අප 2025 මාර්තු 26 වැනිදා යමු. එකල්හි වත්මන් කතානායකවරයා රාජමල්වත්තේ පිහිටි සිය නිල නිවස වෙනුවට කොළඹ 04 ප්‍රදේශයේ වෙනත් රාජ්‍ය නිවසක තාවකාලිකව පදිංචිව සිටි සමයකි. තවමත් ඔහු සිටින්නේ එහෙමය. එදින කතානායකවරයාගේ උපදෙස් පරිදි පැමිණි රියදුරෙකු විසින් විශාල ප්‍රමාණයේ ඇඳ ඇතිරිලි හතරක් සහ කොට්ට උර දෙකක් නිල නිවසින් පිටතට රැගෙන ගොස් ඇත.
මෙම දේපළ පිටතට ගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිපාලනයෙන් උපදෙස් පතමින් 2025 අප්‍රේල් 3 වැනිදා පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලිපියක් යොමු කර තිබේ. ඊට සමගාමීව, කතානායකවරයාගේ ඇඳ ඇතිරිලි භාරදීම සහ භාරගැනීම සම්බන්ධ සටහන් පොතේද මෙම භාණ්ඩ පිටතට ගෙන යාම සටහන්ව ඇත.
මෙහි මතු වන ප්‍රධාන ගැටලුව භාණ්ඩවල වටිනාකම නොවන බව කිවයුතුය. මෙහිදී ප්‍රශ්නාර්ථයක් වන්නේ රාජ්‍ය දේපළකට තිබෙන වගවීමයි. මෙම රාජ්‍ය දේපළ රැගෙන ගියේ කුමන ස්ථානයකටද? ඒ සඳහා නිසි අනුමැතියක් ලබා ගත්තාද? ඒවා නැවත භාර දී තිබේද? යන්න තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න වේ. කතානායකවරයාට එල්ල වී ඇති පුළුල් දූෂණ චෝදනා ගොනුවේ එක් ප්‍රධාන චෝදනාවක් වන නිල නිවාස සහ රාජ්‍ය දේපළ අවභාවිතයට මෙම සිදුවීම සෘජුවම සම්බන්ධය.
කතානායකට විරුද්ධව අල්ලස් කොමිසමට ගිය බරපතළ චෝදනා අට
මෙම සිදුවීම් මාලාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය සටහන් වන්නේ 2026 පෙබරවාරි 2 වැනිදාය. ඒ, අනිවාර්ය නිවාඩු යවා සිටි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟය. (චමින්ද කුලරත්න සහ කතානායකවරයා අතර 2025 ජූනි මාසයේ සිට යම් පරිපාලන ගැටුමක් පැවති බවද මෙහිදී අප අමතක නොකළ යුතුය.)
මෙම පැමිණිල්ල මඟින් ප්‍රධාන චෝදනා අටක් ඉදිරිපත් කර ඇති අතර අපි ඒ පිළිබඳව සැකවින් කතා කරමු.
1. වාහන අවභාවිතය - කතානායකවරයාට නිල වශයෙන් හිමි වාහන දෙකට අමතරව පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට වෙන් කළ NC 4923 දරන වෑන් රථය මාස හයකට වැඩි කාලයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම සහ එම වාහනයට ඉන්ධන ද රජයේ වියදමින්ම ලබාගැනීම.
2. ද්විත්ව ඉන්ධන දීමනා ලබා ගැනීම - කතානායකවරයාට හිමි අසීමිත ඉන්ධන පහසුකම (පසුව මසකට ලීටර් 900කට සීමා කළ) ලබා ගන්නා අතරතුර, ඔහු තමන්ගේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා ලැබෙන ඉන්ධන දීමනාවද මෙහිදී එකවර ලබාගත් බව චමින්ද කුලරත්න තම පැමිණිල්ලෙන් චෝදනා කරයි. ඒ අනුව (2024 දෙසැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා ලීටර් 568ක්) ලබා ගනිමින් රුපියල් මිලියන දෙකකට ආසන්න අයථා ප්‍රතිලාභයක් ලැබීම.
