2024 පැවති ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය වලංගු ඡන්දවලින් 42.31%කි. එම මැතිවරණයේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට ලැබුණේ ඡන්ද 342,781ක් හෙවත් 2.57%ක් පමණි.
2019 ජනාධිපතිවරණයට ආපසු ගිය විට මේ පින්තූරය සම්පූර්ණයෙන්ම වෙනස්ය. එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 6,924,255ක් හෙවත් 52.25%ක් ලබාගෙන ජනාධිපති ධුරයට පත්විය.
මේ සංඛ්‍යා තුන එක ළඟ තබා බැලීම වැදගත්ය. 2019දී රටේ ඡන්දදායකයන්ගෙන් අඩකටත් වඩා දිනාගත් දේශපාලන කඳවුරක් වසර පහක් ඇතුළත 2.57% දක්වා කඩා වැටුණේය. අනෙක් පැත්තෙන් දීර්ඝ කාලයක් කුඩා ඡන්ද පදනමක් තුළ සිරවී සිටි ජවිපෙ නායකත්වය දුන් ජාතික ජන බලවේගය 42.31% දක්වා ඉහළට පැමිණියේය.
මෙය ඡන්ද සංඛ්‍යා හුවමාරුවක් පමණක් නොවේ. මෙය 2022 ආර්ථික අර්බුදය සහ අරගලය විසින් ඇති කළ සමාජ-දේශපාලන කම්පනයක ප්‍රතිඵලයකි.
සෙලවුණු බයි මනස
ගෝඨාභය රාජපක්ෂගේ 2019 ජයග්‍රහණය සාමාන්‍ය මැතිවරණ ජයග්‍රහණයක් නොවීය. ජාතික ආරක්ෂාව, සිංහල-බෞද්ධ ජාතිකවාදය, ශක්තිමත් නායකත්වය, රාජපක්ෂ පවුල පිළිබඳ විශ්වාසය සහ යහපාලන ආණ්ඩුව පිළිබඳ කලකිරීම එකම තැනකට එක්වූ දේශපාලන ජන රැල්ලක් එහි තිබුණි.
නමුත් 2022 ආර්ථික අර්බුදය ඒ දේශපාලන මනෝභාවයට දැවැන්ත පහරක් එල්ල කළේය. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදු, ඖෂධ හිඟය සහ ජීවන වියදමේ පිපිරීම් සමඟ ‘රට බේරාගන්නා ශක්තිමත් පාලකයා’ පිළිබඳ බයි මනසේ ගොඩනගා තිබූ කතාව බිඳ වැටුණි.
ඒ සමඟ රාජපක්ෂ කඳවුරේ සිටි විශාල ඡන්දදායක පිරිසකට තම පැරණි දේශපාලන අනන්‍යතාව ප්‍රසිද්ධියේ රැගෙන යාම පවා අපහසු තත්ත්වයක් රට තුළ ඇති විය. මෙන්න මේ අවකාශයට සූක්ෂමව ඇතුළු වන්නට ජවිපෙට හැකිවිය.
ඒ නිසා 2024 අනුර කුමාර දිසානායකගේ ඡන්ද ලක්ෂ 56 සම්පූර්ණයෙන්ම ජවිපෙ සාම්ප්‍රදායික ඡන්ද ලෙස කියවීම වැරදිය. ඒ තුළ රාජපක්ෂ කඳවුරෙන් කැඩුණු ඡන්ද ද, පාවෙන ඡන්ද ද, පළමු වරට ඡන්දය දුන් තරුණයන්ගේ ඡන්ද ද තිබුණි. ඒ අතරේ පැරණි ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතික්ෂේප කළ පිරිස් සිටියහ. දූෂණයට සහ පවුල්වාදී දේශපාලනයට විරුද්ධ වූ මධ්‍යම පන්තියේ ඡන්ද ද එම ඡන්ද මල්ලේ තිබුණි.
තාවකාලික NPP දූපත
මෙම තත්ත්වය තුළ 2022න් පසුව පැරණි දේශපාලන නිවහන ගිනිගත් විට විශාල පිරිසක් ආරක්ෂාව සොයා වෙනත් දූපතකට ගියහ. 2024දී ඒ දූපත NPPය විය. ප්‍රශ්නය වන්නේ ඔවුන් එහි ස්ථිර පදිංචිකරුවන්ද යන්නය. නැත. ඔවුන් එහි විප්‍රවාසීන් ය.
ආණ්ඩුවක් බලයට පත්වීමට පෙර ජනතාවට අලෙවි කරන්නේ බලාපොරොත්තුවයි. බලයට පත්වූ පසු ජනතාව මිලදී ගන්නේ ප්‍රතිඵලයයි. මේ දෙක අතර වෙනස දැනෙන්නට පටන් ගත් විට පාවෙන ඡන්දදායකයා නැවත සිය ගමන පටන් ගනී. 2026 වන විට වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මුහුණ දෙමින් සිටින අභියෝගය එයයි.
තාවකාලිකව එන්පීපී දූපත වෙත ගිය බයි ඡන්දදායකයාට දැන් දැන් නැවතත් 2022ට කලින් තමන් සිටි මවුබිම මතක් වෙනවා නිසැකය. හොරු ඇල්ලීම යන සටන් පාඨය ඔවුන්ගේ ශබ්දකෝෂයේ නැත. ඔවුන්ට ප්‍රමුඛ වන්නේ රට, ජාතිය, ආගම, බඩ වැනි සංකල්පයන් ය. අරගලය අවස්ථාවේ බේරේ ගිලී අපවාදයන්ට ලක්වී තෝන්තු වී තිබූ බයි මනසට තාවකාලික සහනයක් අවශ්‍ය විය. එම සහනය අනුර කුමාර නම් විය. දැන් කැඩුණු හිත් සංසුන් වී කැඩුණු බිඳුණු ජීවිතය පිළිසකර වී ඇත. එවිට නැවත මවුබිම මතක් වීම සාමාන්‍ය දෙයක් ය.
මෙම බයි මනසේ සෙලවීමට වෙනස් වීමට නාමල් රාජපක්ෂගේ නැඟීම පමණක් හේතුවක් නොවන්නේය. එයට වර්තමානයේ වාටියේ මිනිසුන්ගේ බඩගින්න ද හේතුවක් ය. හොරු ඇල්ලුවාට ජනතාවට අඩුවට කන්න ලැබෙන්නේ නැත. ඒ සඳහා බදු බර අඩු කළ යුතුය. එහෙත් අයිඑම්එෆ් සමඟ දීගෙක ඉන්න ආණ්ඩුව ජනතාවගෙන් සූරා කමින් සිටියි.
දැන් ඡන්දදායකයාගේ සාක්කුවට දැනෙන්නේ මොකක්ද?
2026 අගෝස්තු මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව වාර්ෂික සමස්ත උද්ධමනය 8.0% දක්වා ඉහළ ගොස් තිබේ. ජූලි මාසයේ එය 7.3%කි. ඊටත් වඩා වැදගත් ආහාර උද්ධමනය ජූලි මාසයේ 6.3%ක් වූ අතර කොළඹ ආහාර උද්ධමනය අගෝස්තුවේ 8.5% දක්වා ඉහළ ගොස් ඇත. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 7.7%කි. මහ බැංකුවම පවසන්නේ ආසන්න කාලයේදී උද්ධමනය 5% ඉලක්කයට ඉහළින් පැවතිය හැකි බවය.
රට පුරා මිල මට්ටම මනින ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ද 2026 ජූලි වාර්ෂික උද්ධමනය 7.2%කි. එය ජූනි මාසයේ 6.5% සිට ඉහළ ගිය අගයකි.
මේ සංඛ්‍යා දේශපාලනයට ඉතා වැදගත්ය. මන්ද සාමාන්‍ය ඡන්දදායකයා GDP වර්ධනය, primary surplus හෝ debt sustainability analysis එකක් අතේ තබාගෙන ඡන්ද පොළට යන්නේ නැත. ඔහුට ආර්ථිකය දැනෙන්නේ බත්පතෙන් ය. කඩේට ගෙවන මුදල් කන්දෙන් ය. විදුලි බිලෙන් ය. වතුර බිලෙන් ය. අවසානයේ සේරටම කැපී කෙටී අතට ඉතුරු වෙන සොච්චමෙන් ය.
2026 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය 5.1%කින් වර්ධනය වී තිබීම ආණ්ඩුවට පෙන්විය හැකි ධනාත්මක දත්තයකි. එහෙත් ඒ වර්ධනයේ ප්‍රතිලාභ තම පවුලේ ජීවන තත්ත්වයට පරිවර්තනය වී නැති බව ඡන්දදායකයාට හැඟුණොත් 5.1%ක ආර්ථික වර්ධනය ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ආරක්ෂා කරන්නේ නැත.
