස්සේ ඉතින් පුල්එළියට කිරි ඉතිරෙනවා කියලා තමයි ගම්මුන් විශ්වාස කරන්නේ’.

අන්තිමට පුල්එළියටම විශේෂ වුණු මෝදගම් රස විඳිමින්ම අපි ගමෙන් බැද්දට රිංගුවා. ආයෙත් මල්වතු ඔය… මල්වතු ඔය ළඟ ටිකකට නතර වෙන්න හිතුවා…

-කේ. සංජීව-

මේක දශකයකට විතර කලින් ලියපු ලියවිල්ලක්. ඒ පුල්එළියේ ගිහිං ඇවිදලා ඇවිත්.. දැන් ගම මීටවඩා සෑහෙන්න වෙනස් වෙලා ඇති. මේ පැරණි ලියවිලි එක්ක වර්තමානයට යන්න අලුත් පුල්එළිය කොහොමද කියලත් ඉදිරියේදී ලියනවා.. දිගටම වෙබ් අඩවිය කියවන්න.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...