අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ වර්තමානයේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන කටයුතු කර ඇති ආකාරය නිසා උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදු කළ පැමිණිල්ල දේශපාලනික අරමුණක් ඇතිව ද්වේෂසහගතව සිදුකර ඇතැයි ද ඒ පිළිබඳව විමර්ශන ඇරඹීම තුළින් වග උත්තරකරුවන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ලබාදී ඇති අතර එයින් වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර ඇත්තේ, පාලිත සිරිවර්ධන විසින් දේශපාලන වුවමනාව මත පාස්කු ප්‍රහාරයට සම්බන්ධව පෙත්සම්කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කර තිබෙන පැමිණිල්ලට අදාළව කිසිදු ඉදිරි පියවර නොගන්නා ලෙසය.
ඒ අනුව දේශපාලනික අරමුණු මත ද්වේෂසහගතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000ක් බැගින් ද සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් ද පෙත්සම්කරුවන් දෙදෙනාට ගෙවිය යුතු යැයි නියෝග කර ඇත.






