K News

Trending Now

හම්බන්තොට සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ අර්බුදය පිටුපස ඉන්දියාව සිටියි ද?

හම්බන්තොට සිනොපෙක් ව්‍යාපෘතියේ අර්බුදය පිටුපස ඉන්දියාව සිටියි ද?

හම්බන්තොට ඉදිකිරීමට යෝජිතව තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් සිනොපෙක් සමාගමේ ප්‍රධාන ඉල්ලීම් 10ක් ප්‍රතික්ෂේප කිරීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. මෙම තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ ඉන්දියන් සාගරයේ භූ-දේශපාලනික බලතුලනය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කර ඇත.

අර්බුදයට තුඩු දුන් ප්‍රධාන ගැටලු සහ සිනොපෙක් සමාගමේ ඉල්ලීම්

ශ්‍රී ලංකා රජය සහ සිනොපෙක් සමාගම අතර එකඟතාවක් ඇති කරගැනීමට බාධා වූ ප්‍රධාන කරුණු මොනවාද?

බදු සහන සහ IMF කොන්දේසි – උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති යටතේ වසර 15 සිට 25 දක්වා කාලයක් සඳහා බදු සහන ලබා දෙන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිට ඇති අතර එහෙත් එම ඉල්ලීම ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් බිලියන 2.9ක IMF ණය වැඩසටහනේ දැඩි ආදායම් නීතිවලට සෘජුවම පටහැනි බව වාර්තා වෙයි.

භූමිය සහ සම්පත් පාලනය – අක්කර 700ක භූමියක් වසර 99ක බද්දකට ලබා ගැනීම සහ 1%ක රජයේ රාජ්‍යභාගය (Royalty) ගෙවීමෙන් නිදහස් වීම ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් වී ඇති අතර විශේෂයෙන්ම චීන පාලනය යටතේ පවතින හම්බන්තොට වරායට යාබදව තවත් අක්කර 200ක් ඉල්ලා සිටීම උග්‍ර ප්‍රශ්නයක් වී ඇත. දැනගන්නට ලැබෙන ආකාරයටන් මෙම ඉල්ලීම මෙම කමිටු බලධාරීන්ගේ දැඩි සැකයට තුඩුදී ඇත.

දේශීය වෙළෙඳපොළ ඒකාධිකාරය – දේශීය ඉන්ධන වෙළෙඳපොළෙන් 40%ක කොටසක් අත්පත් කරගැනීමට මෙහිදී සිනෝපෙක් උත්සාහ දරා ඇති අතර එය ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය විදේශීය රාජ්‍ය ව්‍යවසායක ග්‍රහණයට නතු කිරීමක් ලෙස කමිටුව විසින් හඳුනාගෙන ඊට සිය විරෝධය දක්වා එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

පාරිසරික නීති – දකුණු වෙරළ තීරයේ පරිසර පද්ධතිය සුරැකීම සඳහා අත්‍යවශ්‍ය වන දැඩි පාරිසරික බලපෑම් තක්සේරු (EIA) නිර්ණායක සපුරාලීමට සහ ඊට අදාළ පිරිවැය දැරීමට චීන සමාගම මෙහිදී සිය අකමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙන අතර එයද මෙම සාකච්ඡා තුළදී අවධානයට ලක්වී ඇත.

ඉන්දියානු මාධ්‍ය

මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමේ සම්භාවිතාව පිළිබඳව කතා කරන ඉන්දියානු මාධ්‍ය සහ ආරක්ෂක විශ්ලේෂකයින් ප්‍රකාශ කරන්නේ මෙම පුවත නවදිල්ලියට සහනයක් ගෙන දෙන පුවතක් බවය. ඉන්දියන් සාගරයේ ලොව කාර්යබහුලම මුහුදු මාර්ගයකට ආසන්නව පිහිටි හම්බන්තොට කලාපය තුළ චීනයේ ‘එක් තීරයක් – එක් මාවතක්’ (Belt and Road Initiative) ව්‍යාපෘතියේ ව්‍යාප්තිය පිළිබඳව ඉන්දියාව නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන අතර හම්බන්තොට වරාය චීනය සතුවීම ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් බවද නොරහසකි.

ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව, විදේශීය රාජ්‍ය සමාගමකට දේශීය බලශක්ති වෙළෙඳපොළේ ඒකාධිකාරයක් ලබා දීම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කිරීම, ඉන්දියාවේ ජාතික ආරක්ෂක කනස්සල්ල සමනය කිරීමට හේතු වී ඇත. ජාතික ජන බලවේග (NPP) රජයේ මෙම පියවර, කිසිදු ගෝලීය බලවතෙකුට පක්ෂපාතී නොවන “ශ්‍රී ලංකාවට මුල්තැන දෙන” (Sri Lanka-First) මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ලෙස ඉන්දියානු සහ බටහිර විචාරකයින් විසින් අගය කරනු ලබන්නේ මෙන්න මේ තත්ත්වය උඩය.

චීන මාධ්‍ය සිනොපෙක්

චීන මාධ්‍ය (Global Times වැනි) සහ රාජ්‍ය ආයතන, හම්බන්තොට වරාය සහ ආශ්‍රිත කලාපය සලකන්නේ සිය ජාත්‍යන්තර ඛනිජ තෙල් වෙළෙඳාමේ සහ නාවික සැපයුම් ජාලයේ ඉතා වැදගත් මර්මස්ථානයක් ලෙසය. ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට අනුව, සිනොපෙක් ආයෝජනය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලන ප්‍රධාන වාණිජ ව්‍යාපෘතියකි.

කෙසේ වෙතත්, වත්මන් ශ්‍රී ලංකා රජය විසින් දැඩි කොන්දේසි පැනවීම සහ ඉල්ලීම් 10ක් එකවර ප්‍රතික්ෂේප කිරීම, චීන රජය නියෝජනය කරන ව්‍යවසායන්ට (SOEs) ඉන්දියන් සාගර කලාපය තුළ සිය ආයෝජන ව්‍යාප්ත කිරීමේදී මතුවන භූ-දේශපාලනික සහ නියාමන අභියෝග මනාව පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස චීන මාධ්‍ය මෙය වාර්තා කරයි. චීනය මෙම තීරණය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආර්ථික තීරණයක් ලෙස බැලීමට උත්සාහ කළද, මෙය කලාපය තුළ චීන-ඉන්දියානු බල අරගලයේ තවත් එක් සන්ධිස්ථානයක් බව ජාත්‍යන්තර විශ්ලේෂකයින්ගේ මතයයි.

වර්තමාන ජාතික ජන බලවේග රජයේ මෙම තීරණයෙන් ගම්‍ය වන්නේ, විදේශ ආයෝජන කොතරම් විශාල වුවද, ඒවා ජාතික ආර්ථික සුරක්ෂිතභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ රාමුව සහ පාරිසරික අනුකූලතාවන්ට යටත්ව සිදු විය යුතු බවයි. එසේම වර්තමාන රජය ඉන්දියාව සහ ඇමරිකාව සමඟ මේ මොහොතේ කරමින් සිටින ගනුදෙනුවල තවත් එක් අවස්ථාවක් ලෙස අප මෙය විග්‍රහ කරගත යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *