K News

Trending Now

ශ්‍රීලන්කන් ගුවන් සේවයට ඇති විසඳුම කුමක්ද? මාස 3කට රුපියල් බිලියන 35.6ක අලාභයක්!

srilankan ගුවන් සේවයට ඇති විසඳුම කුමක්ද? මාස 3කට බිලියන 35.6ක අලාභයක්
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ 2026 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාවට අනුව, රජය සතු ප්‍රධාන ව්‍යවසාය 53ක් අතරින් srilankan ඇතුලුව ආයතන 13ක් 2026 පළමු මාස හය තුළ දැවැන්ත අලාභ වාර්තා කර තිබේ. අනෙක් ආයතන 51ක් රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් ලබා තිබුණද (එයින් බහුතරය රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන වේ), පාඩු ලබන ආයතන තවදුරටත් මහජන බදු මුදලින් නඩත්තු කළ යුතුද යන ප්‍රශ්නය මෙහිදී බරපතළ ලෙස මතු වේ.
මේ අතරින් රටේ ආර්ථිකයට වැඩිම බරක් පටවන ආයතනය බවට පත්ව ඇත්තේ ජාතික ගුවන් සේවය වන srilankan ගුවන් සමාගමයි.

srilankan අලාභයේ සැබෑ තත්ත්වය

2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ පමණක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම රුපියල් බිලියන 35.6ක (බදු ගෙවීමට පෙර) අලාභයක් ලබා ඇත. ශ්‍රී ලංකා කේටරින් සමාගම ලැබූ රුපියල් බිලියන 3.4ක ලාභය එකතු කිරීමෙන් පසුව පවා, ගුවන් සමාගමේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 32.2කි (පසුගිය වසරේ මෙම කාලයේ අලාභය බිලියන 12කි).
  • ආදායම ඉහළ ගියත් වියදම ඊට වඩා වේගවත්: සමාගමේ ආදායම රුපියල් බිලියන 62.6 සිට 82.8 දක්වා ඉහළ ගොස් තිබුණද, වියදම 40.4%කින් (රුපියල් බිලියන 67.8 සිට 95.2 දක්වා) ඉහළ ගොස් තිබේ.
  • ඉන්ධන සහ යුද අර්බුදයේ බලපෑම: ඉන්ධන පිරිවැය 93%කින් ඉහළ යාම (බිලියන 41.2ක්) සහ මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවීමට සිදුවීම ආදායමට දැඩි ලෙස බලපා ඇත.
  • විනිමය අලාභ: විදේශ විනිමය අනුපාත වෙනස්වීමට පෙර බිලියන 12.5ක් වූ මෙහෙයුම් අලාභය, විනිමය අලාභ එකතු වීමත් සමඟ බිලියන 35.6 දක්වා ඉහළ ගොස් තිබේ.

වත්කම්වලට වඩා ණය බර ඉහළයි

2026 ජූනි අවසන් වන විට ශ්‍රීලන්කන් සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 209.9ක් වුවද, මුළු වගකීම් (ණය බර) රුපියල් බිලියන 561.4කි. එනම් වත්කම්වලට වඩා වගකීම් රුපියල් බිලියන 351.5කින් වැඩිය.
මේ අර්බුදය හමුවේ රජයට සෘජුවම මැදිහත් වීමට සිදුව ඇත:
  • කෙටි කාලීන අවශ්‍යතා සඳහා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් ලබා දී ඇති අතර, ලංකා බැංකුව සහ මහජන බැංකුවේ ණය වාරික ගෙවීමට ද සහාය වී තිබේ.
  • ප්‍රතිව්‍යුහගත කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 126.5ක බැඳුම්කර 2026 මාර්තු 20 වැනිදා සිට රජයේ ණය තොගයට (මහජන ණය බරට) ඇතුළත් කර ඇත.

පාඩු ලබන සෙසු රාජ්‍ය ආයතන 12

srilankan සමාගමට අමතරව පසුගිය මාස 6 තුළ පාඩු ලැබූ අනෙකුත් ප්‍රධාන ආයතන (ශුද්ධ අලාභය රුපියල් මිලියනවලින්) මෙසේය:

  • ලංකා සීනි සමාගම: 1,525
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම): 471
  • රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව: 193
  • රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව: 185
  • රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව: 182
  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව: 166
  • ලංකා සතොස: 89
  • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව: 68
  • රාජ්‍ය වැවිලි සංස්ථාව: 60
  • ස්වාධීන රූපවාහිනී ජාලය (ITN): 37
  • ජනතා වතු සංවර්ධන මණ්ඩලය: 26

ඉදිරි පියවර කුමක්ද?

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2026 මාර්තු මාසයේදී මුදල් අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර, මේ වන විට තෝරාගත් රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමේ (වසා දැමීමේ) කටයුතු ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, srilankan වැනි දැවැන්ත ණය බරක් සහිත ආයතන තවදුරටත් මහජන මුදලින් නඩත්තු කරනවාද, නැතහොත් නිසි ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරනවාද යන්න රටේ ආර්ථික අනාගතය වෙනුවෙන් වහාම ගත යුතු තීරණාත්මක තීන්දුවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *