මම ඔන්න අද ලියනවා මම කන්න ආසම, එක එක ක්‍රමවලට කන කෑමක් ගැන. ඔහෙලත් මේක රස කරකර කන කෑමක් කියලා මම දන්නවා. මම අද කතා කරන්නේ මී කිරි ගැන. මී කිරි අපේ දිවඟට වැටුණු ඉතිහාසය ගත්තොත් ඉතිං, අවුරුදු 5000ක වගේ කාලෙක ඉඳලා අපි මී කිරි කනවා. අම්මපා ඒත් තවමත් එපා වෙලා නම් නෑ!. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් තමයි මී කිරි අතීතය පටන් ගත්තේ කියලත් කතාවක් තියෙනවා. කොහොම වුණත් ලංකාවේ ඉතිං මී කිරි ගැන කතා කරනකොට හොඳම මී කිරි තියෙන්නේ රුහුණේ කියලනේ කියන්නේ.
මම ඉතිං කාලයක් වැඩක් විදිහට රසම මී කිරි තියෙන්නේ කොහේද කියලා හොයාගෙන ගියා. ඒක පිස්සු හැදෙන චාරිකාලංකාරයක්. දිව නැටවෙන, කටට සට සට ගාලා කෙළ උනන අතීතයක් ඒක. මම මුලින්ම රුහුණේ මී කිරි රස හොය හොයා යන්න පටන් ගත්තේ බෙන්තර ගඟ නිම්නයයි ගිං ගඟ නිම්නයයි අතර තැන්නෙන්. ඇල්පිටිය පැත්තෙන්. තවමත් මී හරකුන් ටික ටික ඇති කරන පැත්තක් මේක. හැබැයි ඉතිං, මේ මී කිරි ඇඹුලයි. හැන්දෙන් කඩලා ගත්තාට පස්සේ කබොල්ලේ සිටි සිටි ගාලා වතුර පිරෙනවා. දිලිසෙන වර්ණිත මේ මී කිරි මගේ දිවඟට නම් එච්චරම සෙට් වුණේ නෑ. ඇඹුල් ගතිය වැඩි එකත්, ඒකට හේතුවක් වෙන්න ඇති.
දවසක් මම මාතර වල්ගම යාළුවෙකුගේ ගෙදර ගිහිං, ඒ ළඟ කඩේක හිනා වෙලා බලාගෙන හිටිය, මී කිරි හට්ටි රාජයෙක් අරගත්තා. මම එක්ක හිටිය යාළුවා කිව්වා, උඹ ඕක තනියෙන් කෑවොත් මම තව එකක් අරගෙන දෙනවා කියලා. ලීටර් එක හමාරක විතර ශ්‍රමයක් ඉතිං.. කරන්න දෙයක් නෑ රස අභියෝගයක් ආවාම අතාරින්න හොඳ නෑ, කෑවා. ඒක ඇල්පිටියට සාපේක්ෂව ඊට වඩා ටිකක් රස මී කිරි එකක්. තාමත් ඉතිං මතක් වෙනකොට බඩ උල් වෙනවා පුරවලා දානවා ගොරගොර ගානවා.
මී කිරි බිව්වොත් ඇඟට උෂ්ණයි
ඉස්සර අපේ අම්මලා කිව්වේ, මී කිරි බිව්වොත් ඇඟට උෂ්ණයි, මුදවලා කෑවොත් සීතයි කියලා. එළ කිරිවල තිබ්බේ මේකේ අනිත් පැත්ත. එළ කිරි බිව්වොත් සීතලයි, මුදවලා කෑවොත් උණුහුමයි. ඉතිං අපි මී කිරි මුදවලා තමයි කෑවේ. හොඳම මී කිරි හට්ටිය අනික් පැත්ත ගහලා බලං ඉන්න පුළුවන් ලු වැටෙන්නේ නෑ ලු. හැබැයි ඉතිං දැන්නම් මේක කොරන්න යන්න එපා ඈ!