3. මාධ්‍ය උපකරණ අවභාවිතය - පාර්ලිමේන්තුවේ මිල අධික කැමරා, වීඩියෝ උපකරණ සහ කාර්ය මණ්ඩලය නිසි අනුමැතියකින් තොරව පෞද්ගලික ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම.
4. ආහාර බිල්පත් - කතානායක පුද්ගලික ලේකම් චමීර ගාල්ලගේ සඳහා පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාර වේල් වෙනුවෙන් රුපියල් 900ක් (එක් කෑම වේලකට) අය කළ යුතු වුවත් රුපියල් 150ක මුදලක් පමණක් ගෙවා තිබීම. මෙම චෝදනාවට පිළිතුරු ලබාදෙන කතානායක පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ, එම කෑම වියදම පෞද්ගලික ලේකම්වරයාගේ වැටුපෙන් අඩුකරගන්නා බවය.
5. විමර්ශන නිලධාරීන්ට අනිසි ගෙවීම් - පැමිණිලිකරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විශ්‍රාමික අතිරේක ලේකම් එස්. කේ. ලියනගේ මහතාට නීතිවිරෝධී ලෙස රුපියල් 274,975ක් පාර්ලිමේන්තු අරමුදලින් ගෙවීම සහ තවත් වරප්‍රසාද ලබා දීම.
6. නිල නිවාස දෙකක දේපළ මාරුව - රාජමල්වත්තේ කතානායක නිල නිවසට අයත් භාණ්ඩ (මුලින් සඳහන් කළ ඇඳ ඇතිරිලි ඇතුළුව) නිසි ක්‍රමවේදයකින් තොරව වෙනත් ස්ථානයකට ගෙන යාම.
7. තොරතුරු වසන් කිරීම - කතානායකවරයාගේ දීමනා, වාහන සහ මාධ්‍ය අංශය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ කළ ඉල්ලීම්වලට තොරතුරු ලබාදීම කතානායකවරයා විසින් අවහිර කිරීම.
8. පරිපාලන බලපෑම් - පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විෂය පථයට අයත් කාර්ය මණ්ඩල උසස්වීම්, විදේශ පුහුණු සහ විනය කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීම.
පැය 24ක් තුළ ක්‍රියාත්මක වූ ප්‍රතිප්‍රහාරය සහ කොමිසමේ විමර්ශන
කුලරත්නගේ පැමිණිල්ල ඉදිරිපත් වී පැය 24ක් ගතවීමටත් මත්තෙන්, එනම් පෙබරවාරි 3 වැනිදා, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ප්‍රශ්න 15කින් යුත් ලිපියක් යොමු කරමින් වාහන, ඉන්ධන, කැමරා, නිල නිවාස සහ විමර්ශන ගෙවීම් සම්බන්ධ සහතික කළ තොරතුරු ඉල්ලා තිබේ. මෙය පැහැදිලිවම අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ කරුණුවලටම අදාළ ලේඛන වීම හේතුවෙන්, තමන්ට එරෙහි විමර්ශනයකට අනිසි ලෙස මැදිහත්වීමක් සේ සලකා පෞද්ගලික ලේකම්වරයාට එරෙහිවද අල්ලස් කොමිසමට වෙනත් පැමිණිල්ලක් (ගොනු අංක AC 0695/2026) යොමුව ඇත.
මේ වන විට අල්ලස් කොමිසම සිය විමර්ශන ගොනු අංක AC 0356/2026 B-206 යටතේ පුළුල් කර ඇති බව දැනගන්නට ලැබෙන අතර, 2026 සැප්තැම්බර් වන විට පාර්ලිමේන්තුවේ මුදල්, පරිපාලන සහ ප්‍රවාහන අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන වාහන ධාවන සටහන්, වැටුප් වවුචර් සහ පෞද්ගලික කාර්ය මණ්ඩල තොරතුරු කොමිසම භාරයට ගෙන ඇත.
එය හොඳ ප්‍රවණතාවයක් බව කිවයුතුය. එහෙත් විපක්ෂයේ පුද්ගලයන්ට සහ දේශපාලන ප්‍රබලයන්ට එල්ලවන අල්ලස් චෝදනාවලදී එම කොමිසම ඉතා ඉක්මනින් සිය විමර්ශනයන් කරන පසුබිමක මෙම විමර්ශනය තවමත් ප්‍රමාද බව කිවයුතුය.
තමන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවීම අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරන චමින්ද කුලරත්න ප්‍රකාශ කරන්නේ, දිනක් කතානායකවරයාගේ පාර්ලිමේන්තුවේ පිහිටි කාමරයට දහවල් කෑම වෙලාවක් අතරතුර යෑම සහ එහිදී උද්ගත අතිශය පුද්ගලික සිදුවීම නිසා එදින සිට කතානායකවරයා තමන්ගේ රැකියාව කරගෙන යාමට ඉඩ නොදුන් බවය.
මෙම චෝදනාව කෙළින්ම ගැටගැසෙන්නේ වර්තමාන කතානායක ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා අතර තිබෙන බව කියවෙන සමලිංගික ප්‍රේමය සමඟය. ඕනෑම පුද්ගලයෙකුට ප්‍රේම කරන්නට කිසිදු බාධාවක් නැත. ඔහුගේ හෝ ඇයගේ පෙම්වතා හෝ පෙම්වතිය තම ලිංගයේම හෝ විෂම ලිංගික හෝ එයට රාජ්‍යයට අතපොවන්නට බැරිය. සමලිංගික විවාහයන්ද ලෝකය පුරාම අනුමත වෙමින් නීතිය අස්සට එමින් තිබෙන වර්තමාන ලෝක පර්යාය තුළ මේවා මහා ලොකු දේවල් නොවන බව කිවයුතුය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ එතැන නොවන බව කිවයුතුය. මහජන නියෝජිතයෙකු හෝ රාජ්‍යයේ ඉහළම බලධාරියෙකුගේ සමලිංගික හෝ විෂම ලිංගික ජීවිතයේ පුද්ගලික භාවිතාවන් රාජ්‍යයේ අභිලාෂයන් සමඟ ගැටෙන්නේ නම් හෝ ඒවාට හානිකර නම් එවිට ප්‍රශ්නයක් පැන නඟියි. රටක කතානායකවරයා යනු ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියාය. ඒ අනුව ඔහුගේ පුද්ගලික ජීවිතයේ සමහර බැඳීම් රාජ්‍යයේ පැවැත්මට හානිකර නම් ඒ පිළිබඳව පුරවැසියාට ප්‍රශ්න කරන්නට අයිතියක් ඇත.
නීතියට ඉහළින් බලය : ව්‍යවස්ථාදායකය තුළ මතුවන අභිලාෂ ගැටුම
මෙම සිදුවීම් දාමයේ බරපතළම ඛේදවාචකය දිග හැරෙන්නේ නීතිය සහ යුක්තිය පසිඳලන ක්‍රියාවලියට එල්ල වන සදාචාරාත්මක අභියෝගය හරහාය. පසුගිය කාලයේම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙම තත්ත්වය ඉතා පැහැදිලිව මතු කර පෙන්වීය.
අල්ලස් කොමිසම විසින් තමන් පිළිබඳව බරපතළ විමර්ශනයක් සිදු කරද්දී, කතානායකවරයා දිගින් දිගටම අදාළ කොමිසමේ පත්කිරීම් සිදුකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය දැරීම සදාචාරාත්මකද? දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලියේ මුලසුන හෙබවීම මෙන්ම, 2026 සැප්තැම්බර් 8 වැනිදා අල්ලස් කොමිසමේ 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට කතානායකවරයා සෘජුව දායක වීම තුළින් ගම්‍ය වන්නේ "තමන්ගේම නඩුවේ තමන් විනිශ්චයකරු නොවිය යුතුයි" (Nemo judex in causa sua) යන විශ්වීය නීති මූලධර්මය බරපතළ ලෙස උල්ලංඝනය වීමක් නොවේද? ඔහු එහිදී ප්‍රශ්න කරයි.
