K News

Trending Now

පාරට බැස්සාම ගෙදර එනකම් ෂුවර් නැති ‘පොදු ප්‍රවාහන කරුමය’

පොදු ප්‍රවාහන කරුමය

A9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධිය ආසන්නයේ අද (10) උදෑසන සිදුවූ බිහිසුණු බස් රථ අනතුරෙන් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව අපි වාර්තා කළා.

ලංකා ගමනාගමන මණ්ඩලයට ලියාපදිංචි බස් රථ 7,130ක් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන පසුගිය 2026 නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන් සේවයට සුදුසු තත්ත්වයේ පවතින්නේ බස් රථ 5,000ක් පමණක් බවද කියැවේ. COPE රැස්වීමකදී හෙළි වූ පරිදි දැනට සේවයේ යොදවා තිබෙන ලංගම බස් රථ ප්‍රමාණය 5,016කි.

පොදු ප්‍රවාහන කරුමය

ලංකාවේ පොදු ප්‍රවාහනයට සියයට 60කට වඩා වැඩි දායකත්වයක් ලබාදෙන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව ඇතැම් සංඛ්‍යාලේඛනවලට අනුව 20,062කි. මෙම බස් රථ ඇණිය මාර්ග 4,078ක ධාවනය වන බව වාර්තා වේ. නමුත් මේ ගණන් මිනුම් නිවැරදිදැයි කියන්නට කිසිවකුත් දන්නේ නැත. සමහර වාර්තා සහ දත්තවලට අනුව ලියාපදිංචි බස් රථ 27,000ක් පමණ තිබේ. ඒ පෞද්ගලික බස් රථ 20,000ක් සහ ලංගම බස් රථ 7,100ක් ලෙසය. එහෙත් දිනපතා සැබවින්ම ධාවනය වන්නේ මීට වඩා බෙහෙවින් අඩු බස් රථ ප්‍රමාණයකි. රියදුරු හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනයෙන් සියයට 25ක් සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව බස් සංගම් පවසයි.

මේ බස් කර්මාන්තය තුළ පෞද්ගලික බස් හිමියන් 10,000ක් පමණ සිටින බව කියැවේ. මේ අතරින් බහුතරයකට අයත් වන්නේ බස් රථ එකක් හෝ දෙකක් පමණි. එක් පුද්ගලයකු සතු උපරිම බස් රථ සංඛ්‍යාව 35ක් බවද කියැවේ. මෙහෙම බැලුවාම පෙනෙන්නට තිබෙන්නේ මෙය ගෘහ කර්මාන්තයක් වැනි තත්ත්වයක පවතින බවයි. කිසිදු විධිමත් බවක් නැත. අයිතිකරුවන් දහස් ගණනක් සිටින සමුපකාරයක් වැනිය. ඉතින් මේ අසංවිධිත බස් කර්මාන්තය අද මාෆියාවක් බවට පත්ව තිබේ. ඒ අපේම වරදින්ය.

රිය අනතුරු සහ බස්

2025 වසරේදී මාරක රිය අනතුරු 2,562ක් සිදුවී මරණ 2,710ක් වාර්තා වී තිබේ. (2024 වසරේදී මාරක අනතුරු 2,287කි.) 2024 වසරට වඩා 2025 වසරේදී මරණ 322ක් වැඩි වී තිබේ. මේ සංඛ්‍යාලේඛනවලට අනුව දිනකට මාරක අනතුරු 7ක් සහ මරණ 7.4ක් පමණ සිදුවේ.

2024 වසරේ බස් රථ සම්බන්ධ අනතුරු දෙස බැලූ විට පෞද්ගලික බස් රථ අනතුරු 1,546කින් මරණ 196ක් සිදුවී තිබේ. ලංගම බස් රථ අනතුරු 594කින් මරණ 62ක් සිදුවී තිබේ. එනම් බස් රථ අනතුරු 2,140ක් සහ මරණ 258කි. ඒ අනුව දිනකට බස් රථ අනතුරු 6ක් පමණ සිදුවී තිබේ.

2025 වසරේ මුල් මාස කිහිපයේ දත්ත දෙස බැලූ විට පෞද්ගලික බස් රථ අනතුරු 389කින් මරණ 49ක් වාර්තා වී තිබේ. ලංගම බස් රථ අනතුරු 144කින් මරණ 24ක් වාර්තා වී තිබේ.

මේ අනුව 2024 වසරේ සියලුම රිය අනතුරුවලින් බස් රථ සම්බන්ධ අනතුරු සියයට 8ක් පමණ වේ. මාරක අනතුරුවලින් බස් රථ අනතුරු සියයට 8–9ක් පමණ වන අතර, සමස්ත මරණවලින් බස් රථ අනතුරුවලින් සිදුවූ මරණ සියයට 10–11ක් පමණ වේ.

ඉතින් මේ ප්‍රශ්නයට විසඳුම කුමක්ද? අන්න ඒ පිළිබඳව අපි මේ වීඩියෝව තුළින් සාකච්ඡා කරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *