2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන් දේවස්ථානයට යන්නට පුලුවන්. ඉතිං එදින උදෙන්ම කොළඹ එන්න පාරට බැහැපු මම මඟට පයින් එනකොට තමයි මහා ශබ්දයක් ඇසුනේ. මට වගේම මම ආපු මඟ බොහෝ අය කුසුකුසු ගාපු ශබ්දයක් ඒක. ඒක ඒතරම් අමුතු ශබ්දයක්. කිඹුලාපිටිය ආසන්න මේ ගම්වලට වෙඩි ශබ්ද කියන්නේ එහෙම අමුතු දේවල් නෙවෙයි ඒත් ගොඩක් අයට මේ ශබ්දය ටිකක් අමුතු වුණා. කොහොමහරි බස් එකක නැඟලා මීගමුව බස් ස්ටෑන්ඩ් එකට එනකොට බස් ස්ටෑන්ඩ් එකේ එල්ලපු රූපවාහිනී ඉස්සරහා මිනිස්සු පොදිකනවා ඒ අස්සේ මීගමුවේ ටවුන් එකේ මහා කබගෑනියක්. මම අපේ මීගමු මිතුරන් වුණ මැක්සි (දැන් ජීවතුන් අතරේ නෑ) සහ විජේන්ද්රන්ට කතා කළා. අවසානයේ අපි තුන්දෙනා කටුවාපිටිය දේවස්ථාන භූමියට ආවා. ඒ එනකොටත් තුවාලකරුවන් රෝහල්වලට ගෙනයමින් කඩිගුල ඇහැරිලා. මිනිස් අදෝනා හඬ අස්සෙන්ම මමයි විජෙයි මැක්සියි පල්ලිය අස්සට ගියා ඇතුලට යනකොට ඒ දිසාව භාරව ඒ කාලේ වැඩකරපු අපේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හිටියා. ඔහුටත් මේක හිතාගන්න බෑ. මම දේවස්ථානයේ දකුණු පැත්තෙන් ඉස්සරහට ගිහිං ඒ පැත්තේ ඇරලා තිබුණ පැති දොරෙන් ඇතුලට එඹුනා. ඒක ජීවිතේ මැරෙනකම් අමතක නොවෙන දසුනක්. ඔව් ඒක තවමත් මට මැවිලා පේනවා.
බොහෝ මිනිසුන් ගැහැණුන් යාතිකා ඉරියව්වෙන්ම සීරුවට හිඳගෙන මරණය වැළඳගෙන හිටියා. තවත් අය පුටු උඩට ඇදි උඩට වීසිවෙලා එල්ලිලා වගේ හිටියා. ඒක කොහොම විස්තර කරන්නද?
ඉතිං මේ මේලේච්ච සහාසික ප්‍රහාරය සිද්ධවෙලා දැන් විශාල කාලයක්. ලංකා රාජ්‍යයම වෙනස් කරපු ප්‍රහාරයක් මේක. ලංකා රාජ්‍යයේ පදනමම සොලවා දමපු තවත් දශක ගණනකට ගැළවෙන්නට බැරි මොහොතක පටලවපු සිදුවීමක් මේක. ඉතිං මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් වසර හතකට වැඩි කාලයකට පස්සේ, හෙට මේ ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ බවට චෝදනා ලැබූ පිරිසකට එරෙහි ප්‍රධානතම අපරාධ නඩුවේ තීන්දුව කියවෙන්නට නියමිතයි.
HC (TAB) 2972/21
ඉතිං HC (TAB) 2972/21 ලෙස හඳුන්වන මෙම නඩුවේ තීන්දුව 2026 සැප්තැම්බර් 22 දා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වර්තමාන විනිසුරු මඬුල්ල වෙන්නේ, නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරුවරුන්. මෙම නඩුවට අදාළව නීතිපතිවරයා මුලින් විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව අධිචෝදනා 23,270ක් ගොනු කළා. ප්‍රධාන චෝදනා අතර පාස්කු ප්‍රහාරය සඳහා කුමන්ත්‍රණය කිරීම, මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ට ආධාර හා අනුබල ලබාදීම, මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම, අවි හා පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි මේ චෝදනාවලියට ඇතුළත්.
