කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේහට දැන් රෝහලෙන් පිටව යා හැකි බව, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කමිටුවක් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත දැනුම් දී ඇතැයි ද ඒ අනුව ඔහු නැවතත් සීඅයිඩී භාරයට ගන්නා බව නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කරනු ලබන සීඅයිඩීය විසින් සුරේෂ් සලේ රඳවාගෙන ප්‍රශ්න කළ අතර ඒ අතරතුර කාලයේදී ඔහු ආහාර වර්ජනය කරමින් කටයුතු කිරීමත් සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර දීර්ඝ කාලයක් එහි රඳවාගෙන සත්කාර කරනු ලැබීය.
මෙසේ සුරේෂ් සලේ දීර්ඝ කාලයක් රඳවාගෙන ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පසුගිය දා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ගාමිණී ගලප්පත්ති, වෛද්‍ය එන්. එම්. පෙරේරා, වෛද්‍ය යමුනා සේනාධීර, වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය අනුප්රභා වික්‍රමසිංහ, වෛද්‍ය සුසිත් අමරසිංහ, වෛද්‍ය වරුනි සමරනායක, වෛද්‍ය ජානක අකරවිට, වෛද්‍ය මහේන් කොතලාවල, වෛද්‍ය අසංග ගුණතිලක යන වෛද්‍ය කමිටුව උසාවියට ගෙන්වා ප්‍රශ්න කිරීම සඳහා නොතීසි නිකුත් කරනු ලැබීය.




