22 ගැන ආණ්ඩුවේ වැදි බණ සහ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහගේ විශ්‍රාම යෑම

rathnapriya gurusinha knews 3

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පහළම මට්ටමේ සිට වසර 30කට අධික කාලයක් පියවරෙන් පියවර ඉහළට පැමිණ, අවසානයේ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා සහ වැඩබලන සභාපතිවරයා දක්වා පැමිණි රත්නප්‍රිය ගුරුසිංහ, 2026 සැප්තැම්බර් 1 වැනිදා වයස අවුරුදු 63 සම්පූර්ණ වීමත් සමඟ සිය විනිසුරු සේවයෙන් විශ්‍රාම ගියේය.

ඔහුගේ මෙම විශ්‍රාම යාම සාමාන්‍ය විනිසුරු විශ්‍රාමයක් බවට පත්ව නැත. එය විශාල මාතෘකාවක් බවට පත්වී ඇත. ඊට හේතුව 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නට කඩිනම් ගමනක් දුවන ආණ්ඩුවේ කෙරුවාව සහ මෙම විශ්‍රාම යෑම සමාන්තර කාලයක සිදුවීමයි.

ගුරුසිංහ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කිරීම සඳහා හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් මීට වසරකටත් පෙර ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර තිබීමත්, එම නිර්දේශය ක්‍රියාත්මක නොවී තිබියදී ඔහුට විශ්‍රාම යෑමට සිදුවීමත් ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයත් නඩු පමාව වැනි කරුණු අරභයා දෙසමින් සිටින වැදි බණත් හේතුවෙන්, මෙම විශ්‍රාම යෑම ගැන කතා නොකර සිටිය නොහැකිය.

22 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරගන්නට වළිකන ආණ්ඩුව එම කාර්යය ජනමතය ඉදිරියේ සාධාරණ බවට සහතික කරගන්න කරනු ලබන නොයෙක් වීරෝදාර ප්‍රකාශ සියල්ල ලත් තැනම ලොප් වන සිදුවීමක් මෙම විශ්‍රාමය පිටුපස තිබෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධුර කිහිපයක් පුරප්පාඩුව පැවති පසුබිමක එම පුරප්පාඩු පුරවන්න යැයි ජන මතයක් දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගෙන පසුබිමක, ජනාධිපතිවරයා එම පුරප්පාඩු නොපුරවා සිටීමේ ක්‍රියාකලාපය සහ එම තත්ත්වය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තිබෙන අවස්ථාව අහිමිවූ මෙම විනිසුරුවරයාගේ කතාව වෙත දැන් අපට යා හැකිය.

මහේස්ත්‍රාත් අසුනේ සිට අභියාචනාධිකරණය දක්වා

රත්නප්‍රිය ගුරුසිංහ අධිකරණ සේවයට එක්වන්නේ 1996 මාර්තු 5 වැනිදාය. එතැන් සිට ඔහු මහේස්ත්‍රාත්වරයකු සහ දිසා විනිසුරුවරයකු ලෙස කොළඹ, නාවලපිටිය, ගම්පොළ, අවිස්සාවේල්ල, හලාවත, මාතර, මාතලේ සහ මහනුවර ඇතුළු අධිකරණ බලප්‍රදේශ රැසක සේවය කර ඇත.

2012 වසරේදී ඔහු මහාධිකරණ විනිසුරුවරයකු ලෙස උසස් කරනු ලැබීය. පසුව ඔහු අම්පාර සිවිල් අභියාචනා මහාධිකරණයේත්, බදුල්ල මහාධිකරණයේත්, කොළඹ වාණිජ මහාධිකරණයේත් විනිසුරුවරයකු ලෙස සේවය කළේය.

ඔහුගේ අධිකරණ ගමනේ ඊළඟ ප්‍රධාන පියවර සටහන් වන්නේ 2020 දෙසැම්බර් 1 වැනිදාය. එදින ඔහු අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කරනු ලැබීය. අවසානයේ ඔහු අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා බවට පත්වූ අතර, 2026 මැයි මාසයේදී වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

මේ අනුව ගුරුසිංහ යනු නීති වෘත්තියෙන් සෘජුව ඉහළ අධිකරණයකට පත්කළ විනිසුරුවරයකු නොව, මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පියවරෙන් පියවර අධිකරණ ධුරාවලිය ඔස්සේ ඉහළට පැමිණි විනිසුරුවරයෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණයට යැවූ නිර්දේශය

ගුරුසිංහ විනිසුරුවරයාගේ විශ්‍රාමය පිළිබඳ වැදගත්ම කාරණය හෙළිවන්නේ ඔහුට සමුදීම සඳහා අභියාචනාධිකරණයේ අංක 205 දරන අධිකරණ ශාලාවේ පැවති උත්සවයේදීය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය එහිදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් ගුරුසිංහ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කිරීම සඳහා නිර්දේශ කර තිබූ බවය.

එය සමුගැනීමේ උත්සවයේදී පළමුවරට මතුකළ කාරණයක් ද නොවන බව කිවයුතුය. එය දැන් කාලයක සිට සංවාද ගත කතාවකි.

2025 ජූලි 6 වැනිදා පළවූ මාධ්‍ය වාර්තාවලින්ද තහවුරු වන්නේ එවකට අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, විශ්‍රාම ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකරගෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා රත්නප්‍රිය ගුරුසිංහගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිර්දේශ කර තිබූ බවය. 2025 ජූලි 20 වන විටත් එම නිර්දේශය ජනාධිපතිවරයා වෙත ලැබී තිබූ බව වාර්තා විය.

එපමණක් නොව, 2025 ඔක්තෝබර් මාසයේදීත් ගුරුසිංහගේ නම ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුවක් සඳහා ජනාධිපතිවරයා වෙත යොමුකර තිබූ නමක් ලෙස මාධ්‍ය වාර්තාවල සඳහන් වී ඇත. ඒ අනුව මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක නොදන්නා දෙයක් නොවන බව කිවයුතුය. අවසානයේ වසරකට වැඩි කාලයක් ගතවී ගුරුසිංහට වයස අවුරුදු 63 සම්පූර්ණ වී අභියාචනාධිකරණයෙන් විශ්‍රාම යෑමට සිදුවන තෙක් එම පත්වීම සිදු නොවීය.

දැන් ඔබම හිතා බලන්න වර්තමාන ආණ්ඩුව 22 ගැන කියන මේ කතා වැදි බණ නොවේද කියා..!

නීතිඥ සංගමය දෙවරක් ජනාධිපතිට මතක් කරලා

මේ පිළිබඳව තවත් වැදගත් කරුණක් කිව යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ගුරුසිංහගේ සමුගැනීමේ උත්සවයේදී ප්‍රකාශ කළ ආකාරයට, හිටපු අගවිනිසුරුවරිය කළ නිර්දේශය සම්බන්ධයෙන් නීතිඥ සංගමය ජනාධිපතිවරයාට අවස්ථා දෙකකදී සිහිපත් කර ඇත.

නීතිඥ සංගමයේ ස්ථාවරය වී තිබුණේ ගුරුසිංහගේ දීර්ඝ career judge පළපුරුද්ද, අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වය, අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ධුරයේ කටයුතු කර තිබීම සහ ඔහුගේ සේවා වාර්තාව සලකා බැලූ විට ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කිරීමට ඔහු ඉතා සුදුසු බවය.

එහෙත් ඒ කිසිදු ඉල්ලීමකට ජනාධිපතිවරයා කන්දුන්නේ නැත.

ගුරුසිංහට කලින් ගනේපොළ

ගුරුසිංහගේ කතාව සේම ගනේපොළ විනිසුරුතුමාගේ කතාවද මතක් කළ යුතුය. අභියාචනාධිකරණයේ තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ ධම්මික ගනේපොළටද වයස අවුරුදු 63 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම යෑමට සිදුවිය. ගනේපොළ විනිසුරුතුමාගේ විශ්‍රාමය සම්බන්ධයෙන්ද නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත සිය කනස්සල්ල පළකර තිබිණි.

එහිදී ද නීතිඥ සංගමය පෙන්වා දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පවතින තත්ත්වයක, දීර්ඝ අධිකරණ සේවාවක් සහිත ජ්‍යෙෂ්ඨ අභියාචනාධිකරණ විනිසුරුවරයකුට ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීමක් නොලබා විශ්‍රාම යෑමට සිදුවීම අධිකරණ පද්ධතියට පාඩුවක් බවය.

අවසානයේ ගුරුසිංහ විනිසුරුවරයා සම්බන්ධයෙන්ද එම ප්‍රශ්නයම දැන් නැවත මතුව ඇත.

පුරප්පාඩු තිබුණේ නැද්ද?

මෙහිදී ජනාධිපතිවරයාට ගුරුසිංහ පත්කිරීමට නොහැකි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඩක් නොතිබීම නිසාද යන ප්‍රශ්නය වැදගත්ය. එහෙත් පසුගිය මාස කිහිපය පුරා වාර්තා වූ තොරතුරු ඊට වෙනස් චිත්‍රයක් පෙන්වයි. 2026 ජුනි මාසය වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ තවත් පුරප්පාඩු හතරක් පැවති බව වාර්තා විය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වෙතද ලිපියක් යොමුකර තිබිණි. දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරුන් නිරන්තරව පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව කතාකරනු ද අප අසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීමේදී ජනාධිපතිවරයාගේ නම් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඊට අදාළ වේ. ඒ අනුව හිටපු අගවිනිසුරුවරියක විසින් නිර්දේශ කර තිබූ ජ්‍යෙෂ්ඨ අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ නම පුරප්පාඩුවක් සඳහා ඉදිරිපත් නොකර දිගුකාලයක් තබාගැනීමට හේතුව කුමක්ද යන්න ප්‍රශ්නයකි. මෙහිදී අපට ආණ්ඩුවෙන් සහ ජනාධිපතිවරයාගෙන් අසන්නට සිදුවන්නේ ධම්මික ගනේපොළ විනිසුරුවරයා මෙන්ම රත්නප්‍රිය ගුරුසිංහ විනිසුරුවරයාගේ විශ්‍රාම යාම ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන්නට තිබුණ අවස්ථාව හිතාමතාම වළක්වාලීම ඔබලා කියන නඩුකටයුතු පමාවට හේතුවක් නොවේද යන්නයි.

22 වැනි සංශෝධනයේ තර්කය සමඟ ගැටීම

ගුරුසිංහගේ විශ්‍රාමය වඩාත් දේශපාලනික හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කමක් දරන්නේ මෙන්න මේ කරුණ නිසාය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් වැඩිකිරීමට යෝජනා කර ඇත. අභියාචනාධිකරණයේ උපරිම විනිසුරු සංඛ්‍යාවද වැඩිකිරීමට යෝජනා කර තිබේ.

මෙම සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ප්‍රධානම තර්කය වන්නේ පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ දැනුම සහ සේවය තවත් කාලයක් අධිකරණ පද්ධතියට ලබාගැනීම අවශ්‍ය බවය. ඒ හරහා නඩු පමාව වැනි දේ වළක්වාගෙන අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කළ හැකි බවය. ඒ අනුව නඩු ප්‍රමාදය සහ විශාල නඩු ගොඩගැසීමක් පවතින තත්ත්වයක ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ අත්දැකීම් තවත් වසර දෙකක් ලබාගැනීම අධිකරණ පද්ධතියට ප්‍රයෝජනවත් වන බවද සංශෝධනයට පක්ෂව තර්ක කර ඇත.

දැන් අපිට ජනාධිපතිවරයාගෙන් අසන්නට තිබෙන්නේ, පළපුරුදු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය තවත් කාලයක් ලබාගැනීම ආණ්ඩුවේ අරමුණ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු තිබියදීත්, හිටපු අගවිනිසුරුවරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කර තිබූ, අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම career judge කෙනෙකු වයස 63දී විශ්‍රාම යන තෙක් එම නිර්දේශය ක්‍රියාත්මක නොකළේ ඇයි යන්නයි.

Career judges අහිමිවීමේ ප්‍රශ්නය

ගුරුසිංහගේ විශ්‍රාමය තුළ තවත් ගැඹුරු ආයතනික ප්‍රශ්නයක්ද ඇත. මහේස්ත්‍රාත්වරයකු ලෙස සිය සේවය ආරම්භ කර දිසා අධිකරණය, මහාධිකරණය සහ අභියාචනාධිකරණය පසුකර ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පැමිණීම යනු විනිසුරුවරයකුට අධිකරණ පද්ධතියේ සෑම මට්ටමකම ප්‍රායෝගික අත්දැකීමක් ලබාදෙන ගමනකි.

මෙවැනි career judges ඉහළම අධිකරණවල සිටීම වැදගත් වන්නේ නීතිය පිළිබඳ දැනුම පමණක් නොව, පහළ අධිකරණවල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය, නඩු ප්‍රමාදය, සාක්ෂි විභාගය, නඩුකරුවන් මුහුණදෙන ගැටලු සහ අධිකරණ පරිපාලනය පිළිබඳ දශක ගණනාවක සෘජු අත්දැකීම ඔවුන් සතු බැවිනි. එවැනි විනිසුරුවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට නිර්දේශයක් තිබියදීත් එය ක්‍රියාත්මක නොවී ඔහු විශ්‍රාම යන්නේ නම්, එය එක් පුද්ගලයකුට උසස්වීමක් අහිමිවීමේ කතාවකට පමණක් සීමා කළ නොහැක. එය තුළ ඇත්තේ අධිකරණ පද්ධතිය තුළ දශක තුනකින් ගොඩනැගුණු ආයතනික අත්දැකීම උපරිම මට්ටමින් භාවිතයට නොගැනීමකි.

ජ්‍යෙෂ්ඨත්වය පමණක් ප්‍රමාණවත්ද?

කෙසේ වෙතත් මෙහි තවත් පැත්තක්ද පැහැදිලි කළ යුතුය. අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වීම පමණින් කිසිවකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමේ ස්වයංක්‍රීය නීතිමය අයිතියක් ඇති බව මෙයින් අදහස් වන්නේ නැත. ඉහළ අධිකරණ පත්වීම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියාපටිපාටියක් පවතින අතර, ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි වැදගත් භූමිකා දරති.

එහෙත් ප්‍රශ්නය පැනනගින්නේ එම අභිමතය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවය. ජ්‍යෙෂ්ඨත්වය, පළපුරුද්ද, සේවා වාර්තාව, අධිකරණයේ ප්‍රධානියාගේ නිර්දේශය සහ පුරප්පාඩු යන සියල්ල එකම අවස්ථාවක පවතිද්දී පත්වීම සිදු නොකරන්නේ නම්, එයට හේතු පැහැදිලි කිරීම ආයතනික විශ්වාසය පවත්වාගැනීම සඳහා වැදගත් වේ. එසේ නොවන්නේ නම් අධිකරණ පත්වීම් සඳහා බලපාන සැබෑ නිර්ණායක මොනවාද යන සැකය නීති ක්ෂේත්‍රය තුළ පමණක් නොව මහජනයා අතරද ඇතිවීම වැළැක්විය නොහැක.

අවසානයේ ඉතිරිවන ප්‍රශ්න

රත්නප්‍රිය ගුරුසිංහගේ වසර 30ක අධිකරණ සේවය සැප්තැම්බර් 1 වැනිදා අවසන් විය. නීතිඥ සංගමය ඔහුගේ කාරුණිකභාවය, ඉවසීම, අපක්ෂපාතීත්වය සහ විනිසුරු ධුරයේ ගෞරවය රැකගත් ආකාරය අගය කරමින් සිය ගෞරවය හා කෘතඥතාව ඔහු වෙනුවෙන් පළකර තිබේ.

එහෙත් ඔහු විනිසුරු අසුනෙන් බැස යන විට අධිකරණ පද්ධතිය ඉදිරියේ ප්‍රශ්න කිහිපයක් ඉතිරිව ඇත. හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු 2025 ජූලි මාසයේදී කළ නිර්දේශය වසරකට වැඩි කාලයක් ක්‍රියාත්මක නොවුණේ ඇයි? ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට දෙවරක් ඒ පිළිබඳ සිහිපත් කර තිබියදීත් එය ඉදිරියට නොගියේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පවතිද්දී ජ්‍යෙෂ්ඨ career judges දෙදෙනකුට එනම් ධම්මික ගනේපොළ සහ රත්නප්‍රිය ගුරුසිංහට ශ්‍රේෂ්ඨාධිකරණයට නොගොස් විශ්‍රාම යෑමට සිදුවූයේ ඇයි?

අනෙක් අතට, ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවත් කාලයක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් විශ්‍රාම වයස වසර දෙකකින් වැඩිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන පසුබිමක මෙවැනි දෙයක් වෙන්නේ කෙසේද? එයට හේතුව කුමක්ද? ඒ නිසා රත්නප්‍රිය ගුරුසිංහගේ විශ්‍රාමය එක් විනිසුරුවරයකුගේ වෘත්තීය ජීවිතයේ අවසානයක් පමණක් නොවන බව කිවයුතුය.

එය ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවලට පත්වීම් සිදුකරන ආකාරය, ජ්‍යෙෂ්ඨත්වයට සහ අධිකරණ අත්දැකීමට ලබාදෙන වටිනාකම, ජනාධිපතිවරයා සතු පත්වීම් බලය සහ අධිකරණ ස්වාධීනත්වය අතර ඇති සියුම් සම්බන්ධතාව නැවත ප්‍රශ්න කිරීමකි.

-කේ. සංජීව-

මෙම වෙබ් අඩවිය පත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍යමය සහාය මතය. ඔබට අපහට යම් මූල්‍යමය සහායක් ලබාදෙන්නට සිතෙනවා නම් එයට පහත සබැඳිය හරහා පිවිසෙන්න.

buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...