අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහිව Fair Comment නඟන බරපතළ චෝදනා මොනවාද?

preethi padman surasena knews
ශ්‍රී ලංකාවේ වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න කිරීම් රැසක් සිදුකරමින් බරපතළ චෝදනා මාලාවක් Fair Comment වෙබ් අඩවිය විසින් පසුගිය සති කිහිපයක කාලයේ ලිපි මාලාවක් හරහා මහජන අවධානයට යොමුකර ඇත. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව බරපතළ සාකච්ඡාවක් සිදුවෙමින් තිබෙන මෙම අවධියේ එම තොරතුරු සිංහල පාඨකයා වෙත ඉදිරිපත් කිරීම සහ ඒ හරහා සිංහල කතාකරන පාඨක සමාජයට යම් සංවාදයක් සඳහා ඇරයුම් කිරීම මෙම ලිපියේ අරමුණ බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළ යුතුය.

‘Your Lordship, You’re Not the Lord!’, ‘Lord Preethi Padman Surasena! My God…’, ‘Checkmate, Judge’ සහ අවසානයේ ‘Guilty as Charged!’ යන ලිපි ඔස්සේ ඔවුන් අවධානය යොමු කරන්නේ අගවිනිසුරුවරයාගේ පුත්‍රයකු මිලදී ගත් සුඛෝපභෝගී මහල් නිවාසයක්, සහනදායී වාහන ආනයන බලපත්‍රයක් සම්බන්ධ ගනුදෙනුවක්, X-Press Pearl වන්දි නඩුවේ විනිසුරු මඬුල්ල වෙනස් කිරීම, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නඩු විභාගය සහ අගවිනිසුරුවරයාගේ පුත්‍රයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයන් ලෙස පෙනී සිටීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවය.

කෙසේ වෙතත් මෙහි ආරම්භයේදීම වැදගත් කරුණක් පැහැදිලි කළ යුතුය. මේවා ‘Fair Comment’ වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කරන චෝදනා, ප්‍රශ්න සහ එම වෙබ් අඩවියේ විග්‍රහයන් වන අතර, ඒවා අධිකරණයකින් තහවුරු කර අගවිනිසුරුවරයා වරදකරු කර ඇති කරුණු නොවේ. ‘Fair Comment’ ද තම ‘Guilty as Charged!’ ලිපියේ තමන් අධිකරණයක් නොවන බවත්, තමන් ඉදිරිපත් කරන්නේ මහජන අවකාශයේ තම මතය බවත් සඳහන් කරයි.

රුපියල් මිලියන 125ක The Grand මහල් නිවාසය

Fair Comment ඉදිරිපත් කරන ප්‍රධානතම කරුණක් වන්නේ කොළඹ 07, Ward Place හි අංක 64 ස්ථානයේ පිහිටි ‘The Grand’ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ අගවිනිසුරුවරයාගේ පුත්‍රයා සම්බන්ධ දේපළ ගනුදෙනුවකි.

එම වෙබ් අඩවිය අනුව 2026 ජනවාරි 12 වැනිදා අගවිනිසුරුවරයාගේ පුත් දමිතු එරන්ද සූරසේන මෙම මහල් නිවාස ගනුදෙනුව සිදුකර තිබේ.

‘Fair Comment’ ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව මෙම ගනුදෙනුව 2026 ජනවාරි 12 දිනැති අංක 078 දරණ පැවරුම් ඔප්පුවක් (Deed of Transfer No. 078) මගින් සිදුව ඇත. එය කොළඹ නොතාරිස් පී. ඒ. දිනිති පානම්ගම විසින් සහතික කර ඇති බවද, කොළඹ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ‘CON E 212/22 and 24’ යන යොමුව යටතේ ලියාපදිංචි කර ඇති බවද ‘Fair Comment’ වාර්තා කරයි.

එහි Assessment Number ලෙස ’64 12/6′ සඳහන් වන අතර දේපළ ‘The Grand’ හි 12 වැනි මහලේ පිහිටි ‘Condominium Parcel CPF12P6’ ලෙසත්, ඒ සමඟ Accessory Parcel ACP L3-36 සම්බන්ධ වන බවත් එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කළ ඔප්පු තොරතුරුවල සඳහන් වේ.

මහල් නිවාසයේ වර්ග ප්‍රමාණය වර්ග මීටර් 133.78ක් වන අතර එය ආසන්න වශයෙන් වර්ග අඩි 1,440ක් පමණය. ඔප්පුවේ සඳහන් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 125ක් වන අතර Fair Comment පවසන පරිදි එහි විකුණුම්කරු වන්නේ The Grand ව්‍යාපෘතිය ඉදිකළ Prime Lands Company Limited සමාගමයි.

මෙහිදී Fair Comment මතුකරන වැදගත් සම්බන්ධතාවයක් තිබේ. The Grand ඉදිකළ Prime Lands සමාගමේ Ward Place ව්‍යාපෘතියට අදාළ නඩුවක් පසුගිය 2017දී අභියාචනාධිකරණය හමුවේ විභාග වී ඇති අතර එම අවස්ථාවේ එම විනිසුරු මඬුල්ලේ එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ ප්‍රීති පද්මන් සූරසේන ද සිට ඇති බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

Ward Place ප්‍රදේශවාසීන් විසින් ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කළ එම නීතිමය අභියෝගය එම නඩුවේදී සාර්ථක නොවූ අතර ඒ අනුව ව්‍යාපෘතිය ඉදිරියට ගොස් ඇත. ඉන් වසර නවයකට ආසන්න කාලයකට පසු ඔහුගේ පුත්‍රයා එම ව්‍යාපෘතියේම මහල් නිවාසයක් මිලදී ගැනීමේ ගනුදෙනුවක් සිදුකිරීම ප්‍රශ්නකාරී බව ප්‍රකාශ කරන එම වෙබ් අඩවිය එය අභිලාෂයන් අතර ගැටුමක් නිර්මානය කරන බව ද ප්‍රකාශ කරමින් ඔවුන් එය ප්‍රශ්න කරයි.

එහෙත් එම කරුණු දෙක අතර නීතිවිරෝධී සම්බන්ධයක් තිබූ බව මෙතෙක් අධිකරණයකින් හෝ නිසි විමර්ශනයකින් තහවුරු කර නැති බවද අවධාරණය කළ යුතුය. එම කරුණ මේ වනවිට අල්ලස් කොමිසම හමුවේ තිබෙන ප්‍රශ්නයක් බවද වාර්තා වෙයි.

 the grand knews
The Grand

රුපියල් මිලියන 80ක උකස සහ මිලියන 45ක ප්‍රශ්නය

මෙම දේපළ ගනුදෙනුව සම්බන්ධයෙන් Fair Comment වෙබ් අඩවිය මතුකරන ඊළඟ ප්‍රශ්නය වන්නේ එය මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය කුමක්ද යන්නයි. එම වෙබ් අඩවිය ලබාගත් බව කියන, 2026 සැප්තැම්බර් 6දා කොළඹ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් අත්සන් කර මුද්‍රා තබන ලද සහතික කළ උපුටනය අනුව දේපළ සඳහා Commercial Bank of Ceylon වෙතින් රුපියල් මිලියන 80ක උකස් ණයක් ලබාගෙන තිබේ.

එම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 125ක් නම්, එම රු. මිලියන 125ක මුදලින් රු. මිලියන 80ක මුදලක් මෙසේ බැකුව හරහා ලබාගත්තේ නම් ඉතිරි මුදල වන රු. මිලියන 45ක් සොයා ගත් ආකාරය ප්‍රකාශ කළ යුතු බව එම වෙබ් අඩවිය අවධාරණය කරයි. එම මුදලේ මූලාශ්‍රය කුමක්ද යන්න එම වෙබ් අඩවිය අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ප්‍රධාන ප්‍රශ්නයකි. එයට පිළිතුරු ලබාදීම අගවිනිසුරු පාර්ශවයේ වැඩක් ය.

මාස දෙකකට පසු නිවස කුලියට

2026 ජනවාරි 12දා දේපළ මිලදී ගැනීමෙන් දින 61කට පමණ පසු, එනම් 2026 මාර්තු 14දා, එම මහල් නිවාසය වසර දෙකක කාලයකට බදු දී ඇති බව Fair Comment ලබාගත් ලේඛනවල සඳහන් බව එම වෙබ් අඩවිය ප්‍රකාශ කරන අතර එහි මාසික කුලිය මාසික කුලිය රුපියල් 525,000ක් බවත් ඒ අනුව වසරකට ලැබෙන දළ කුලී ආදායම රුපියල් මිලියන 6.3ක් පමණක් වෙන බවත් ඔවුන් අවධාරණය කරයි.

Fair Comment තම ගණනය කිරීමේදී රුපියල් මිලියන 80ක දේපළ ණයක මාසික වාරිකය ශ්‍රී ලංකාවේ ආයෝජන දේපළ සඳහා අදාළ විය හැකි පොලී අනුපාත මත රුපියල් 800,000ත් මිලියනයත් අතර විය හැකි බව උපකල්පනය කරන අතර එසේ නම් මාසික රුපියල් 525,000ක කුලියෙන් පමණක් ණය වාරිකය ගෙවිය නොහැකි බවත්, වසරකට තවත් රුපියල් මිලියන 3.5ත් 6ත් අතර මුදලක් වෙනත් මූලාශ්‍රයකින් සැපයීමට සිදුවිය හැකි බවත් අවධාරණය කරයි.

මෙය Fair Comment විසින් සිදුකරන ලද ඇස්තමේන්තුවකි. බැංකු ණය ගිවිසුමේ සැබෑ පොලී අනුපාතය, ණය කාලය සහ අනෙකුත් කොන්දේසි ප්‍රසිද්ධව තහවුරු නොවී ඇති බැවින් සැබෑ මාසික වාරිකය මෙයින් නිශ්චිතව තහවුරු කළ නොහැකි බවද එයද අල්ලස් කොමිසමට සොයා බැලිය හැකිය.

අගවිනිසුරුවරයාගේ වත්කම් ප්‍රකාශය

මෙම ප්‍රශ්නය තවත් බරපතළ කරමින් Fair Comment සඳහන් කරන්නේ අගවිනිසුරුවරයාගේ වත්කම් ප්‍රකාශනය අනුව ඔහුගේ පෞද්ගලික වත්කම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 13ක පමණ මට්ටමක පවතින බවයි. එම වත්කම්වලින් සැලකිය යුතු කොටසක් පවුලෙන් උරුම වූ දේපළ බවද එම වෙබ් අඩවිය සඳහන් කරන අතර ඒ අනුව පියාගේ ප්‍රකාශිත වත්කම් රුපියල් මිලියන 13ක් පමණ වන පසුබිමක තරුණ නීතිඥයකු වන පුත්‍රයා සම්බන්ධ රුපියල් මිලියන 125ක දේපළ ගනුදෙනුවකට රුපියල් මිලියන 45ක මුල් මුදලක් සහ රුපියල් මිලියන 80ක බැංකු ණයක් සම්බන්ධ වූයේ කෙසේද යන්න පැහැදිලි කළ යුතු බව Fair Comment තර්ක කරයි. එයම නීතිවිරෝධී මුදල් උපයා ගැනීමක් බවට සාක්ෂියක් නොවන නමුත් මුදල් මූලාශ්‍ර නිසි රාජ්‍ය ආයතන මගින් පරීක්ෂා කළ යුතු බව එම වෙබ් අඩවියේ ස්ථාවරයයි.

බදු සහන සහිත වාහන බලපත්‍රය

අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් Fair Comment ඉදිරිපත් කරන තවත් බරපතළ චෝදනාවක් වන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ට ලබාදුන් සහනදායී වාහන ආනයන බලපත්‍රයක් අවභාවිත කර ඇති බවට වූ කරුණුය. Fair Comment අනුව 2019දී රජය විසින් ඇතැම් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට සාමාන්‍ය වාහන ආනයනයකදී ගෙවිය යුතු බදු ප්‍රමාණයට වඩා සැලකිය යුතු බදු සහනයක් සහිතව වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.

එම වෙබ් අඩවිය පවසන්නේ එම සහනයේ අරමුණ විනිසුරුවරයාගේ පෞද්ගලික භාවිතය සඳහා වාහනයක් ලබාදීම බවත්, එම වාහනය වසර තුනක් ඇතුළත විකිණීම හෝ පැවරීම නොකළ යුතු බවට කොන්දේසියකට යටත්ව එම ලබාදීම සිදුකර ඇති බවත් ය.