බදු ගෙවන මිනිසාගේ දේශපාලනය
IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය විශාල වශයෙන් revenue-based fiscal consolidation එකක් මත ගොඩනැඟී තිබේ. 2025දී බදු ආදායම GDPයෙන් 15.4% දක්වා ඉහළ ගොස් තිබූ අතර එය පසුගිය දශකයේ ඉහළම මට්ටම බව IMF වාර්තාව කියයි. 2026 සඳහා බදු ආදායම GDPයෙන් 14.0%ක් සහ සමස්ත රාජ්‍ය ආදායම 15.1%ක් ලෙස ඉලක්ක ගත කර තිබේ.
ඒ සඳහා VAT හා SSCL ලියාපදිංචි සීමා පහළ දැමීම, ආනයනික පොල්තෙල් සහ පාම්තෙල් මත VAT හා SSCL පැනවීම, ආනයනික රෙදිපිළි සම්බන්ධ බදු වෙනස්කම්, ආනයනික වාහන මත SSCL සහ ඩිජිටල් සේවා මත VAT වැනි ආදායම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.
රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයට මේවා අවශ්‍ය විය හැකිය. එහෙත් දේශපාලන විද්‍යාවේ ප්‍රශ්නය වෙනත් එකකි: එහි පිරිවැය දරන්නේ කවුද සහ ඒ පිරිවැය ඔහුට දැනෙන්නේ කොහොමද? යන්න වැදගත් සාධකයක් ය.
VAT එක ව්‍යාපාරිකයාගේ ගිණුම් පොතේ පමණක් නවතින්නේ නැත. අවසානයේ භාණ්ඩයක හෝ සේවාවක මිල හරහා එය පාරිභෝගිකයා වෙත පැමිණෙයි. ඉන්ධන හා ප්‍රවාහන පිරිවැය ඉහළ ගිය විට එහි දෙවන වටයේ බලපෑම නැවතත් භාණ්ඩ හා සේවා වෙත පැතිරෙයි. එවිට එය ජනයාගේ පොකට්ටුවට තදින් දැනෙන්නට වෙයි.
එවිට ආර්ථිකය “ස්ථාවරයි” කියන macroeconomic කතාව සහ “ජීවත් වෙන්න අමාරුයි” කියන household economy කතාව එකිනෙකට ගැටෙන්න පටන් ගනී. පැටලෙයි. එහෙත් අවසානයේ වාටියේ ජනතාවගේ ජීවත් වෙන්නට අමාරුයි යන්න පැටව් ගසයි. ජනමතය වෙනස් වෙයි.
2026 ජූලි සඳහා රජයේ නිල ජාතික දරිද්‍රතා රේඛාව පුද්ගලයකුට මාසයකට රුපියල් 17,679කි. මේවා සියල්ල එකතු වූ විට ආණ්ඩුවට ඇති ප්‍රධාන අවදානම පැහැදිලි විය යුතුය. දැනට ආණ්ඩුව දියත් කරමින් ඉන්නා ප්‍රොජෙක්ට්ස් අතරේ හොරු ඇල්ලීම පමණක් ජනතාව අතරේ යම් ජනප්‍රියත්වයක් ඇති කර තිබෙයි. එහෙත් මේ ආර්ථික අවුල තුළ හොරු ඇල්ලුවාට මිනිසුන්ට ලාභයට හාල් කිලෝවක් ලැබෙන්නේ නැත. එවිට හොරු ඇල්ලුවාට ජනප්‍රියත්වය ගිලිහී යන්නට පුළුවන් ය. මේ සිදුවෙමින් තිබෙන්නේ එයයි.
අනෙක් පැත්තෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය හකුලවා දමන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාන්විතයක් බව දැන් දැන් ජනතාව තේරුම් ගනිමින් සිටියි. කතානායක පෙම් හුටපටය, ඔහුට විරුද්ධව නැඟෙන රජයේ මුදල් අවභාවිතා කළා යන චෝදනාවලට යම් පදනමක් ජනමනස තුළ ස්ථාපනය වෙමින් තිබීමත් නාමල්ගේ මෙම රැලියේ සාර්ථකත්වයේ අතිරේක රහස් විය හැකිය. මේ සියල්ල එකට එකතු කර කියවා ගැනීම ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට වැදගත් වෙනු ඇත.
-කේ. සංජීව-
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍ය අනුග්‍රහය මතය. මෙය කියවන ඔබට අපට යම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට අවැසි බව හැඟෙන්නේ නම් පහත සබැඳියෙන් ඒ සඳහා පිවිස අපහට උදව් කළ හැකිය.
This website is sustained by the financial support of our readers. If you feel that the work we do is worth supporting, you can make a financial contribution through the link below. Your support will help us continue our work.
buymeacoffee.com/knews.lk






