ලංකාවේ සිදුවුණු වන අලි ජාවාරම 02 – යහපාලන කාලය

sri lanka illegal elephant racket investigation 2 knews

පසුගිය කාලයේ හැමතැනම අලි හොරුන්ය. එකල අලි ජාවාරම නම්බුකාර හොරකමක්ය. බොහෝ දෙනෙක් කැලයෙන් අලි පැටවුන් සොරකම් කර පන්සල්වලට, දේශපාලකයන්ට, ධනවතුන්ට විකිණුවෝය. දැන් අලි පැටවකුගේ වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 60ක් බව කියන්නේ පරිසර සංවිධාන ය. පසුගිය 21 වැනි දින පැවැති මාධ්‍ය හමුවකදී පරිසරවේදී පුබුදු වීරරත්න මහතා ප්‍රකාශ කළේ පින්නවලටත් වැඩියෙන් මහරගම ප්‍රදේශයේදී අලි පැටවුන් උපත ලබන බවය. ඒ අලි ජාවාරමේ මහ මොළකරුවා මහරගම සුරක්ෂිතව තවදුරටත් ජාවාරම කරගෙන යන නිසාය. මේ වනවිට මහරගම ප්‍රදේශයේ පමණක් අලි පැටවුන් 10ක් පමණ උපත ලබා ඇති අතර එක් අලි මවකට එක් වර්ෂයකට අලි පැටවුන් තිදෙනකු ලැබී ඇති බවද වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයේ ලිපිගොනු තුළ ලියැවී ඇත. මෙය නම් මහින්ද පාලනයේ ආශ්චර්යයක්මය.

අලි පොත

2013 අවුරුද්දේ අගෝස්තු මාසයේදී ‘අලි පොත’ නමැති පොතක් අතුරුදන් වී ඇති බව මාධ්‍ය වාර්තාවල පළවිය. එම පොතේ අන්තර්ගත කරුණු මොනවාද? එහි අන්තර්ගතව තිබුණේ ලංකාවට අදාළව හීලෑ අලි ඇතුන්ට දාව උපත ලද සියලුම අලි පැටවුන්ගේ ජීවන තොරතුරුය. මෙම අලි පොත අතුරුදන්වීම සැලසුම් සහගත ක්‍රියාවක් බව පෙනෙන්නේ එම අතුරුදන්වීමෙන් අනතුරුව නීතියට පිටින් කැලයෙන් අලි පැටවුන් අල්ලාගෙන කූට ලේඛනයන් සාදමින් නීතියේ ඇසට වැලි ගසමින් අලි පැටවුන් ජාවාරම දෙගුණයක බලයකින් ක්‍රියාත්මක වීම නිසාය.

මෙම අලි පොත නැතිවූ පසු එවක වනජීවී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා මහාචාර්ය සරත් කොටගම, නීතිඥ ලලිත් කුමාර දිසානායක, ඇමැති උපදේශක චරිත විජේසේකර යන අයවලුන්ගෙන් යුක්ත ත්‍රිපුද්ගල කමිටුවක් විමර්ශනයට පත් කරන අතර ඔවුහු අදාළ විමර්ශනයට පසුව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළහ. එහි මෙම අලි ජාවාරමට අදාළ බොහෝ සැඟවුණු තොරතුරු අන්තර්ගත විය. මෙම විමර්ශනයට සහ වාර්තාවට පසුව අදාළ විමර්ශනය කළ නිලධාරීන්ට සිදුවූයේ කුමක්ද? එයින් චරිත විජේසේකර මහතාට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වීමත් තහනම් කරන අතර ලලිත් දිසානායක මහතාට ත්‍රිකුණාමලය ප්‍රදේශයට මාරුවක් හිමිවේ. මෙම තත්ත්වයට හේතුව කුමක්ද? එකල ඒ පිළිබඳව තොරතුරු මාධ්‍යයට නිරාවරණය නොවුණු අතර අද ඒ පිළිබඳව කියවෙන්නේ කුමක්ද? අද කියවෙන්නේ මෙම තත්ත්වයන්ට එවක ජනපති ඍජුව මැදිහත් වූ බවය. ඒ කෙලෙසකද? මෙම තත්ත්වය හෙළිදරව් වන්නේ එවක අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසාට එවක වනජීවී සම්පත් සංරක්ෂණ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතා යවන ලද ලිපියක් මගින්ය. ‘අතිශයින් රහසිගතයි’ යනුවෙන් සඳහන් එම ලිපිය 2014/08/13 වැනි දින යවන ලද අතර එහි මුල්ම ඡේදයේ සඳහන් වන්නේ 2014/08/13 වැනි දින පෙ.ව. 6.30ට පමණ අතිගරු ජනාධිපතිතුමා දුරකථන මාර්ගයෙන් මා අමතන ලදී. නියෝජ්‍ය විගණකාධිපති ඒ.එච්.එම්.එල්. අඹන්වෙල මහතා විසින් වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වෙත එවන ලද විගණන විමසුමේ පිටපතක්, අඹන්වෙල මහතා විසින් චරිත ශ්‍රී විජේසේකර මහතා වෙත යොමුකර ඇත. ඒ සම්බන්ධයෙන් චරිත ශ්‍රී විජේසේකර මහතාගේ තත්ත්වය පිළිබඳව මාගෙන් විමසන ලදී.

මෙලෙස ආරම්භ කර ඇති මෙම ලිපියෙන් කියනුයේ අදාළ කරුණු සම්බන්ධයෙන් අඹන්වෙල මහතාට විරෝධය දක්වා විගණකාධිපති වෙත ලිපියක් යොමුකරන ලෙස ජනාධිපතිවරයා තමන්ට දැන්වූ බවය. මෙම ලිපියේ අවසානයේ කියනුයේ අදාළ නිලධාරියාට කාර්යාලයට ඇතුළු නොවෙන්න යැයි තමන් නියෝග නිකුත් කරන බවය. මෙම ලිපිය මගින් අනාවරණය වන්නේ අලි පරීක්ෂණවලට සිදුවූ අවාසනාවන්ත ඉරණමේ ස්වභාවයයි. පසුව අලි පොත පිළිබඳව විමර්ශනය කළ අනෙක් නිලධාරියාට ද ස්ථාන මාරුවක් හිමිවන අතර හොර අලි සම්බන්ධව ඉතාමත් නිර්භීත කරුණු හෙළිදරව්වක් කළ නියෝජ්‍ය විගණකාධිපති අඹන්වෙල මහතාට ද තමන් එතෙක් කටයුතු කළ අංශය හැරදා වෙනත් අංශයකට මාරුවක් හිමිවිය. මෙම මාරුව පිළිබඳව එවක කරුණු දැක්වූ විගණකාධිපතිවරයා මෙම කරුණු පිටුපස කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවුණු බව සපථ කළේය. එහෙත් වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉහත ලිපියට අනුව කල්පනා කරන කල අඹන්වෙල මහතාගේ ස්ථාන මාරුව පිටුපස සිටි පුද්ගලයා ද ජනපති මහින්දම බව පෙනේ.

විගණන විමසුම්

අරයා ළඟ අලි ඉන්නවා, මෙයා ළඟ අලි ඉන්නවා ලෙස කටවචනයට පමණක් සීමා වූ හොර අලි ජාවාරම පිළිබඳව රාජ්‍ය අංශයක් මැදිහත් වී සවිස්තර විමර්ශනයක් කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අඹන්වෙල මහතාය. ඒ නිසා ඒ ගෞරවය නොමසුරුව ඔවුන් වෙත පුද දිය යුතුය. ඔවුන් 2014 පෙබරවාරි මාසයේදී අලි පැටවුන් 22 දෙනෙකු පිළිබඳව වාර්තාවක් එළිදක්වන ලද අතර එහි අදාළ පුද්ගලයන්ගේ සියලු නම් ගම් ආදියද සඳහන් වුණි. එම අලි පැටවුන් 22ක් පිළිබඳ වාර්තාවට පසුව අලි පැටවුන් 4 දෙනකුගේ නියැදියක් පිළිබඳව 2014 ජූලි 22 නැවත විමර්ශන වාර්තාවක් පළකරන ලද අතර එහිදී අංක 331, 334, 358, 359 යන ලිපිගොනු සහිත අලි පැටවුන් පූර්ණ විමර්ශනයකට ලක් කරන ලද අතර අදාළ අලි පැටවුන් සියල්ලම නීතියට පිටින් අල්ලාගෙන සිටිනවුන් බව නිගමනය කර තිබුණි. මෙම නියැදියේ 334 අදාළ අලි පැටියා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතු බව මෙහිදී අනාවරණය විය.