එහෙත් Fair Comment විසින් ලබාගත් බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2026 සැප්තැම්බර් 11 දිනැති සහතික කළ Vehicle Report එකක් මෙහි ප්‍රධාන ලේඛනගත මූලාශ්‍රය ලෙස ඉදිරිපත් කරමින් ඔවුන් තර්ක කරන්නේ 2019 නොවැම්බර් 28දා, එවකට විනිසුරුවරයකු වූ ප්‍රීති පද්මන් සූරසේන මෙම සහනදායී බලපත්‍රය යටතේ Honda වර්ගයේ ආසන හයක station wagon රථයක් ආනයනය කර 2019 නොවැම්බර් 28දාම එම වාහනය ශ්‍රී ලංකාවේ පළමු වරට ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නමට ලියාපදිංචි කර පසුව එදිනම එම වාහනයේ ලියාපදිංචිය වෙනත් කාන්තාවක පවරා ඇති බවයි. එම කාන්තාව කොල්ලුපිටිය ප්‍රදේශයට සම්බන්ධ පුද්ගලයකු ලෙස Fair Comment හඳුන්වන අතර, ඇය වාහනය මිලදී ගැනීම සඳහා Hatton National Bank මගින් මූල්‍ය පහසුකමක් ලබාගෙන ඇති බවද ප්‍රකාශ කරයි.

ඒ අනුව Fair Comment මතුකරන ප්‍රශ්නය බරපතළ ප්‍රශ්නයක් ය. විනිසුරුවරයාගේ පෞද්ගලික භාවිතය සඳහා බදු සහනයක් මත ලබාදුන් වාහනයක් වසර තුනක් විකිණීමට හෝ පැවරීමට නොහැකි කොන්දේසියකට යටත්ව තිබුණේ නම්, එය ඔහුගේ නමට ලියාපදිංචි කළ එදිනම වෙනත් පුද්ගලයකුට පැවරීම නීතියට පටහැනි නොවන්නේද යන්න ඔවුන් ඉදිරිපත් කරන බරපතළ ප්‍රශ්නයයි.

Fair Comment කරන බරපතළ අර්ථකථනය

මෙහිදී Fair Comment තවත් පියවරක් ඉදිරියට ගොස් මෙම සිදුවීම පිළිබඳ දැඩි අර්ථකථනයක් ද ඉදිරිපත් කරයි. වාහනය කලක් විනිසුරුවරයා විසින් භාවිත කර පසුව තත්ත්වය වෙනස්වීම නිසා විකුණා දැමීමක් මෙහි සිදුවී නැති බව ද පළමු ලියාපදිංචිය සහ පැවරීම එකම දිනයේ සිදුවී ඇත්නම්, වාහනය පැවරීම සම්බන්ධ සැලසුම වාහනය මෙරටට පැමිණීමට පෙර හෝ අවම වශයෙන් ලියාපදිංචියට පෙර තිබුණේද යන්න විමර්ශනය කළ යුතු බව ඔවුන්ගේ තර්කය යි. බදු සහනයක් ලබාදීමේ රාජ්‍යයේ අරමුණ විනිසුරුවරයාගේ පෞද්ගලික භාවිතය නම්, එම සහනය වෙනත් පුද්ගලයකුට වාහනය ලබාදීම සඳහා යොදාගෙන තිබේ නම්, ඒ හරහා රජයට ලැබිය යුතු බදු ආදායම අහිමිවී ඇතැයි තර්ක කරයි. ‘Guilty as Charged!’ ලිපියේ දී Fair Comment වෙබ් අඩවිය මෙය රාජ්‍ය භාණ්ඩාගාරයට සිදුවූ වංචාවක් ලෙස අර්ථකථනය කරයි.

x press pearl knews
X-Press Pearl

X-Press Pearl වන්දි විනිසුරු මඬුල්ල

මෙහිදී වර්තමාන අගවිනිසුරුවරයාට චෝදනා රැසක් එල්ලකරන මෙම වෙබ් අඩවිය X-Press Pearl නෞකා ව්‍යසනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතුකරයි. එහි සඳහන් වන ආකාරයට 2025 ජූලි 24දා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් වන්දි ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා විනිසුරුවන් පස්දෙනකුගෙන් යුත් මඬුල්ලක් පවත්වාගෙන යාමට නියම වී තිබිණි. නමුත් 2026 ජනවාරි 26දා, එනම් පුත්‍රයා සම්බන්ධ The Grand දේපළ ගනුදෙනුවෙන් දින 14කට පසු, අගවිනිසුරුවරයා එම විනිසුරු මඬුල්ල පස්දෙනකුගේ සිට තිදෙනකු දක්වා අඩු කළ බව Fair Comment ප්‍රකාශ කරයි. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ, මෙම වෙනසට ප්‍රසිද්ධියේ හේතුවක් දක්වා නැති බවත්, වන්දි ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඇති ගැටලු සමඟ මෙම තීරණයට පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ය. මෙහිදී දේපළ ගනුදෙනුව සහ X-Press Pearl විනිසුරු මඬුල්ල වෙනස් කිරීම අතර කාලානුක්‍රමික සමීපතාවයක් තිබීම පමණක් එම සිදුවීම් දෙක අතර හේතුමය හෝ නීතිවිරෝධී සම්බන්ධයක් තහවුරු නොකරන බවද අවධාරණය කළ යුතුය. එයද අල්ලස් කොමිසමට භාර කටයුත්තක් ය.

