රට තුළ පිහිටි අධිවේගී මාර්ගවල මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සඳහා නව වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට රුපියල් බිලියන 1.2ක් වෙන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මේ වන විට කිලෝමීටර් 312ක පමණ අධිවේගී මාර්ග පද්ධතියක් රට තුළ පවතින අතර, එම අධිවේගී මාර්ග දැනට වසර 10ක පමණ කාලයක සිට ක්‍රියාත්මකව පවතී. ඒ අනුව මෙම මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතු මෙන්ම, ඉදිරියේදී මෙම මාර්ග ජාලයට එකතු වන අනෙකුත් අධිවේගී මාර්ග නඩත්තුව සඳහා ද මෙලෙස වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට නියමිතය. මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙසේ හිමිව ඇත.
ඒ අනුව, ඇස්තමේන්තුගත රුපියල් බිලියන 1.2ක වියදමින් නව වාහන සහ යන්ත්‍රෝපකරණ 21ක් මිලදී ගනු ඇත. අධිවේගී මාර්ග නඩත්තු කිරීම සඳහා අතිරේක වාහන සහ යන්ත්‍රෝපකරණවල අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් හඳුනාගැනීමෙන් අනතුරුව මෙම කැබිනට් පත්‍රිකාව සකස් කර තිබේ. මෙම මිලදී ගැනීම් සඳහා වන පිරිවැය, අධිවේගී මාර්ගවලින් උපයන ආදායම භාවිත කරමින් පියවීමට නියමිතය.