රාවය පුවත්පත මේ පිළිබඳව සවිස්තර වාර්තාවක්ද පළ කළේය. මෙම විගණන විමසුමට ඉතාමත් කෙටි පිළිතුරක් වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලැබෙන අතර එය පිළිගැනීමට නොහැකි බව ප්‍රකාශ කර විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් යවන ලද වාර්තාවට තවමත් පිළිතුරු නැත. ඊට පසු නැවතත් ක්‍රියාත්මක වෙන විගණකාධිපති දෙපාර්තමේන්තුව 2014 ඔක්තෝබර් 17 වැනි දින අලි පැටවුන් 22ක් පිළිබඳව නැවත විමසුම් වාර්තාවක් සකස් කර එයද අදාළ අමාත්‍යාංශයට යවන අතර එම වාර්තාවටද තවමත් පිළිතුරක් නොමැත. මෙම අලි පැටවුන් 22කට අදාළ විමර්ශනය ජී.කේ.එල්. පෙරේරා යන සහකාර විගණකාධිපතිවරයා යටතේ සිදුවී ඇත. මේ විගණන විමසුම් වාර්තාවලට අදාළව මේ වනවිට නීතියට පිටතින් කැලයෙන් අල්ලාගෙන නීති විරෝධීව රඳවාගෙන සිටින අලි පැටවුන් 36ක් හඳුනාගෙන ඇත. එහෙත් අදාළ පුද්ගලයන්ට විරුද්ධව තවමත් නීතිය ක්‍රියාත්මක නැත. පරිසර සංවිධාන පවසන්නේ නීති විරෝධී අලි පැටවුන් සංඛ්‍යාව 100කට අධික බවය.

අලි හොරකමේ මහ මොළය

එච්.ඩී. රත්නායක වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඉතාමත් දූෂිතයි. ඔහු තමයි බලපත්‍ර විශාලම ප්‍රමාණය දීලා තියෙන්නේ. අනෙක් පුද්ගලයා හිටපු ලේකම් උදේනි වික්‍රමසිංහ. ඔහු දැන් අමාත්‍යාංශයෙන් ගිහින් තියෙනවා. හැබැයි අපි පැහැදිලිවම කියනවා ඔහු කරපු වැරදිවලට දඬුවම් ලැබිය යුතුයි. එච්.ඩී. රත්නායක තවමත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්. මේ පුද්ගලයා අලුත් රජයේ හොඳ හිත දිනාගන්න පසුගිය දවසක සජින් වාස්ගේ අලියෙක් අල්ලන්න නිලධාරීන් යැව්වා. අපි පැහැදිලිවම කියනවා අලි ජාවාරම පිටුපස ඉන්නේ මේ දූෂිත පුද්ගලයා. මෙලෙස අදහස් දක්වන්නේ පරිසරවේදී පුබුදු වීරරත්න මහතාය.

සජින් වාස් ගුණවර්ධනට අදාළ අලි පැටවාගේ ලිපිගොනු අංකය 207 වන අතර මෙම අලි පැටවාද නීතියට පිටින් අල්ලාගෙන ඇති කරන පැටවකු බව ඉතාමත් පැහැදිලිය. එහෙත් මෙම අලියා පරීක්ෂාවට යන නිලධාරීන් බලපත්‍රය පසුව පෙන්නාවි යන කරුණු මත ආපසු හැරී එන අතර එයින් මෙය මාධ්‍ය සංදර්ශනයක් බව පැහැදිලිය. නීතිමය තත්ත්වය අනුව අලියා සිටින ස්ථානයේ බලපත්‍රය තිබිය යුතුය. එලෙස බලපත්‍රයක් අදාළ ස්ථානයේ නොමැති නම් අදාළ අලි පැටියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුය. එහෙත් මේ කිසිදු දෙයක් සජින් වාස්ගේ අලි පැටියා සම්බන්ධව සිදු නොවුණි.

පසුගිය කාලයේ වරින්වර මතු වූ මෙම අලි ෆයිල්වලින් හෙළිදරව් වූ කරුණුවලට අදාළව චෝදනා එල්ල වන පුද්ගලයන් අතර ඉහළින්ම සිටින්නේ පසුගිය පාලන කාලයේ දේශපාලන හිනිපෙතේ ඉහළින්ම සිටි දේශපාලකයන්ය. ධනවතුන්ය. නැතිනම් භික්ෂූන්ය. අදාළ පුද්ගලයන්ගේ මෙම නීති විරෝධී අලි ජාවාරම පිළිබඳව අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් කරුණු අනාවරණය වී තිබෙන මේ මොහොතේ අවශ්‍ය නීතිමය කරුණු සිදු නොවන්නේ මන්ද? එම ගැටලුව අපට පහදා දෙන්නේ යහපාලනය තුළදීත් අලි හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන බවද?

කේ. සංජීව (2015/01/25 රාවය)

ලංකාවේ සිදුවුණු වන අලි ජාවාරම 01 – https://knews.lk/wildlife-corruption-sri-lanka-audit-report-knews-1/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...