විත්තිකරුවන් අතර ප්‍රධාන නම මොහොමඩ් ඉබ්රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි. ඔහු සහරාන්ට අන්තවාදයේ වෙලෙන්න ප්‍රධාන උත්පේරකය වුණ පුද්ගලයා සේ තමයි ගනන් ගැනෙන්නේ. ඔහු සමඟ මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ, හයාතු මොහොමඩ් මිල්හාන්, මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා, මොහොමඩ් ඉබ්රාහිම් අබ්දුල් හක්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් ඇතුළු 25 දෙනකු මුල් අධිචෝදනා පත්‍රයේ නම් කර තිබුණා. නමුත්17 වැනි විත්තිකරු වුණ මොහොමඩ් රයුෆ් බන්ධනාගාරගතව සිටියදී මියගිය බැවින් නඩුව අවසානයේ ඉදිරියට ගියේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිවයි. ඒ අනුව අධිචෝදනා පත්‍රයද සංශෝධනය කෙරුණා.
මහා සාක්ෂි ගොනුව
මෙම නඩුවේ විශාලත්වය තේරුම්ගත හැකි හොඳම ක්‍රමය එහි සාක්ෂි පද්ධතිය දෙස බැලීමයි. අවසානයේ අධිකරණය හමුවේ නඩු භාණ්ඩ සහ ලේඛනමය සාක්ෂි 2,076ක් පමණ ලකුණු කර තිබුණා. ඒ අතර සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය, බෝම්බ හා බෝම්බ නිෂ්පාදනයට යොදාගත හැකි රසායනික ද්‍රව්‍ය, කඩු, ගිනිඅවි, විද්‍යුත් පරිපථ හා උපකරණ වගේම රජයේ රස පරීක්ෂක වාර්තා, DNA වාර්තා, අධිකරණ වෛද්‍ය වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ ඩිජිටල් සාක්ෂි ඇතුළත්.
CCTV දර්ශනද නඩුවේ වැදගත් කොටසක් වුණා. ප්රහාරකයන්ගේ ගමන් මාර්ග සහ ඔවුන් ප්‍රහාර ස්ථානවලට පැමිණීම සම්බන්ධ CCTV සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණා. ඊට අමතරව විත්තිකරුවන් ලබාදුන් බව කියන පාපොච්චාරණ ප්‍රකාශ පිළිබඳ වෙනම voir dire පරීක්ෂණ පැවැත්වුණේ ඒවා ස්වේච්ඡාවෙන් ලබාදුන්නේද යන්න තීරණය කිරීමට. අවසානයේ පාපොච්චාරණ ප්‍රකාශ 10ක් සාක්ෂි ලෙස පිළිගැනීමට අධිකරණය කටයුතු කළ බව වාර්තා වෙනවා. සමහර ප්‍රකාශ සම්බන්ධයෙන් විත්තිය බලහත්කාරය සහ ස්වේච්ඡාභාවය පිළිබඳ ප්‍රශ්න මතු කළ අතර අවම වශයෙන් එක් ප්‍රකාශයක් ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් නොවන බව තීරණය කර ඉවත් කර තිබුණා. මෙහෙම බැලුවාම සැප්තැම්බර් 22 තීන්දුවේ මූලික ප්රශ්නය වන්නේ බෝම්බ පිපිරුණේද යන්න නොවේ. ඒවා පිපිරවූ ජාලය සමඟ මේ විත්තිකරුවන් එක් එක් අය නීතියෙන් වරදකරු කළ හැකි තරම් සම්බන්ධ කළ හැකිද යන්න තමයි මේ තීන්දුවේදී සලකා බලනු ඇත්තේ.
පැමිණිල්ල වෙනුවෙන් මුලින් දහස් ගණනක සාක්ෂිකරුවන් නම් කර තිබුණත් පසුව මරණ හා තුවාල ඇතුළු කරුණු ගණනාවක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ පිළිගැනීම් මගින් තහවුරු කරගැනීම නිසා සෑම වින්දිතයකුම අධිකරණයට කැඳවීමේ අවශ්‍යතාව අඩුවුණා. මෑත නඩු වාර්තාවලට අනුව අවසානයේ කැඳවා සාක්ෂි ලබාගත් සංඛ්‍යාව 547ක් විදිහට තමයි සඳහන් වෙන්නේ.