22 වැනි සංශෝධනය සහ අගවිනිසුරුවරයාගේම ධුර කාලය

Fair Comment හි තවත් දැඩි විවේචනයක් එල්ල වන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පෙත්සම් විභාගයටය. ඔවුන් පවසන ආකාරයට යෝජිත සංශෝධනයෙන් වර්තමාන අගවිනිසුරුවරයාගේ ධුර කාලය මාස 24කින් දීර්ඝ වන තත්ත්වයක් ඇතිවෙයි. එවැනි පෞද්ගලික ප්‍රතිලාභයක් ලෙස පෙනී යන කරුණක් සම්බන්ධ නඩු විභාගයක අගවිනිසුරුවරයාම විනිසුරු මඬුල්ලේ ප්‍රධානත්වය දැරීම ඔවුන් ප්‍රශ්න කරයි.

Fair Comment අනුව සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලා තිබුණද පස්දෙනකුගෙන් යුත් මඬුල්ලක් පත්කර තිබේ. එහි අනෙක් විනිසුරුවන් තෝරාගැනීමේදී ජ්‍යෙෂ්ඨත්ව අනුපිළිවෙළෙන් ඉහළ විනිසුරුවන් කිහිපදෙනකු ඉක්මවා ගොස් ඇති බවත්, සම්පූර්ණ මඬුල්ලක් ඉල්ලා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් එම වෙබ් අඩවිය වාර්තා කරයි. Commonwealth Lawyers Association සභාපති Stephen Thiru මෙම නඩු විභාගය නිරීක්ෂණය කර තිබූ අතර අගවිනිසුරුවරයා මෙම නඩුවෙන් ඉවත්වීම යෝග්‍ය විය හැකි බවට ඔහු අදහස් දැක්වූ බවද Fair Comment වාර්තා කරයි.

පුත්‍රයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට පෙනී සිටීම

Fair Comment මතුකරන තවත් ආචාරධාර්මික ප්‍රශ්නයක් වන්නේ අගවිනිසුරුවරයාගේ පුත්‍රයන් නීතිඥයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට පෙනී සිටීමයි. අගවිනිසුරුවරයා එම පුතුන් පෙනී සිටින නඩුවලින් ඉවත්වන බව එම වෙබ් අඩවියම පිළිගනී. එහෙත් ඔවුන්ගේ තර්කය වන්නේ ගැටලුව එතැනින් අවසන් නොවන බවය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පරිපාලනය සහ විනිසුරු මඬුලු සැකසීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට ඇති බලතල නිසා ඔහුගේ පුත්‍රයන් එම අධිකරණයේම නීතිඥයන් ලෙස පෙනී සිටීම ‘සාධාරණත්වය පෙනී යාම’ පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරන බව එම වෙබ් අඩවියේ අදහසයි.

Fair Comment තවත් චෝදනාවක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විනිසුරු මඬුලුවලට වෙන් කිරීම සහ විනිසුරු මඬුලු සංයුතිය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගේ බලය භාවිත කර ඇති ආකාරය පිළිබඳ නීතිඥයන්ගෙන් තමන්ට චෝදනා ලැබී ඇති බව සඳහන් කරයි. කෙසේ වෙතත් Fair Commentම සඳහන් කරන්නේ මෙම චෝදනාව සම්බන්ධයෙන් තම විමර්ශනය තවමත් සිදුවන බවත් සම්පූර්ණ ලේඛනගත තහවුරු කිරීම පසුව ප්‍රසිද්ධ කිරීමට නියමිත බවත්ය. එබැවින් මෙම කරුණ මේ අවස්ථාවේදී තහවුරු නොකළ චෝදනාවක් ලෙස සැලකිය යුතුය.

අගවිනිසුරුවරයාගෙන් පිළිතුරු ඉල්ලා තිබුණාද?

මෙම ලිපි මාලාවේ නැවත නැවත මතුවන තවත් වැදගත් කරුණක් වන්නේ අගවිනිසුරුවරයාට පිළිතුරු ලබාදීමට අවස්ථාව ලබාදුන් බවට Fair Comment කරන ප්‍රකාශයයි. එම වෙබ් අඩවිය පවසන්නේ 2026 අගෝස්තු 30, සැප්තැම්බර් 7 සහ සැප්තැම්බර් 11 යන දිනවල අගවිනිසුරුවරයාට ලිඛිතව ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබාදුන් බවත්, සැප්තැම්බර් 14දා ‘Guilty as Charged!’ ලිපිය පළකරන අවස්ථාව වනවිට පිළිතුරක් නොලැබුණු බවත්ය.

එමෙන්ම 2026 අගෝස්තු 31, සැප්තැම්බර් 7 සහ සැප්තැම්බර් 11 යන දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි තුනක් ඉදිරිපත් කළ බවද Fair Comment පවසයි. එහෙත් පිළිතුරු නොදීම වරදක් සිදුකළ බවට සාක්ෂියක් නොවේ. එය මෙම චෝදනා තක්සේරු කිරීමේදී වෙනම කරුණක් ලෙස පමණක් සැලකිය යුතුය.

අවසානයේ ඉතිරිවන ප්‍රශ්න

Fair Comment විසින් ඉදිරිපත් කර ඇති කරුණු එකට තැබූ විට ප්‍රධාන වශයෙන් ස්වාධීන තහවුරු කිරීමක් අවශ්‍ය ප්‍රශ්න කිහිපයක් ඉතිරි වේ.
The Grand දේපළ මිලදී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් මිලියන 45ක මුදලේ මූලාශ්‍රය කුමක්ද? රුපියල් මිලියන 80ක ණය සඳහා බැංකුව අනුමත කළ සැබෑ කොන්දේසි මොනවාද? 2019 වාහන බලපත්‍රයේ සැබෑ පැවරීමේ කොන්දේසි මොනවාද? පළමු ලියාපදිංචිය සිදුකළ දිනයේම වාහනය වෙනත් පුද්ගලයකුට පැවරී තිබේ නම් එයට නීතිමය අවසරයක් තිබුණේද? අදාළ බදු ගෙවා තිබුණේද? X-Press Pearl විනිසුරු මඬුල්ල පස්දෙනකුගේ සිට තිදෙනකු දක්වා වෙනස් කිරීමට හේතුව කුමක්ද? 22 වැනි සංශෝධනය පිළිබඳ නඩුවේදී අගවිනිසුරුවරයා ඉවත් නොවීම සම්බන්ධයෙන් පවතින ආචාරධාර්මික ප්‍රශ්නයට පිළිතුර කුමක්ද? මේවාට අවසන් පිළිතුරු ලබාදිය හැක්කේ ස්වාධීන පරීක්ෂණ, නිල ලේඛන සහ අදාළ පාර්ශ්වයන්ගේ පිළිතුරු මගිනි.

එබැවින් Fair Comment විසින් ප්‍රසිද්ධ කර ඇති ඉඩම් ලියාපදිංචි ලේඛන, වාහන ලියාපදිංචි වාර්තාව, වත්කම් ප්‍රකාශන, අධිකරණ තීන්දු සහ අනෙකුත් ලේඛන නිසි බලධාරීන් විසින් ස්වාධීනව පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් මෙම චෝදනාවල නීතිමය සත්‍යතාව පිළිබඳ අවසන් නිගමනයකට පැමිණිය හැකිය. එතෙක් පවතින්නේ බරපතළ ප්‍රශ්න මාලාවකි. ඒවාට විශ්වාසදායක පිළිතුරු ලබාගැනීම පුද්ගලයකු සම්බන්ධ කාරණයක් පමණක් නොව, මහජන විශ්වාසය මත රඳා පවතින අධිකරණ පද්ධතියේ විනිවිදභාවය සහ ස්වාධීනත්වය සම්බන්ධ කාරණයකි.

මූලාශ්‍රය – Fair Comment වෙබ් අඩවියේ Your Lordship, You’re Not the Lord!, Lord Preethi Padman Surasena! My God…, Checkmate, Judge, Guilty as Charged! සහ අදාළව පළකර ඇති දේපළ හා ලේඛන පිළිබඳ වාර්තා.

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍ය අනුග්‍රහය මතය. මෙය කියවන ඔබට අපට යම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට අවැසි බව හැඟෙන්නේ නම් පහත සබැඳියෙන් ඒ සඳහා පිවිස අපහට උදව් කළ හැකිය.
This website is sustained by the financial support of our readers. If you feel that the work we do is worth supporting, you can make a financial contribution through the link below. Your support will help us continue our work.

buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...