රුමේෂ්ගේ හෙල්ලයෙන් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් සිහිනය වෙත..!

rumesh-knews-sport

23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ මීටර් 89.04ක දැවැන්ත හෙල්ල විසිකිරීමක් එක්ක, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර තිබ්බ, 2026 Diamond League අවසන් තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනාගත්තා. මේ ශූරතාව දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා තමයි රුමේෂ්. ඇත්තටම ඒක ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක ආරම්භය කියලා කියන්න පුළුවන්.

ඉතිං අපි මේ මීටර් 89.04 කියන අංකයෙන් එහාට රුමේෂ් තරංගගේ දක්ෂතා ගැන හිතමු. කතා කරමු. පහුගිය කාලේ රුමේෂ්ගේ තරග රටාව වගේම ඔහුගේ දක්ෂතාවයන් දිහා බලනකොට මට නම් හිතෙන්නෙම 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ඉතිහාසය රනින් බබළවන්න මේ තරුණයාට පුළුවන් වෙයි කියලා.

ඉතිං මට හිතුණා රුමේෂ්ට පළමු ඔලිම්පික් රන් පදක්කම ලංකාවට හිමිකරලා දෙන්න පුළුවන් වෙයිද කියලා පොඩ්ඩක් විමසලා බලන්න.

බ්‍රසල්ස්හි ඓතිහාසික රාත්‍රිය

2026 Diamond League Final තරගාවලියේදී රුමේෂ්ගේ ආරම්භය පවා විශිෂ්ට එකක් නෙවෙයි. ඔහුගේ මුල් විසිකිරීම් දෙක මීටර් 80.42ක් සහ 79.73ක් දුරට තමයි ගියේ. හැබැයි තුන්වැනි උත්සාහයෙන් සියල්ල වෙනස් වුණා. හෙල්ලය විසි කිරීමේ ඉසව්ව කියන්නේ එහෙම එකක්. ලෝක මට්ටමේ පිළිගැනීමත් ඒක. අවසන් උත්සාහයේදී රුමේෂ්ගේ ජවයේ දිග මීටර් 89.04ක්.

මේ දුරත් එක්ක පෝලන්තයේ ඩේවිඩ් වැග්නර් මීටර් 87.47ක පෞද්ගලික හොඳම දක්ෂතාවක් පෙන්නුවත් දෙවැනි තැනට වැටුණා. 2025 ලෝක ශූරයා වුණ කේෂෝර්න් වෝල්කොට් මීටර් 83.99ක් විදලා තෙවැනියා වුණා. ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 83.70ක ජවයකින් හතරවැනියා.

ඉතිං ඔයාලා හිතනවද මේක අතිසාමාන්‍ය තරගයක් කියලා. නෑ එහෙම නෑ. Diamond League කියන්නේ ලෝක මලල ක්‍රීඩාවේ ඉහළම මට්ටමේ තරග මාලාවක්. මේකට එන්නේ ඒ අවුරුද්දේ ලෝකය හොල්ලගෙන ඉන්න දක්ෂයෝ. ඉතිං මෙවැනි තරගාවලියක අවසන් මහා තරගය ජයගැනීම කියලා කියන්නේ ලෝකයේ හොඳම අශ්වයෝ එක්ක රේස් එකක් දුවලා දිනුවා වගේ තමයි. ඒ අර්ථයෙන් මේක ලංකාවට ඔලිම්පික් දිනුවා වගේ.

ඉස්සර අපි මෙහෙම සුසන්තිකා ඔලිම්පික් සිහිනයට යන හැටි ආශාවෙන් බලාගෙන හිටියා. සුසන්තිකා අන්තිමට රිදී පදක්කමකින් අපේ හීනය අවසන් කළා. ඒකත් මේ පුංචි තිතට ලොකු දෙයක්.

රුමේෂ් බ්‍රසල්ස්වලදී මීටර් 89.04ක් විදලා මේ ඩයමන්ඩ් ලීග් එක දිනුවට මේ ඔහුගේ හොඳම හෙල්ල විසි කිරීමද? නෑ.. රුමේෂ්ට මීට වඩා ජවයක් මේ මොහොතෙත් තිබෙනවා. 2026 ජූනි 4 දවසේ රෝමයේදී රුමේෂ්ගේ හෙල්ල මීටර් 92.62ක් දුර ගමන් කළා. ඒක ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් විතරක් නොවෙයි ඒක 2026 අවුරුද්දේ ලෝකයේ හොඳම සහ දුරම විසි කිරීම. මේ විසි කිරීමත් එක්ක තමයි රුමේෂ් මීටර් 92 කියන සීමාව පන්නපු අතිශය සීමිත ක්‍රීඩකයෝ ගොන්නට එකතු වෙන්නේ.