2026 අප්‍රේල් මාසයේදී කටුවාපිටිය ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පිරිසකගේ සාක්ෂි Zoom තාක්ෂණය ඔස්සේ කටුවාපිටිය නගර ශාලාවේ සිට ලබාගැනීම සිදුවෙලා තිබුණා. ඒවා තමයි මේ නඩුවේ සුවිශේෂ කරුණු වෙන්නේ. ඇතැම් සිවිල් සාක්ෂිකරුවන්ගේ නම් සහ ලිපින ප්‍රසිද්ධ කිරීම ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට කරුණු ඉදිරිපත් වුණ නිසා එවැනි පෞද්ගලික තොරතුරු පළ නොකරන ලෙස අධිකරණය මාධ්‍යයට නියෝග කළා.
නඩුව වසර ගණනක් ගියේ ඇයි?
මෙම නඩුවේ අධිචෝදනා 2021 ඔක්තෝබර් 4 දා විත්තිකරුවන්ට භාරදීම ආරම්භ කෙරුණා. එහෙත් අධිචෝදනා 23,270ක දැවැන්ත ලේඛනය සිංහලෙන් පමණක් කියවා ඉදිරියට යාම ප්‍රායෝගික හෝ සාධාරණ නොවුන නිසා සහ විත්තිකරුවන් බොහෝ දෙනකු දෙමළ භාෂාව භාවිත කළ නිසා අධිචෝදනා දෙමළට පරිවර්තනය කිරීම අවශ්‍යම දෙයක් වුණා. ඊළඟ ගැටලුව දෙමළ භාෂාව දන්නා නීතිඥයන් ප්‍රමාණවත් නොවීම. ඒකට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැදිහත්ව දෙමළ භාෂාව දන්නා නීතිඥයන් නව දෙනකු පත්කිරීමටද කටයුතු කර තිබුණා. COVID-19 වසංගතයත් මේ මුල් අදියරේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බලපෑම් කළා. 2021දී එක් විත්තිකරුවකු COVID ආසාදිත වීම නිසා අධිකරණයට ඉදිරිපත් නොකළ අවස්ථාවක්ද තිබුණා.
නඩුවේ මුල්ම විශාල අභියෝගය ත්‍රස්තවාදය පිළිබඳ සාක්ෂි පමණක් නොවුණ අතරේ විත්තිකරුවන් 25 දෙනකු, අධිචෝදනා 23,270ක්, භාෂා තුනක්, නීතිඥ නියෝජනය සහ දහස් ගණනක සාක්ෂි සහ නඩු භාණ්ඩ යන මේ සියල්ල සාධාරණ නඩු විභාගයකට ගෙන ඒම දැවැන්ත අධිකරණමය කාර්යයක් සහ අභියෝගයක් වුණා. ලංකාවේ යුක්තිය පසිඳලීමේ ආයතන ඒ අභියෝගය ජයගත්තා කියලා හිතන්න පුළුවන්.
නඩුව 2023 ඔක්තෝබර් 10 දවසේ ඉදලා සාක්ෂි විභාගයට අරගෙන වේගවත්ව ඉදිරියට ධාවනය කළා. පසුකාලීනව සතියේ දින පහක් දක්වා නඩුව කැඳවූ අවස්ථාද තිබිණා. දිගු වේලාවක් අඛණ්ඩව පෙනී සිටීමේ අපහසුතා මත විත්තිකරුවන් ගණනාවක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් 2026 පෙබරවාරි මාසයේදී ඉවත්වූ බවත් වාර්තා වෙන්නේ මෙන්න මේ නිසා.
විනිසුරු මඬුල්ලත් වෙනස් වුණා
2021දී මෙම නඩුව සඳහා පත්කළ මුල් Trial-at-Bar විනිසුරු මඬුල්ල වූයේ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ. නඩුවේ දීර්ඝ ගමන තුළ මඬුල්ලේ සංයුතිය වෙනස් වුණා. තීන්දුව ලබාදීමට නියමිත වර්තමාන විනිසුරු මඬුල්ල වෙන්නේ, නවරත්න මාරසිංහගේ ප්‍රධානත්වයෙන් සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන්.
2026 අගෝස්තු 13 වෙනකොට පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වුණා. ඉන්පසු අධිකරණය විත්තිකරුවන්ගෙන් විත්තිවාචක කැඳවීමට ප්‍රමාණවත් prima facie පදනමක් ඇතැයි තීරණය කළා. 2026 අගෝස්තු 17 ඉදලා විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම ආරම්භ වුණා. බොහෝ විත්තිකරුවන් dock statements ලබාදෙමින් තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කළා. නවුෆර් මවුලවි තමන් සහරාන් ඇතුළු පිරිස හඳුනාගෙන සිටි බවත් NTJ කටයුතු සහ දේශනවලට සම්බන්ධ වූ බව පිළිගත්තත් මරාගෙන මැරෙන ප්‍රහාර හෝ මිනීමැරුම් සඳහා දේශනා නොකළ බව තමයි කියාහිටියේ.
විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් 35 දෙනකු පමණ සාක්ෂි දුන්නා. විත්තිකරුවන් 23 දෙනෙක් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කළ බවත් වාර්තා වෙනවා. විත්ති පාර්ශ්වයේ සාක්ෂි අගෝස්තු 24 වනවිට අවසන් වුණාට පස්සේ ලිඛිත දේශන ගොනු කෙරුණා.
මේ නඩුවෙන් හෙට ලැබෙන්නේ කුමන ආකාරයේ පිළිතුරක් ද?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනත් නඩු ගණනාවක් තිබෙනවා. සමහර නඩුකරයන්වලට දැන් වෙනකොට තීන්දු ලැබිලා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් රාජකාරි පැහැරහැරීමේ නඩුද, ප්‍රහාරයට පෙර සහ පසු සිදුවීම් සම්බන්ධයෙන් වෙනත් අධිචෝදනාද ගොනු වෙලා තිබෙනවා. 2024 වනවිට පාස්කු ප්‍රහාර හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ අධිචෝදනා 43ක් විත්තිකරුවන් 93 දෙනකුට එරෙහිව ගොනු කර තිබෙනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුව කියනවා. ඒත් ඉතිං මේ HC (TAB) 2972/21 නඩුව වෙනස්.
මෙය ‘ප්‍රහාරය වළක්වා නොගත්තේ කවුද?’ යන ප්‍රශ්නයට පමණක් පිළිතුරු සොයන නඩුවක් නොවේ. ‘ප්‍රහාරක ජාලය කුමක්ද, එයට සම්බන්ධ වූයේ කවුද, ඔවුන්ගේ සම්බන්ධතාව නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකිද?’ යන ප්‍රශ්න අධිකරණය ඉදිරියේ තැබූ ප්‍රධාන අපරාධ නඩුව තමයි මේක. එහෙත් සැප්තැම්බර් 22 තීන්දුවෙන් පාස්කු ප්‍රහාරය වටා ඇති සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි සත්‍ය දැනගන්නට ලැබෙයි කියන එක හිතන්න බෑ. දැන් දේවල් සිද්ධ වෙන ආකාරයට ඒක කොහොමත්ම වෙන්න විදිහක් නෑ.
ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවූයේ ඇයි? රාජ්‍ය ආයතන අතර වගකීම් පැහැරහැරුණේ කෙසේද? ප්රහාරකයන්ගේ සෘජු ජාලයෙන් පිටත තවත් බලපෑම් හෝ සම්බන්ධතා තිබුණේද යන මහජන විවාදයට ලක්වූ ප්‍රශ්න සියල්ල මෙම නඩුවේ 24 දෙනාගේ අපරාධ වගකීම තීරණය කිරීමේ සීමාවට අනිවාර්යයෙන්ම අයත් වෙන්නේ නෑ. ඒ නිසා අපි හෙට ලැබෙන තීන්දුව කියවාගන්න ඕනෑ මෙහි අවසානය විදිහට නෙවෙයි අලුත් ආරම්භයක් විදිහට.
වසර හතකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව පසුපස හඹා එන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ප්රශ්නයේ එක් මූලික කොටසකට,මෙයින් යම් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇති. ප්‍රහාරය වටා සිටි බවට චෝදනා ලැබූ පුද්ගලයන්ගේ අපරාධ වගකීම පිළිබඳව අධිකරණය ලබාදෙන පිළිතුරක් ඒක.
ඒත්.. පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සත්‍යය මේ තීන්දුවේ ලියවෙන එකක් නම් නෑ…!
-කේ. සංජීව-
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍ය අනුග්‍රහය මතය. මෙය කියවන ඔබට අපට යම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට අවැසි බව හැඟෙන්නේ නම් පහත සබැඳියෙන් ඒ සඳහා පිවිස අපහට උදව් කළ හැකිය.
This website is sustained by the financial support of our readers. If you feel that the work we do is worth supporting, you can make a financial contribution through the link below. Your support will help us continue our work.
buymeacoffee.com/knews.lk





