බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ පවුල්වල සාමාජිකයන් සත්‍යය, සාධාරණත්වය සහ වගවීම උදෙසා වන ඔවුන්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් නැවතත් අවධාරණය කරන අතරතුර, අගෝස්තු 30 වන දා යාපනයේ පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (United Nations) සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානයේ නියෝජිතයන් සහභාගී වීමට නියමිතව තිබේ.
වාර්ෂිකව අගෝස්තු 30 වන දාට යෙදෙන, බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට (International Day of the Victims of Enforced Disappearances) සමගාමීව බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන් විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබන්නේ “සාධාරණත්වය උදෙසා වූ දීර්ඝ ගමන” (“The Long Journey for Justice”) තේමාව යටතේ ය.
එය යාපනය තන්දෙයි චෙල්වා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, දේශපාලන නියෝජිතයන්, මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ආගමික නායකයන් මෙන්ම මහජනතාව ද එක්රැස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ නියෝජිතයන් ද මීට සහභාගී වීමට නියමිත බව සංවිධායකයෝ පැවසූහ. කෙසේ වෙතත්, එම නියෝජිතයන්ගේ අනන්‍යතාවයන් සහ තනතුරු පිළිබඳ තොරතුරු වහාම ලබා ගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, තමන්ගේ ආදරණීයයන්ට සිදුවූයේ කුමක්ද යන්න සහ ඔවුන් සිටින තැනක් පිළිබඳව පිළිතුරු ඉල්ලමින් ද, සත්‍යය, සාධාරණත්වය සහ වගවීම ඉල්ලා සිටිමින් ද වසර ගණනාවක සිට අගෝස්තු 30 වන දා උද්ඝෝෂණ සහ පාගමන් පවත්වමින් සලකුණු කරති.
විශේෂයෙන්ම අතුරුදහන් වූවන්ගේ මව්වරුන් සහ බිරින්දෑවරුන් ඇතුළු බොහෝ පවුල්වල සාමාජිකයන්, තම ඥාතීන්ට සිදුවූ දේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ ඊට වගකිවයුත්තන්ට එරෙහිව වගවීමක් ඉල්ලා සිටිමින් වසර ගණනාවක් පුරා ප්‍රසිද්ධ ප්‍රචාරණ ව්‍යාපාරයන්හි නිරතව සිටිති.
අගෝස්තු 30 වන දා පැවැත්වෙන වෙනත් වැඩසටහනකදී, උතුර සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් කිලිනොච්චියේදී පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
A9 මහා මාර්ගය අසල පිහිටි කෝවිලක් ඉදිරිපිට මෙම රැස්වීම පැවැත්වෙන අතර, අතුරුදහන් වූ තම ආදරණීයයන් සිහිපත් කරමින් සහ පිළිතුරු සෙවීමේ ඔවුන්ගේ නොනැවතුණු උත්සාහය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීම සඳහා ඥාතීන් විසින් දැල්වූ කපුරු සහිත පාත්‍ර දරා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සාධාරණත්වය උදෙසා පවුල්වල සාමාජිකයන් විසින් ගෙන යන ලද දීර්ඝකාලීන අරගලය ඇතුළත් පොතක් එළිදැක්වීමට ද සංවිධායකයෝ සැලසුම් කරති.
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවැති අර්බුදයේ විසඳා නොමැති වඩාත්ම ආන්දෝලනාත්මක උරුමයක් ලෙස බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් තවදුරටත් පවතී. උතුර සහ නැගෙනහිර පවුල්, අතුරුදහන්ව සිටින තම ඥාතීන් පිළිබඳව තොරතුරු නැවත නැවතත් ඉල්ලා සිටින අතර, ඔවුන්ට සිදුවූ දේ පිළිබඳ විශ්වාසදායක පරීක්ෂණ සහ පිළිතුරු ලබා දෙන ලෙස එකිනෙක බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩුවලට දිගින් දිගටම බලපෑම් කරති.
මුල් ලිපිය සහ ඡායාරූපය – Jaffna Monitor






