පිළිකා ප්‍රතිකාර අතරතුර අඩුවෙන ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ සුදු රුධිරාණු මට්ටම වැඩි කිරීමට භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ බොහෝමයක් රෝහල් තුළ හිඟ හෝ නැති තත්ත්වයක් උදාවී ඇතැයි ද, මේ නිසා පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්වී ඇතැයි ද වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි.
Neup, Neupogen, G-CSF සහ Filgrastim ඇතුළු ඖෂධ බොහෝමයක් රජයේ රෝහල් සතුව නැතැයි ද, එම තත්ත්වය තුළ එම ඖෂධ මත යැපෙන රෝගීන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි ද වෛද්‍යවරයා පවසයි.
G-CSF ඖෂධ ලෙස පොදුවේ හඳුන්වන මෙම ඖෂධ, සුදු රුධිරාණු නිෂ්පාදනය උත්තේජනය කිරීමට සහ ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව ඉහළ දැමීම සිදුකරන අතර, මෙවැනි ඖෂධ මෙන්ම සමහර කීමෝ ඖෂධ වර්ග පවා මේ අවස්ථාව වන විට රජයේ රෝහල් තුළ නැති තත්ත්වයක් වාර්තා වෙයි.
වෛද්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට ආනයන ක්‍රියාවලියේදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ තොග භාර ගැනීමට නොහැකි වී ඇති අතර, අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක පිළිකා ඖෂධ අඛණ්ඩව සැපයීම වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සහතික කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කරයි.
ඔහු තවදුරටත් කියා සිටියේ, රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික අංශයට ද මෙම ඖෂධ හිඟය අත්විඳින්නට සිදුව ඇති බවය.






