2024 සැප්තැම්බර් ආණ්ඩුව මාරුවෙන අවස්ථාවේදී ඩොලර් මිලියන 6100ක සංචිත තිබුණු බවත්, ඉන්පසුව IMF වාරික තුනක් මෙම සංචිතයට එකතු වූ බවත් ප්‍රකාශ කරන හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ මෙම අයි.එම්.එෆ්. වාරික ත්‍රිත්වයත් සමඟ අපේ සංචිත ඉහළ යෑම සිදුවිය යුතු වුවත් එය අවම වශයෙන් ඩොලර් මිලියන 500කින් අඩු වුණේ කෙසේද යන්නයි.
පසුගිය 22දා මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඩොලර් මිලියන 330ක වාරික තුනක් සමඟ අඩුම තරමින් ඩොලර් මිලියන 7100ක පමණ සංචිතයක් තිබිය යුතු වුවත් අද තිබෙන්නේ ඩොලර් මිලියන 6591ක් බවයි. ඒ අනුව ඩොලර් මිලියන 500ක් කාන්දු වී ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
මහ බැංකුව තමන්ගේ ස්වාධීනත්වය ගැන කුමක් කීවත්, රටේ විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා රජය වහාම මැදිහත් විය යුතු බව ප්‍රකාශ කරන හිටපු මුදල් අමාත්‍යවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.
“මම ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා විදෙස් සංචිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළකට යන්න. මොකද අන්තිමට ආණ්ඩුවට තමයි මේ බර කර ගහන්න වෙන්නේ. මහ බැංකුවේ ස්වාධීනත්වය කියලා ඒගොල්ලො අන්තිමට කියයි ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් වැඩේ හරියට කළේ නැහැ, ඒ නිසා ඒගොල්ලන්ට බැරි වුණා කියලා සංචිත ආරක්ෂා කරගන්න. මම ඉතාමත් ඕනෑකමින් මේ ඉල්ලීම කරන්නේ, මොකද මේක අපේ රට. මේකට කොළ, නිල්, රතු පාට, දම් පාට කියලා දෙයක් නැහැ. රටට සංචිත හදාගන්න අපි සියලු දෙනාම බැඳී සිටිනවා.”