දැන් අපි බලමු 2026 අවුරුද්දේ රුමේෂ්ගේ ප්‍රධාන දක්ෂතා දිහා. රෝමය – මීටර් 92.62යි. සූරිච් – මීටර් 92.07යි. ග්ලාස්ගෝ – 89.75යි. දියගම – මීටර් 89.37යි. නයිරෝබි – 89.28යි. ඩෝහා – 88.68යි. ලෝසාන් – 88.14යි. බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් – 89.04යි. මේ තරග වාර්තා ටික දිහා බැලුවාම පේනවා 2026 ලෝක මලල ක්‍රීඩා ලැයිස්තුවේ ඉහළම දක්ෂතා දෙකම රුමේෂ් සතුයි කියලා. සෙල්ලං නෑ කොල්ලෝ..!

6a6d26a3d51ad734aafc2164

consistency තමයි වැදගත්

එක් වරක් මීටර් 92ක් විසි කිරීම වාසනාවන්ත දවසක සිදුවූ විශේෂ දක්ෂතාවක් වෙන්න පුළුවන්. හැබැයි ආයෙත් වතාවක් මීටර් 92.07ක් විසි කිරීම, ආයේ තරග ගණනාවකදී මීටර් 88–90 සීමාව ආසන්නයේ එහෙට මෙහෙට වීම වෙන කතාවක්. මෙන්න මේක තමයි හෙල්ලය වගේ ඉසව්වකට වැදගත් වෙන්නේ. ලෝක ශූරයෙක් වෙන්න වගේම අපිට ඔලිම්පික් හීනයට යන්න නම් අවශ්‍ය කරන එකම දේ තමයි අඛණ්ඩ දක්ෂතාවය. රුමේෂ්ට දැනට ඒක හොඳටම තියෙනවා. දැන් රුමේෂ්ව ආරක්ෂා කරගැනීම රුමේෂ්ට වගේම රටටත් තියෙන වගකීමක්.

දැන් හිතන්නකෝ රුමේෂ් 2026දී හෙල්ලයෙන් ලෝකය කාලා ඉන්න ලෝක හෙල්ලකාරයෝ සේරම වගේ පරාද කළා. ඉන්දියාවේ Neeraj Chopra, පාකිස්තානයේ Arshad Nadeem, Grenada හි Anderson Peters, Trinidad and Tobago හි Keshorn Walcott කියන්නේ අද ඉන්න හෙල්ල විසිකිරීමේ දැවැන්තයෝ. මේ මහ වෘක දැවැන්තයෝ ටික පැරැද්දුවා කියන්නේම අපිට මාර ලොකු දෙයක් නෙවෙයිද? ඒකයි මම කියන්නේ රුමේෂ් ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසය දැනටත් වෙනස් කරලා අලුතින් ලියමින් ඉන්නේ කියලා.
2026 Commonwealth Games වලදී පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් තරගයේදී රුමේෂ් මීටර් 89.75ක් දුරට තමන්ගේ හෙල්ලය විදලා රන් පදක්කම දිනාගත්තා. ඉන්දියාවේ Neeraj Chopra විද්දේ මීටර් 85.83යි. Arshad Nadeem වගේ දක්ෂයෙක්ට මේ තරගයේදී නවවැනියා වෙන්න වුණා. Lausanne Diamond League තරගයත් රුමේෂ් මීටර් 88.14ක් දුරට හෙල්ලය විදලා ජයගත්තා. චොප්රා මීටර් 88.05කින් දෙවැනියා වෙන්න වුණා.

මෙහෙම බැලුවාම අද මේ පුංචි තිතේ රුමේෂ් කියලා කියන්නේ ලෝකයේ නම්බර් වන්. ඒ හෙල්ලයෙන්. '2026 සැප්තැම්බර් 1 දිනට World Athletics පිරිමි හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව රුමේෂ් තරංග පතිරගේ ලෝක අංක 1 ස්ථානයේ සිටී'. ඒක තමයි කතාව. ඔහුගේ නමට ඉස්සරහින් ලකුණු 1379ක් තියෙනවා. දෙවැනි ස්ථානයේ ඉන්නේ Anderson Peters. ඊටපස්සේ Julian Weber, Curtis Thompson, Keshorn Walcott, Neeraj Chopra, Julius Yego වගේ දැවැන්තයෝ.

ඉතිං හිතන්නකෝ වයස අවුරුදු 23ක් විතර වෙන ලංකාවේ පොඩි කොල්ලෙක් මේ වගේ ලැයිස්තුවක ඉහළින් සිටීම අපේ මලල ක්‍රීඩා ඉතිහාසයේ ලොකුම සිද්ධිය නෙවෙයිද? ඔහු මේ ඉන්නේ ඔහු 2025 ලෝක ශූරතාවලියේදී සිටිය තැන නම් නෙවෙයි. අන්න ඒකත් ගොඩක් වැදගත්. Tokyo 2025 ලෝක ශූරතාවලියේදී රුමේෂ් මීටර් 84.38ක් විදලා හත්වැනියා තමයි වුණේ. එදා Keshorn Walcott මීටර් 88.16ක් විදලා ලෝක ශූරයා වුණා.

අවුරුද්දක් ගත වෙනකොට රුමේෂ් මීටර් 84 මට්ටමේ ලෝක ශූරතා finalist කෙනෙකුගෙන් මීටර් 92.62 විසි කරන ලෝක අංක එකේ ක්‍රීඩකයා බවට පත්වෙලා. මෙන්න මේ සංක්‍රාන්තිය තමයි ඇඟ හිරිවට්ටන්නේ. මේක අසාමාන්‍ය වර්ධනයක් කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඉතිං අපිට මේ වර්ධනය අඛණ්ඩව 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් වෙනකම් තියාගෙන යන්න පුළුවන් වෙයිද? අන්න ඒක තමයි රටක් විදිහට අපි හිතන්න ඕනෑ.

ඔලිම්පික් රන් පදක්කම

ඉතිං අපි ආයෙත් ටිකක් සංඛ්‍යා දත්ත අවුස්සමු. 2024 පැරිස් ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේ Arshad Nadeem, ජයග්‍රාහී විසිකිරීම වුණේ මීටර් 92.97ක්. රුමේෂ්ගේ වර්තමාන පෞද්ගලික හොඳම දක්ෂතාව මීටර් 92.62ක්. වෙනස සෙන්ටිමීටර් 35ක්. එයින් කියවෙන්නේ මොකද්ද? රුමේෂ්ගේ වර්තමාන උපරිම හැකියාව දැනටමත් ඔලිම්පික් රන් පදක්කම් මට්ටමේ තිබෙනවා කියන එක තමයි කතාව. ඒත් ඉතිං ඔලිම්පික් රන් පදක්කමක් දිනාගන්න personal best එකක් තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ.

හෙල්ල විසිකිරීම කියන්නේ අතිශය අනාවැකි කියන්න බැරි තරග ඉසව්වක්. ඒ දිනයේ වාසනාවත් වටිනවා. 2025 ටෝකියෝ ලෝක ශූරතාව දිහා බැලුවනම් ඒක ඔයාට පෙනෙයි. රුමේෂ් 84.38ක් විදලා හත්වැනියා, Neeraj Chopra 84.03කින් අටවැනියා සහ Arshad Nadeem 82.75කින් දසවැනියා. Walcott රන් පදක්කම දිනාගත්තේ 88.16ක් විදලා.

එහෙම බැලුවාම අපිට championship final එකක් දිනන්නේ හැමවිටම ලෝකයේ වැඩිම දුර විසි කළ හැකි ක්‍රීඩකයා නොවේ කියලා කියන්නත් පුළුවන්..!
එදා රාත්‍රියේ හොඳම විසිකිරීම කළ හැකි ක්‍රීඩකයා හොඳම ක්‍රීඩකයා වෙනු ඇති. ඒක තමයි කතාවේ සාරාංශය.

රුමේෂ් ඉපදිලා තියෙන්නේ 2003 මාර්තු 21 වැනිදා. එහෙම බැලුවාම 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල එනකොට රුමේෂ්ට වයස 25යි. මේක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයකුට හොඳම වයසක් කියලා තමයි කියවෙන්නේ. එහෙම බැලුවාම ඔහුට තවමත් ශාරීරික ශක්තිය, වේගය, තාක්ෂණය සහ තරග අත්දැකීම වර්ධනය කරගන්නට කාලය තියෙනවා.

2025දී ඔහුගේ personal best එක මීටර් 86.50ක්. 2026දී ඒ වාර්තාව මීටර් 92.62ක් වෙලා. මීටර් හයකට වැඩි දියුණුවක්. මේ වගේ වර්ධනයක් වයස 22–23 තියාගන්නකොට අපිට හිතන්න පුළුවන් තවමත් ඔහු ඔහුගේ උපරිම ජවයෙන් විසි කරලා නෑ නේද කියලා. එහෙම හිතුවාම අපේ රන් සිහිනය ආයෙත් බැබළෙනවා. ඔව් ඒක තමයි ඇත්ත.

aygempmspgnnctqcmgxw

ඉදිරි වසර දෙක තමයි අමාරුම

දැන් අපි රටක් විදිහට කරන්න ඕනෑ රුමේෂ්ගෙන් තවත් මීටර් කිහිපයක් ඉල්ලා සිටීම විතරක් නොවෙයි. අපි ඔහුව ආරක්ෂා කරන්න ඕනෑ. හෙල්ල විසිකිරීම උරහිස, වැලමිට, කොන්ද, දණහිස සහ ශරීරයේ kinetic chain එක උඩ දැවැන්ත පීඩනයක් ඇති කරන ඉසව්වක්, ලෝක මට්ටමේ විසිකරන්නන්ගේ careers බොහෝවිට තීරණය කරන්නේ දක්ෂතාවට වඩා injury management එකය. එහෙම නැත්තං ආබාධ කළමනාකරණය කියන විෂය.

ඒකයි මම කියන්නේ රටක් විදිහට අපි රුමේෂ්ව පරිස්සමට හැන්ඩ්ල් කරන්න ඕනෑ කියලා. 2028 දක්වා රුමේෂ්ට අවශ්‍ය වන්නේ ලෝක මට්ටමේ coaching, biomechanics analysis, strength and conditioning, physiotherapy, sports medicine, nutrition, recovery සහ නිවැරදි competition planning එකක්.

හැම තරගයකම මීටර් 90 විසි කිරීමට ඔහු යැවීම නෙවෙයි වැඩේ, වැඩේ වෙන්න ඕනෑ ලොස් ඇන්ජලීස් අවසන් තරගයේදී මීටර් 90 ප්ලස් විසි කිරීමට ජවයක් තියෙන ශරීරයක් සහ මනසක් සකස් කිරීම. ඒක තමයි ශ්‍රී ලංකාවේ ඉලක්කය වෙන්න ඕනෑ.

අපිට ඔලිම්පික් ඉතිහාසයේ හොඳ වාර්තාවක් නෑ. ඩන්කන් වයිට් 1948දී සහ සුසන්තිකා ජයසිංහ 2000දී අපිව ඔලිම්පික් රිදීයෙන් සැරසුවා. ඒක තමයි අපි ඔලිම්පික්වල ගිහිං ඉන්න ලොකුම දුර. රන් කියන්නේ හැමදාම අපේ හීනය. ඔන්න ඉතිං ඒ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්, ඒකට හොඳටම හැකියාව තියෙන කොල්ලෙක් බිහිවෙලා. දැනටමත් ඔහු ලෝකයේ අංක එක. ඔහුගේ හෙල්ලය දැනටමත් මීටර් 92.62ක් දුර ගිහිං වැටිලා තියෙනවා. ඒක 2026 වසරේ ලෝකයේ හොඳම දුර සටහන් කරලා තියෙනවා. ඉතිං ඔහු තමයි දැන් පොදුරාජ්‍ය මණ්ඩල ශූරයා. ඔහු තමයි ඩයමන්ඩ් ලීග් ශූරයා. ඔහු Neeraj Chopra පරාජය කරලා තිබෙනවා. Anderson Peters, Keshorn Walcott සහ Arshad Nadeem වගේ අය එක්ක සටනට ගිහිං ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ සියල්ලම හරි වැදගත්. ඒත් වැදගත්ම දේ තවමත් ඔහුට වයස අවුරුදු 23යි.

ඉතිං මේ සියල්ලම එකට තිබ්බාම චිත්‍රය පැහැදිලියි. අපි ඔලිම්පික් රන් සිහිනයේ ලොකුම දුරක් මේ පාර යනවා කියන එක තමයි මගේ නම් සාධාරණ හැඟීම. ඒකට අපි ඔහුව ආරක්ෂා කරගත යුතුයි. ඔහුට ඔහුව ආරක්ෂා කරගන්නට රටක් විදිහට උදව් කළ යුතුයි..!

-කේ. සංජීව-

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍ය අනුග්‍රහය මතය. මෙය කියවන ඔබට අපට යම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට අවැසි බව හැඟෙන්නේ නම් පහත සබැඳියෙන් ඒ සඳහා පිවිස අපහට උදව් කළ හැකිය.
This website is sustained by the financial support of our readers. If you feel that the work we do is worth supporting, you can make a financial contribution through the link below. Your support will help us continue our work.

buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...