කැලණි ගඟේ ජලය ලබාගන්නා ස්ථානයේ, ජලයේ ගුණාත්මක තත්ත්වයට බලපෑ හදිසි හේතුව ඉවත් කිරීමෙන් පසුව, පිරිපහදු කිරීම සඳහා ජලය පොම්ප කිරීමට පටන් ගත් බවත් ඒ අනුව හදිස්සියේ තාවකාලිකව අත්හිටුවූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව මෙම හදිසි තත්ත්වය කළමනාකරණය කළ බව එම මණ්ඩලය ප්‍රකාශ කරන අතර ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශ මත, ජලය බෙදාහැරීම නැවත ආරම්භ කිරීමට පෙර එහි ගුණාත්මක තත්ත්වය පිළිබඳව රසායනාගාර පරීක්ෂණයක් ද සිදුකර ඇත. එහි ප්‍රතිපල අනුව ජලය නියමිත ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරගත් බව ප්‍රකාශ කරන එම මණ්ඩලය, ඒ අනුව ජලය බෙදාහැරීම නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කරයි.
මේ අනුව ජල පවිත්රාගාර ආසන්නයේම පිහිටි ප්‍රදේශ සඳහා ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් වනු ඇති අතර බත්තරමුල්ල, කෝට්ටේ, නාවල සහ නුගේගොඩ ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වීමට සැලකියයුතු කාලයක් ගතවෙනු ඇතැයි ප්‍රකාශ වෙයි.
ජනතාවට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා සඳහා ‘1939’ යන දුරකථන අංකය භාවිතා කළ හැකිය.