දවසක් මම මී කිරි රස හොය හොයා වැලිඔය මී කිරි ගෙදරකට යනකොට, ඒ ගෙදර මී කිරි අත්තා මී කිරි විශාල හට්ටියකට දාගෙන ඕසෙට කාල් ගානවා. මම ඉතිං ළඟට ගියා, මෙන්න මී කිරි හට්ටිය හිනා වෙනවා, අනේ බීපං අයියා කියලා. මම ඉතිං අත්තාට ටෝක් කළා. ‘මේ ඕයි ගේනවා නම් කෝප්පයක්’ අන්තිමට මී කිරි අත්තම්මා කෑගැහුවා. අත්තා මට මී කිරි යාරයක්, මී කිරි අත්තම්මා ගෙනල්ලා දුන්න ජග්ගුවට දාලා දුන්නා.
අම්මෝ පෙන පිරුණු මී කිරි ජග්ගුවක් ඒක. සට සට ගාලා උණු මී කිරි හිනාවෙනවා, මූණේ මී කිරි ඊතල මී දුම වදිනවා. ටිකක් වෙලා ගියාට පස්සේ, ලාවට නිවුණට පස්සේ, එක හුස්මට බීගෙන බීගෙන ගියාට පස්සේ, අම්මෝ ඒකේ රස!. මෙහෙම බැලුවාම ඉතිං මී කිරි කියන්නේ පුදුම කිරි එකක් ඈ. හරකා මී වුණාට පුතා කිරි මී කිරි හරිද. මෙහෙම උතුරවලා තමයි හට්ටිවලට දාන්නේ, ඊළඟට පරණ කිරි මුහුන් ඩොටෙක ඩොටෙක දාගෙන යනවා. ඒකෙන් තමයි කිරා මිදෙන්නේ. දැන්නම් හෝල්සේල් මුදවනකොට ඇසිටික් අම්ලය දානවා කියලත් කියනවා. කොහොමවුණත් මී කිරි කියන්නේ පෝෂණයෙන් ඉහළ මේදය ප්‍රෝටීන් සරු සීනි නැති පූර්ණ ආහාරයක්. මිනිහෙක්ට බිත්තර කාලා රැකෙන්න පුළුවන් වගේ මී කිරිවලිනුත් රැකෙන්න පුළුවන්.
ලංකාවේ මෑත අතීතය බැලුවොත්, නුවර රජ මාලිගාවේ රජ්ජුරුවන්ගේ කෑම වට්ටෝරුවට මී කිරි අතහැරුණේ නෑ. රජ්ජුරුවන්ට මී හරක් හිටියේ මහ රුහුණේ. ඒ කීවේ ඔය යාලට මායිම් වුණ ගම් පොකුරේ. දවසක් මම බ්‍රෝහියර් දුටු ලංකාව කියන පොත කියවගෙන යනවා, මෙන්න බොලේ එක තැනක මෙහෙම තියෙනවා ‘මා 1923 දී තෙලුල්ල හරහා වැටී ඇති සැතපුම් 20ක් දුර මාර්ගයේ හම්බෙගමුවට ගොස් ආපසු එන ගමනේ දී හල්දුම්මුල්ලට නැග්ගෙමි. එකල ඒ වනාන්තර මාර්ගය ඔස්සේ තිබුණේ එකම එක ගමකි. එය ද පිටස්තර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී තිබුණි. මේ කුඩා ගම්මානයේ සිටිය මිනිස්සු කටුක දේශගුණය සමග ද, ලෙඩ දුක් සමග ද සටන් කරමින්, අන්ත දුගී ජීවිතයක් ගත කළහ. බලහරුව නම් ඒ ගම, හෙළ රජ සමයේ ගෝණබැද්ද දිසාව යටතේ පාලනය වූ අතර, ඒ දිසාවගේ විශේෂ වගකීම වූයේ රජවාසල සඳහා ඉතාමත් හොඳ ගව පට්ටි මේ ප්‍රදේශයේ නඩත්තු කිරීමයි’ යකෝ මම ආසම ගමක්නේ කියලා ඔන්න ආයෙත් ගියා බලහරුවට. ගිහිං ආනන්දයාට කතා කරලා කීවා මචෝ මට මෙහේ හදන මී කිරි කන්න ඕනෑ කියලා. මෙන්න, මේ යකා මට මී කිරි හට්ටි දෙකක්ම ගෙනත් දෙනවා. ඒක තමයි මම මගේ ජීවිතේ කාපු රසම රස මී කිරි එක. බලහරුවේ මී කිරි. බලහරුව කියලා කියන්නේ අද මී හරක් ඕසෙට හදන ලඳු කැලෑ තැන්නකට. එදා රජ්ජුරුවෝ මෙහේ මී ගව පට්ටි දාලා, මෙහෙන් කිරි දොවලා, මෙහෙන් කිරි මිදෙව්වේ ඇයි කියලා ඔයාටත් දිවෙන් අහලා දැනගන්න ඕනෑ නම් ඉතිං යන්න වෙනවා තණමල්විලට ළඟ බලහරුවට. ඔන්න දරුවෝ සුපිරි රුහුණේ මී කිරි..!
දැන් ඉතිං මම යන්නම් මී කිරි අස්සේ තියෙන නෙක රස අපේ දිවඟට උරා ගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. ඉස්සර පුංචි කාලේ රත්නපුරේ හංගමුවට මාසෙකට දවසක් විතර මී කිරි මාමා ආවා. ඒ මී කිරි මැටි හට්ටි උඩට උඩට තියලා ඒවා පොල් අත්තෙන් ගැටගහගෙන. එහෙම එක අතක මී කිරි හට්ටි තියෙනකොට උන්දැගේ අනික් අතේ එල්ලුණේ පුවක් කොළපතේ ඔතපු ඔරිජිනල් කිතුල් පැණියා. ඉතිං අපි උන්දැගේ වමතයි දකුණතයි සල්ලි දීලා අරගෙන කලවම් කරලා කෑවා. ඒකට අපි කිව්වේ කිරි-පැණි කියලා. කිරි-පැණි කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රියතම අතුරුපසක්, ඔය කර්තකොලොම්බන් අයිස්ක්‍රීම් රාජයා එහෙම එන්න කලින්.
මී කිරිවලට මී පැණි දාන්න
ගොඩක් අය මී කිරිවලට කිතුල් පැණි දාලා කන්න ආස වුණාට මම නම් ආසම මී කිරිවලට මී පැණි දාන්න. ඉස්සර මම පානම ගිහිං එනකොට මී පැණි බෝතල් දෙකක්වත් ගේනවා, ඉතිං ඊට පස්සේ හොයනවා මී කිරි, හොයලා දෙක එකට එකතු කරලා කනවා කෑමක්, අම්මා කෑ ගහනවා ‘තොගේ බඩ පැලෙයි යක්ෂයෝ’ කියලා. ‘කොල්ලෝ මී කිරි එක උඩින් කිතුල් පැණි දාගත්තට පස්සේ කවදාවත් ඒක කාල් ගාන්න එපා. කලවම් නොකර හැන්දට අහුවෙන විදිහට කටට දාගනින්’ දවසක් හොඳටම කිරි-පැණි කාපු අපේ ගමේ පන්සලේ කිරිඇල්ලේ හාමුදුරුවෝ කියාපි.
එදා ඉඳලා මම මී කිරි උඩින් ඕසෙට ඝනට පැණි කට්ටයක් හෙළාගෙන හැන්දෙන් කාගෙන කාගෙන යනවා මිසක්කා, කලවම් කරන්නේ නම් නෑ රජෝ. ‘මී කිරි තලන්න එපා පුතා..’ දවසක් මට තුලාවෙල්ලියේ හම්බවුණ මාමා කෙනෙක්ගෙන් ආපු උපදෙසක්. ඉතිං මම කෑලි කෑලි කිරියා සේ පැණියා තවරගෙන කනවා මිසක් ඔම්ලට් ගහලා කන්නේ නෑ. හැබැයි පුතෝ රතු ලොකු කැටි සීනියා කිරිත් එක්ක හම්බ වුණොත් නම් ඕය මොකවත් නෑ අම්මපා දාගෙන හැඳිගාගෙන තමයි කන්නේ. කටස් කටස් ගාලා සීනි කැට හැපිලා කිරියා පැණියා වෙනකොට තමයි හොඳම රස. තුලාවෙල්ලිය යකාවැව වගේ මැදවච්චියට කිට්ටු ගම්වලත් මී කිරි තියෙනවා, හැබැයි ඒවායේ රස වෙනස්. මන්නාරම පැත්තට යනකොට එයින් පල්ලට බැහැලා පුත්තලමට යනකොට ආයෙත් රස වෙනස්. මැදවච්චියෙන් හැරිලා බෝගස් හන්දිය පැත්තෙන් නැගෙනහිර යනකොට, මුලතිව් වැලිඔය වගේ පැතිවලට යනකොට ඒ මී කිරි තව රහක්.
දකුණේ නම් රතු බතුයි මී කිරියි එකට අනාගෙන කනවා, ඒක මාර රසයි. දිවුල් කිරියි රතු බතුයි වගේ තමයි. මෙහෙම බැලුවාම මට නම් මී කිරි කියන්නේ හොඳ සෝස් එකක් වගේ එකකට. ගෙදරට වල් ඌරු මස් කුට්ටියක්, හරක් මස් කුට්ටියක් ගෙනාවාම මස් ටික ටිකක් මෙළෙක් කරගන්න ඕනෑ නම් කරන්න තියෙන්නේ හොඳට මී කිරි ගල්වලා බලා ඉන්න එක. ටික වෙලාවකින් මස අස්සට මී කිරි ගිහිං, මස මුදු සුමුදු වෙනවා. රස වැඩි වෙනවා. ඉස්සර නුවර මාලිගාවට ගොඩමස් ආවට පස්සේ ලේ පිටින් මී කිරි තවරලා ටිකක් වෙලා තියලා දෙහි දාලා සෝදලා තමයි ගන්නේ. සමහර වෙලාවට මී කිරි දෙහි සාරු කහ එකට කලවම් කරලා තලපයක් වගේ හදාගෙන, ඒ තලපේ මසේ තවරගෙන ටිකක් වෙලා තියලා සෝදලා හැරලා තමයි මස් ටික කපාගෙන උයාගෙන තියෙන්නේ. තවමත් ඔය ඉන්දියාවේ කේරළේ පැත්තේ එළු මස් එහෙම උයනවා මෙහෙම. එළුවා මෙහෙම උයනකොට අර කොළ රහ එන්නේ නෑ හරිද. මෙහෙම බැලුවාම මී කිරි කියලා කියන්නේ රසම රස රසකාරකයක්. එහෙම නැත්තං රස අවදි කරන උත්ප්‍රේරකයක්.
ඉස්සර අපේ ගෙවල්වල සලාදෙට කියලා හැදුවේ ඉතිං පිපිඤ්ඤයා තමයි. රවුමට කපලා මැද දියමදේ අයින් කරලා ඒකට රට ලූණු, රතු ලූණු, කොළ මිරිස් දාලා, ඊළඟට පොල් කිරි ක්රීමියා දැම්මා. ඒක තමයි මඟුලට එහෙම හදපු එකම සලාදයා. අද නම් සලාද වැහි වැහැලා. ඉතිං මම කියන්නේ මෙන්න මේ සලාදයාට මී කිරි දාලා කාලා බලන්න කොහොමද කියලා. පිස්සු හැදෙයි. ඔයාලට ඕනෑ නම් පුළුවන් හොඳ නැවුම් මෝරපු නැති ගොටුකොළ කොළයෝ ටිකක් අරගෙන, ඒකට රතු ලූණු රට ලූණු උම්බලකඩ කොළ මිරිස් ඕසෙට දාලා මී කිරි එක්ක කලවම් කරගෙන සලාදයක් හදාගන්න. මේකම ඔයාලට ඕනෑ නම් අසමෝදගම් කොළයටත් කරන්න පුළුවන්. මම නම් ඉතිං කැබැල්ල කොළයත් (දළු) මෙහෙම මී කිරි එක්ක බන්දලා කාලා තියෙනවා. ඔයාලා කැමතිනම් මුං ඇටයෝ ටිකක් ගෙනල්ලා රෑට දියේ දාලා උදේට වතුර ටික අයින් කරලා මොටෙයියෝ උඩට පනිනකම් තියලා ඒකට මේ විදිහටම මී කිරි කලවම් කරලා කන්න පුළුවන්.. කාලා බලන්න, මී කිරි කියන්නේ වට් අ සෝස් කියලා හිතෙයි.
බල සලාදයක් කාලා බලන්නකෝ
මම බල මාළුවලට මාරම ආසයි. දවසක් මට බලපිටියේදී අලුත්ම අලුත් බලයෙක් හම්බ වුණා. ඉතිං මම මේකා අරගෙන වතුගෙදර හරියෙන් එනකොට මී කිරි තිබුණා කඩේක අට්ටි අට්ටි ගහලා, මම මී කිරි හට්ටියකුත් ගෙදර අරගෙන ආවා. රතට රතේ රවුමට රවුමේ බලයා කපනකොට මට හිතුණා බල සලාදයක් හදන්න. ඉතිං මම ස්ටීම් කළා බල රවුම් ටික බිඳෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ලොකු ලූණු රවුම් කපාගත්තා, දිග කොළ මිරිස් කපාගත්තා, කපාගෙන හැදුවා සලාදයක්.. ඒකට දැම්මා දෙහි සාරු උඩින් හලාගත්ත අර බල රවුමෝ ටික. ඊළඟට ඒක උඩින් කිරි හට්ටියෙන් ගත්ත මුදවපු මී කිරි කෑලි ටිකක් සෝස් වගේ ලස්සනට වයිරමට හලාගත්තා. ඔය බටහිරයෝ මයොනිසා දාගන්නෙත් මෙහෙම තමා. ඉතිං මම මයොනිසා වෙනුවට මී කිරා දාගත්තා සිංහලේට රහට එන්න. ඔයාලත් මම කියනවාට දවසක හොඳ බලයෙක් හම්බවුණාම බල සලාදයක් කාලා බලන්නකෝ. ඔය මෑන්හැටන් ෆිෂ් මාකට් එකේ වගේ තියෙන, හෙන ගණන් ස්මෝකි සැමන් මාළු උඩින් එක එක සෝස් දාගන්නවා වගේ, අපිට පුළුවන් ඕනෑ නම් මී කිරි දාගන්න. මී කිරි කියන්නේ අන්නෙහෙම රසම රස පිස්සෙක්.
මෙහෙම සැලඩ් හදාගන්නවා වගේම මී කිරි බත් හදාගන්නත් පුළුවන්. බිරියානියාට මී කිරි දාගන්නවා වගේ තමයි රසම රස රෝසා හාල් රසම රස සුදු හාල් තවත් රස කරගන්න පුළුවන් බත ඉඳෙනකොට මී කිරියා දාගත්තාම. ඕනෑ නම් මී කිරියාගෙන් හදාගන්න ගී ටිකක් එක්ක කලින්ම හාල් ටික ළිප තියාගත්තා නම්, පස්සේ මී කිරි දාගත්තා නම් තවත් රසයි. බාස්මතී වගේ හාලෙක් එක්ක මේක මීටත් වඩා රසයි හරිද? කහ ටිකක් එක්ක ලුණු පදමට දාගෙන මී කිරි ඕසෙට හලාගෙන ඕනෑ නම් තව ලොකු ලූණු සුදු ලූණු වගේ දේවලුත් දාගෙන බෙරි නොවෙන්න, නෝනේ බත් උයාගෙන බලන්න. මී කිරි බත් කියලා අපි කියමු මේකට. හරිම රසයි. මේකට ඉතිං ඔය චිකන් ටිකක් බීෆ් ටිකක් පෝක් ටිකක් වුණත් දාලා ගත්තොත් පිස්සු රහයි ඈ!
ඔය මස් වර්ග සැරට සැරේ බොරට බොරේ කළුවට කළුවේ උයාගත්තට පස්සේ, මස් කෑලිවල සාරුව ඇලුණට පස්සේ, රස්නේ අස්සේ මී කිරි දාලා හැන්දෙන් එහෙට මෙහෙට කරලා එකට ගුලියට මිරිකලා සතපවලා තියලා බලලා කන්නකෝ කොහොමද කියලා.. මී කිරි කියන්නේ අන්නෙහෙම රස පදම ඇදලා උඩට ගන්න ජාතියේ නරකම නරකයෙක්.
ඊළඟට ඉතිං එක එක ජූසි වර්ග, එක එක පලතුරු එක්ක සලාද කරලා මී කිරි කන්න අමාරු නෑ. රස වෙනස්. දිව ඇබ්බැහි වෙනවා. ඒවා වෙන දවසක ලියන්නම්.. ඉතිං මෙහෙම බැලුවාම මී කිරි කියන්නේ පිස්සුවක්.. හරිද? කාලම බලන්න.. එක එක විදිහට..!
කේ. සංජීව