සැප්තැම්බර් 10 වැනිදා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අර්බුදය පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස මතු කිරීමට උත්සාහ කළද, කතානායකවරයා ඊට ඉඩ ලබා දුන්නේ නැත. ඒ අනුව මේ වනවිට මෙම අර්බුදය අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා දක්වා ජාත්‍යන්තර තලයට ගොස් අවසන්ය.
දේශපාලනයෙන් ඔබ්බට
විමර්ශනාත්මක මාධ්‍යවේදීන් ලෙස අපට මෙහිදී වැදගත් වන්නේ දේශපාලන පක්ෂ හෝ පුද්ගල නාමයන් නොවේ. තවමත් කිසිවෙකු මේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයක් හමුවේ වරදකරුවන් වී නැත. අපගේ අවධානය යොමු විය යුත්තේ නොකැළැල් සාක්ෂි සපයන ලේඛන දෙසටය. වාහන ධාවන සටහන්, ඉන්ධන ලබාගත් රිසිට්පත්, මුදල් අනුමත කළ වවුචර් සහ භාණ්ඩ නිකුත් කිරීමේ සටහන් පොත් මෙම අර්බුදයේ සැබෑ සත්‍යය හෙළි කරනු ඇත.
මේ කතාව හුදෙක් කොට්ට උර සහ ඇඳ ඇතිරිලි පිළිබඳ කතාවක් නොවේ. මෙය රටේ බලය හිමි ඉහළම පුරවැසියන් රාජ්‍ය මුදල් හා දේපළ පරිහරණය කරන්නේ කෙසේද සහ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට තම නිල බලය ඒ සඳහා පලිහක් කරගන්නේද යන්න විමසා බලන ප්‍රායෝගික පරීක්ෂණයක්ය.
මේ වනවිට අල්ලස් කොමිසමේ විමර්ශනයන් සක්‍රීය බව වාර්තා වන අතර ඒ නිසාම ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ප්‍රකාශ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. එහෙත් ඔහු ඒ සඳහා යම් කෙටි කාලයක් ඉල්ලමින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මෙවර පැවැත්වීමට නියමිත අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 153 වැනි මහා සභා රැස්වීම සඳහා ටැන්සානියාවට යාමට ඇති බැවින් ගිහිං එනකම් ඉන්න යැයි කියාය.
ඒ අනුව 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා ‘යහපාලනය ශක්තිමත් කිරීම සහ සියලු දෙනාට ඇතුළත්භාවය, විශ්වාසය හා අවස්ථා ලබාදීම මගින් ප්‍රජාවන් සවිබල ගැන්වීම.’ යන තේමාව යටතේ ටැන්සානියාවේ පැවැත්වෙන මෙම රැස්වීමෙන් පසුව බොහෝදුරට වර්තමාන කතානායක ජගත් වික්‍රමරත්න ඉල්ලා අස්වෙනු ඇත. මේ කියන ආකාරයටම දේවල් සිදුව, ඔහු නුදුරු දිනයකදී කතානායක ධුරයෙන් සමුගැනීම සිදුකළ හොත් වර්තමාන එන්පීපී ආණ්ඩුවේ දෙවැනි කතානායකවරයාත් ඉල්ලා අස්වූ කතානායකවරයෙක් වෙනු ඇත. ඒ අනුව එය වර්තමාන ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට කළු පැල්ලමක් වෙනු ඇත. ඒ අනුව වර්තමාන ආණ්ඩුව පත්වී සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසී යන තත්ත්වයකටය.
-කේ. සංජීව-
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍ය අනුග්‍රහය මතය. මෙය කියවන ඔබට අපට යම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට අවැසි බව හැඟෙන්නේ නම් පහත සබැඳියෙන් ඒ සඳහා පිවිස අපහට උදව් කළ හැකිය.
This website is sustained by the financial support of our readers. If you feel that the work we do is worth supporting, you can make a financial contribution through the link below. Your support will help us continue our work.
buymeacoffee.com/knews.lk







