නුවර පෙරහැර ගින්දරෙන් හැඩ කරන ගින්දර වගේ වල්පොළ ගිනිකෙළියෝ..!

kandy knews (2)

ඉස්සර අපි චටස් පටස් කසපාරට තමයි පෙරහැර ළඟ ළඟම එනවා කියලා ඇස් උස්සගත්තේ. මිනිස්සු පීරගෙන අස්සෙන් අස්සෙන් රිංගලා පෙරහැර මඟට බහින්න පොරකෑවේ. කසකාරයෝ වගේම ඊළඟට ගිනි කෙළිකාරයෝ.. එහෙමයි අපි හිතුවේ. ගිනිකෙළි නැටුම් කියලා කියන්නේ පෙරහැර ශෝභාව හැමදාම වර්ණවත් කරපු කලාවක්. ඉන්ද්‍රජාලික ගිනිකෙළි වළලු, මල් මාලා, මාමලා පුතාලා දිහා බලාගෙන පෙරහැර විඳින අපි හිතනවද ඒ පිටිපස්සේ ඉන්න අය ගැන. ඉතින් අපි අද කතා කරන්න හිතුවා නුවර පෙරහැර 1972 ඉඳලා ගිනි වළලුවලින්, ගිනි ඉන්ද්‍රජාලයෙන් හැඩකරන ඉන්ද්‍රජාලිකයෝ ගැන කතා කරන්න. මේ තමයි වල්පොළ ගිනිකෙළි පරපුර..! අහන්නකෝ කතාව..!

මම ඊ.ඩී. තිලකරත්න..

මම තමයි වල්පොළ ගිනිකෙළි කලා කවය හැදුවේ. ඒ 1968. වල්පොළ ශ්‍රී බාලවර්ධන සමිතියේ පෙරහැරට සහභාගී වෙන්න තමයි මම මේ කණ්ඩායම මුලින්ම නිර්මාණය කළේ. එතකොට මගේ දරුවෝ මේ කණ්ඩායමේ හිටියේ නෑ. මගේ පළාතේ තරුණ විස්සක් විසිපහක් විතර එක්කාසු කරගෙන තමයි මුලින්ම වැඩට බැස්සේ. මම ඉතින් අංගම්පොර කලාවත් යොදාගෙන මේක ලස්සන කලාවක් විදිහට කළා.

මම මේක 1968 ආරම්භ කරලා 1972 සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගිහින් මේක සංස්කෘතික අංගයක් විදියට ලියාපදිංචි කළා. එවකට සංස්කෘතික ඇමති ලක්ෂ්මන් ජයකොඩි මහත්මයා. ලියාපදිංචි කිරීමෙන් පසුව මම පෙරහැරවල් කරනවා. ඒ කාලේ නිශ්ශංක විජේරත්න මහත්මයා තමයි මෙහේ දියවඩන නිලමේතුමා. මම ඒ මහත්මයාට ලියුමකින් දැන්වීම් දුන්නා මෙහෙම කණ්ඩායමක් ඉන්නවා අපි එන්නද කියලා. ඒ මහත්මයා කිව්වා ඕගොල්ලෝ එන්න කියලා.

kandy knews 2 (1)
ඉන්ද්‍රජාලික ගිනිබෝල කලාව

අපි එනකොට ගිනි බෝල කලාවෙන් හතර දෙනෙක් වගේ තමයි නුවර පෙරහැරේ හිටියේ.. ඔලුවේ බැඳන් කරකවනවා දෙන්නයි. තනි පොල්ලක් කරකවනවා දෙන්නයි. ඒ මනුස්සයා මේ රජයේ පදක්කම් අරගත්ත මනුස්සයෙක්. මාලිගාවේම ඉඳලා තියෙන්නේ. එදා රෑ අපි සෙල්ලම් කරනකොට ඒ මනුස්සයා මට කිව්වා “තිලකරත්න මහත්තයෝ, මම දන්න කලාව තමයි මෙච්චර දවස් කළේ. මින් ඉදිරියට මම මෙතනින් නවතිනවා. මින් ඉදිරියට ලස්සනට කරගෙන යන්න” කියලා.. මට ඒ මනුස්සයා වරම් දුන්නා. වරම් දුන්නා කියන්නේ මට දුන්නා අවසරේ.

