නේපාලයේ සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ අද (26) ඇතිවූ දැවැන්ත හදිසි ගංවතුර තත්ත්වයක් (Flash flood) හේතුවෙන් සම්පූර්ණ ගම්මාන, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර රැසක් ගසාගෙන ගොස් විනාශ වී ඇත.
නේපාල බලධාරීන්ට අනුව මේ වනවිට පුද්ගලයින් 22දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් සිය ගණනක් අතුරුදන් වී තිබේ. විශේෂයෙන්ම, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ මැලේසියාව යන රටවලින් පැමිණි සංචාරකයින් 291 දෙනෙකු ඇතුළුව, මුළු විදේශීය සංචාරකයින් 384 දෙනෙකු මෙම හදිසි ගංවතුර හේතුවෙන් අතුරුදන් වී ඇති බවට නිලධාරීහු ප්‍රකාශ කරති.
මෙම ව්‍යසනයෙන් 50,000ක පමණ ජනගහනයක් වෙසෙන නේපාලයේ කඳුකර රසුවා (Rasuwa) දිස්ත්‍රික්කයේ Syapru Besi සහ Timure යන ප්‍රදේශ දැඩි බලපෑමකට ලක්ව ඇත. ජල මට්ටම අතිශයින් ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශවලට මුදාගැනීමේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමට පවා අපහසු වී තිබේ. රසුවා දිස්ත්‍රික් පරිපාලක නරේන්ද්‍ර පරියාර් ප්‍රකාශ කරන ආකාරයට භෝතේ කෝෂි (Bhote Koshi) ගංගාව දෙපස ජීවත් වන ජනතාවට වහාම ආරක්ෂිත උස් ස්ථාන කරා යන ලෙසට දැනුම් දී ඇත.
දේශසීමාවෙන් ඔබ්බෙහි පිහිටි ටිබෙටයේ ගයිරොන්ග් (Gyirong) ප්‍රදේශයට ද මඩ කඳු කඩා වැටීමකින් දැඩි හානි සිදුවී ඇති අතර, මාර්ග, සන්නිවේදන සහ විදුලිබල පද්ධති මුළුමනින්ම ඇනහිට පුද්ගලයින් රැසක් අතුරුදන්ව තිබේ. අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
නේපාල දේශගුණික යුක්තිය පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන ප්‍රයාශ් අධිකාරි පවසන්නේ මෙම ව්‍යසනයෙන් සම්පූර්ණ ගම්මාන පිටින් විනාශ වී, ගොඩනැගිලි හා පාසල් රැසක් ද ජලයට ගසාගෙන ගොස් ඇති බවයි. නේපාල විදුලිබල අධිකාරිය පවසන පරිදි, ජල විදුලි සහ සූර්ය බලාගාර වලට සිදුවූ හානිය හේතුවෙන් මෙගාවොට් 430ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් අඩාල වී ඇත.
මේ අතර, ජල විදුලි බලාගාරයක සේවය කරමින් සිටි දකුණු කොරියානු ජාතිකයින් 8 දෙනෙකු අතුරුදන් වී, තවත් 10 දෙනෙකු සිරවී සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔවුන් බේරා ගැනීම සඳහා දකුණු කොරියාව විසින් විශේෂ කාර්ය සාධක බලකායක් ද පිහිටුවා කඩිනම් ප්‍රතිචාර කණ්ඩායමක් නේපාලය වෙත පිටත් කර හැරීමට සැලසුම් කර ඇත.
විශේෂත්වය වන්නේ, මෙවැනි විශාල ගංවතුරක් ඇතිවීමට තරම් දැඩි වර්ෂාපතනයක් එම ප්‍රදේශවලට නොතිබීමයි. නේපාල Republica Daily පුවත්පතේ කර්තෘ කෝෂ් රාජ් කොයිරාලා සඳහන් කළේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ජලය ගලා ඒමෙන් නිවෙස්වල සිටි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්වූ බවයි. දේශගුණික අවදානම් පිළිබඳ පර්යේෂකයෙකු වන ශාස්වත සාන්‍යාල් (Saswata Sanyal) පෙන්වා දෙන්නේ ග්ලැසියරයකින් සිදුවූ අයිස් කඳු කඩා වැටීමක් (avalanche) හේතුවෙන් Lhende Khola ගංගාව අවහිර වී එක්වරම විශාල ජල කඳක් පහළට ගලා ඒම මීට හේතුවී ඇති බවයි.
ව්‍යසනයෙන් පසු නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා විසින් ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරියේ හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර, වෛද්‍ය කණ්ඩායම්, රතු කුරුස සංවිධානය සහ නේපාල හමුදාව එක්ව සහන මෙහෙයුම් අරඹා ඇත. පසුගිය වසරේදීද භෝතේ කෝෂි ගංගාවේ ඇතිවූ මෙවැනිම ගංවතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් නේපාල-චීන මිත්‍රත්ව පාලමද (Friendship Bridge) විනාශ විය. ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ තීව්‍රතාවය සහ වාර ගණන ඉහළ යමින් පවතින බව විද්‍යාඥයෝ දැඩිව අවධාරණය කරති.
මූලාශ්‍ර – අල්ජසීරා – රොයිටර්






