මත් උවදුර තුරන් කරන්න නම් කසිප්පු නීතිගත කරන්න ඕනෑ කියලා මහාචාර්ය රොහාන් සමරජීව කියලා තියෙනවා දැක්කා. ඇත්තටම ඒක හොඳ අදහසක්. හැබැයි මට නම් තියෙන්නේ ඊට ටිකක් වෙනස් අදහසක්. මට හිතෙන්නේ මහාචාර්යවරයාගේ යෝජනාවට වඩා හොඳයි අරක්කු මත පනවලා තිබෙන බදු අඩු කරන එක කියලා. අඩුම ගල් අරක්කු බෝතලයක් රුපියල් 1000ත් 1500ත් වගේ අතර සීමාවකට දෙන්න පුළුවන් නම් (ඇත්තටම පුළුවන්) බීර වගේ ජාති සීමාවක් නැතුව ඕනෑම කඩයක ලෑල්ලක විකුණන්න පුළුවන් නම් මේ ප්‍රශ්නයට සෑහෙන්න හොඳ උත්තරයක් ලැබෙයි. කසිප්පු වුණත් ඕනෑම පුද්ගලයෙක්ට ගෙදර පෙරාගන්න අවසර දෙනවා නම් මම හිතන්නේ ඔය අයිස් හෙරොයින් වගේ මත් ජාතිවලට තියෙන ඇබ්බැහියේ පරිමාව අඩු කරගන්න පුළුවන්.
අපි මතට ඇලුණු පුංචි කාලේ මුලින්ම බිව්වේ ඇමරේජන්, කිතුල් රා වගේ දේවල්. ඊළඟට ගල් අරක්කු. ඒ කාලේ අපිට කසිප්පු මිල අඩු වුණත් බොන්න හිතුණේ නෑ මොකද ඊට වඩා මිල චුට්ටක් වැඩි වුණත් කොලිටි ගල් අරක්කු තිබුණා. බීර වර්ග තිබ්බා. අද කොල්ලෝ මතට ඇබ්බැහි වෙන්න පටන් ගන්නේ අයිස්වලින්. ඒකට ප්‍රධානම හේතුව මිල අඩු වීම. අඩු මිලකට දීර්ඝ සැපක් සොමියක් ගන්න පුළුවන් වීම. පොඩි ගානකින් ලොකු ට්‍රිප් එකක් යන්න පුළුවන්කම තමයි මේකට ලොකුම හේතුව. මේක මෙහෙම අහිංසකව පටන් ගත්තත් ඇබ්බැහි වුණාට පස්සේ කතාව වෙනස් වෙනවා. අන්න ඒකයි කියන්නේ අපි මේක පටන් ගන්න සීමාවේදී අපිට අතට අහුවෙන්න බීර වගේ දේවල් අරක්කු වගේ දේවල් තියෙන්න ඕනෑ කියලා. කංසා වගේ දේවල් තියෙන්න ඕනෑ කියලා.
අපි මත්ද්‍රව්‍ය ගැන හිතන විදිහ
ඒ නිසා ඇත්තටම අපි මත්ද්‍රව්‍ය ගැන හිතන විදිහ මුලින්ම වෙනස් කරගන්න ඕනෑ. ඒක පවුලෙන්ම එන්න ඕනෑ දෙයක්. ඉස්සර අපිට තද බඩේ කැක්කුමක් හැදුණාම ගල් ෂොට් එකක් තාත්තම දෙනවා ගහපං එක හුස්මට කියලා. මත කියන එක මහා ලොකුවට කෑගහගෙන සීමා දාගෙන පිටුදකින්න උත්සාහ කළේ නෑ. අරක්කු බොන්න තහනම් කළේ නෑ, හැබැයි බිව්වාම වෙන දේ ගැන කතා කළා. පාටියකදී වුණත් පොඩ්ඩක් බීපං බොනවා නම් කියලා තමයි කීවේ. තාත්තා සමහර වෙලාවට අරක්කු ටිකක් බොන්න කියලා කියනකොට අම්මා ඒකේ ආදීනව කතා කළා. එහෙම තිබ්බ සමාජය දැඩිව ආන්තික වීම තමයි මේකට මූලික හේතුව. මැදුම් පිළිවෙතේ ගිය රට හැම දේකම අන්තවාදය පැත්තට තල්ලු වුණා. ඒක 2000 දශකයේ වුණු දෙයක්. ඉස්සර මත් වෙනවා කියන එක මහා මැජික් එකක් වුණේ නෑ. මෙන්න මේ නැති වුණු සංවාදය සහ මතට බය නැතිකම නැවත වර්ධනය කරගන්න ඕනෑ පවුල් පිටින්.
මම එක තැනක දැක්කා ජනගහනයෙන් 1.2ක්ද කොහේද මත්ද්‍රව්‍ය නිසා බන්ධනාගාරගත කරලා කියලා. කවුද මෙහෙම බන්ධනාගාරයේ ඉන්නේ. මෙහෙම ඉන්න බහුතරය වාටියේ තරුණයෝ. දුප්පතුන්. අඩු ගානට අයිස් ටිකක් ගහන තරුණයෝ තමයි මෙහෙම අල්ලලා 54 ගහලා ඇතුළට දාන්නේ. මෙහෙම ඇල්ලුවා දැම්මා කියලා මත් උවදුර නැති කරන්න බෑ.
මේවා ලංකාවට ගෙන්නලා බිස්නස් කරන එවුන් සතියට දවසක් කොකේන් පාරක් ගහලා ගෝල්ඩ් ලේබල් එකක් බීලා සැපේ ඉන්නවා. උන්ට කිසි හෙනයක් කවදාවත් කිසිම ආණ්ඩුවකින් නෑ. ඒ නිසා මේ ප්රශ්නය විසඳගන්න තියෙන ලේසිම පාර අපි අමතක කරලා කවදාවත් මේක දිනාගන්න බැරි පාරක තමයි යන්නේ.
අපි දන්න හොඳ සල්ලි තියෙන යාළුවෝ ඉන්නවා සතියකට දවසක් කොකේන් පාරක් ගහලා ලස්සනට ජීවත් වෙන. තවත් යාළුවෝ ඉන්නවා සතියකට දෙකකට සැරයක් අයිස් ටිකක් ගහලා ආතල් එකේ ට්‍රිප් එකක් ගිහිං එන. එහෙම සමාජයක් එක පැත්තක තියෙන අතරේ තවත් සමාජයකට මේක ඛේදවාචකයක් වෙන්නේ මෙන්න මේ සංස්කෘතික බෙදීම නිසා.
මත්වලට මූණ දෙන්න නම් මත් එක්ක සටන් කරන්න නම් මුලින්ම මේකට බය වෙන්නේ නැති වෙන්න ඕනෑ. ඊළඟට මේ ගැන ඉගෙනගන්න ඕනෑ. ඒ දෙකම නැතුව මේක කොරන්නේ කොහොමද? මුලින්ම අපි ඉගෙනගන්න ඕනෑ රට බෞද්ධ වුණාට මේ එකෙක්වත් සෝවාන් වෙලා නෑ කියලා. එහෙම හිතුවොත් මේක ගොඩදාගන්න පුළුවන්. මේක විකෘතියක් කියලා හිතලා වැඩේ පටන් ගත්තොත් එතනින්ම මේක ඉවරයි. මේක විකෘතියක් නෙවෙයි මේක ප්‍රකෘතියක් කියන තැනිනුයි අපි මේක ගන්න ඕනෑ.
හවසට පාරට බැස්සාම හැම තැනම බීර හිනා වෙලා බලාගෙන ඉන්නවා නම් කොල්ලෝ අයිස් ගහන්න යන එකක් නෑ. මොකද බීර මතයි අයිස් මතයි කියන්නේ අහසයි පොළවයි වගේ කියන එක සමාජයට දැනෙන්න ඕනෑ. බීර එකක් කොච්චර සෞම්‍යද කියලා දන්න එකා හැමදාම අයිස් ගහන එකක් නෑ. ඕනෑ නම් වෙනසට කියලා මාසෙකට එකක් ගහයි.
ඔය රෙඩ් ලේබල් බ්ලැක් ලේබල් වොඩ්කා වගේ ඒවා පහසු මිලට වෙළඳපොළේ නිතරම පේන්න තියෙනවා නම් මේක කරන්න ලේසියි. ඔය මිල අධික ලේබල් දැනුත් වියදම් කරලා ගහන එවුන්ගෙන් සීයට කීයක් අයිස් ගහනවා ඇත්ද? අරක්කු ටිකට බදු ගහලා ගහලා ඒක රටේ ප්‍රධාන ආදායම කරගෙන තියෙන්නේ. එහෙම කොරගෙන අනික් පැත්තෙන් අයිස් ගහනෝ ගහනෝ කියලා බෙරිහන් දුන්නට වැඩක් නෑ. ඒ නිසා පුළුවන් නම් ඕකේ බදු අඩු කරහල්ලා කියලා තමයි මම නම් කියන්නේ..!
— කේ. සංජීව —