ඉතින් මගේ පුත්තු දැන් ලොකුයි. මම එනකොට පුත්තු පොඩියි. එතකොට මගේ ලොකු පුතා තමයි රණසිංහ ප්‍රේමදාස මහත්තයාගෙන් රන් පදක්කම් ගත්තේ. සම්පත් ධම්මික තිලකරත්න මගේ දෙවෙනි පුතා. දෙවෙනි පුතාත් සම්මාන ගත්තා, සහතික ගත්තා. ජනාධිපතිවරු හත් දෙනෙක්ගෙන් දැනට මම සම්මාන සහතික ලබාගෙන තියෙනවා. ඒ අරගෙන දැන් මම වයෝවෘද්ධයි. දැන් මගේ දරුවන් සහ මුණුපුරන් සමඟ, මගෙත් එක්ක සෙල්ලම් කරපු අයගේ දරුවන්ගේ දරුවෝ, මේ ක්‍රීඩාව කරගෙන යනවා.

මේ ක්‍රීඩාව දැන් ලංකාවේ, නැතුවම බැරි ක්‍රීඩාවක් වෙලා තියෙනවා පෙරහැර සංස්කෘතියට. ඉතින් ඒ සංස්කෘතිය ගැන මට ආඩම්බරයක් තියෙනවා, මොකද මම මළත් මේ ක්‍රීඩාව මැරෙන්නේ නෑ. ඉතින් ඒක මට ආඩම්බරයක්. දැනටත් මම ශිල්පියෙක් වශයෙන් මට හැකි අවස්ථාවලදී සහභාගී වෙනවා පෙරහැර වලට.

kandy knews 3 (2)
ප්‍රබුද්ධ, සමන් සහ වල්පොළ ගිනිකෙළි පරපුර හදපු ඊ.ඩී. තිලකරත්න

සමන් ඉන්දික තිලකරත්න දැන් ලොක්කා

මම තමයි ටී.ඩී. තිලකරත්න මහත්තයාගේ වැඩිමල් පුතා. මම 1990 නුවර පෙරහැරට සහභාගි වෙලා වල්පොළ ගිනිකෙළි කණ්ඩායමේ ප්‍රථම රන් පදක්කම දිනනවා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතින් තමයි පළවෙනි රන් පදක්කම වල්පොළ ගිනිකෙළි කලා කවයට ලැබුණේ. ඒකෙන් පස්සේ තමයි වල්පොළ ගිනිකෙළි කියන නම ලංකාවේ සෑම කෙනෙක්ටම ආරංචි වුණේ.

මම දැන් දළදා මාලිගාවේ නොකඩවා අවුරුදු ගණනාවක් සෙල්ලම් කරනවා. දැන් මගේ පුතත් සෙල්ලම් කරනවා. පුතා, මම, තාත්තා, මල්ලි පරම්පරා තුනක් දැන් මේ දළදා පෙරහැරේ සෙල්ලම් කරනවා. මගේ පුතා ප්‍රබුද්ධ පන්සිළු සඳකැන් තිලකරත්න, එයා බටුවත්ත ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ තමයි අධ්‍යාපනය ලබන්නේ.

මට හරිම ආඩම්බරයක් දැනෙනවා මොකද මමත් පොඩි කාලේ මෙතන මගේ පොඩි පුතා දැන් සෙල්ලම් කරන විදිහටම කළා. තාත්තයි මායි සෙල්ලම් කළා. දැන් මායි පුතයි විතරක් නෙවෙයි තාත්තත් සෙල්ලම් කරනවා. පහතරට ගිනි බෝල කලාවට නුවර දළදා මාලිගාවෙන් ලැබිච්ච මේ අත්වැල අපිට ලොකු දෙයක්. අපි ඒක බොහොම අගය කොට සලකනවා.

අපි පහතරට නැටුම් කණ්ඩායම්, අපිත් හරි කැමතියි විදේශ රටවල්වලට ගිහිල්ලා අපේ දක්ෂතාවය එළිදක්වන්න. දැනට වෙස් කණ්ඩායම් යනවා, තෙල්මේ කණ්ඩායම් යනවා. ඉතින් අපිත් කැමතියි අපේ stage open area වල අපේ ගිනි බෝල සංදර්ශන ඉදිරිපත් කරන්න. අපිට ඒකට අවස්ථාවක් දෙනවා නම් යම්කිසි කෙනෙක්, ඒක අපිට ලොකු භාග්‍යයක්.

ඉතින් මම ඉල්ලන්නේ අපිටත් එහෙම චාන්ස් එකක් අරගෙන දෙන්න කවුරුහරි සහෘදයෙක් පිටරට ඉන්නවා නම් අපිට උදව් කරන්න. ඒක අපිට වගේම මේ කලාවටත් කරන ලොකු දෙයක් වෙයි.

kandy knews 4 (1)
ගිනි කෙළි නිසා පිලිස්සුනු කකුලක්

ඡායාරූප සහ සම්මුඛ සාකච්ඡා – රුවන් මීගම්මන

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...