ශ්‍රී ලංකාවේ පිහිටි HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය (Global Service Centre) වසා දැමීමට ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙස හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා HSBC හි ගෝලීය නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම පියවර හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන්ට බලපෑම් එල්ල විය හැකි අතර තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා සීමා විය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.
HSBC Holdings plc හි සමූහ සභාපතිවරයා සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමු කරමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, සැලසුම් කර ඇති මෙම ස්ථාන මාරුව ආපසු හැරවිය නොහැකි තත්ත්වයට පත්වීමට පෙර, HSBC සමාගමේ ශ්‍රී ලංකා මෙහෙයුම් පවත්වාගෙන යාමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉක්මන් සංවාදයක් ආරම්භ කරන ලෙසයි.
2001 සහ 2004 අතර කාලය තුළ තමා වෙළඳ හා වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙම ආයෝජනය ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව මතක් කර සිටින ඒ මහතා, HSBC හි මෙහෙයුම් කොළඹ ස්ථාපිත කිරීමට ගත් තීරණය ශ්‍රී ලාංකික සේවකයින්ට සැලකිය යුතු අවස්ථාවන් උදා කර දුන් බවත්, පසුගිය දශක දෙක තුළ දහස් සංඛ්‍යාත පිරිසකට එමගින් ජාත්‍යන්තරව පිළිගත් කුසලතා වර්ධනය කර ගැනීමටත් වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමටත් හැකි වූ බවත් ප්‍රකාශ කරයි.
HSBC හි ගෝලීය මෙහෙයුම
මෙම මෙහෙයුම් 2004 වසරේදී කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ අතර පසුව යුනියන් ප්ලේස් (Union Place) සහ මිරෙකා ටවර් (Mireka Tower) හි පහසුකම් දක්වා ව්‍යාප්ත විය. හිටපු අමාත්‍යවරයාට අනුව, මෙම මධ්‍යස්ථානය සිය උපරිම ධාරිතාවයෙන් වැඩ කළ සමයේදී ශ්‍රී ලාංකිකයින් 4,500 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිට ඇත. කෙසේ වෙතත්, 2026 ඔක්තෝබර් 7 වන දිනැති HSBC හි දැනුම්දීමට අනුව, 2026 සැප්තැම්බර් 30 වන විට එහි සේවක සංඛ්‍යාව 1,659 ක් බව සඳහන් වෙයි.
මෙම යෝජිත ස්ථාන මාරුව HSBC හි ගෝලීය මෙහෙයුම් මාදිලියේ සමාලෝචනයක (global operating-model review) ප්‍රතිඵලයක් මිස ශ්‍රී ලංකා සමාගමේ කාර්ය සාධනයේ අඩුවක් නිරූපණය නොකරන බව HSBC ආයතනය ප්‍රකාශ කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙම තීරණය වසා දැමීම දක්වා ගෙන යනවාට වඩා ඒ සඳහා විකල්ප සෙවීමට හේතුවක් සපයන බව පැවසීය.
සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කරන ඒ මහතා, රැකියා අහිමි වීම මගින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට, නිවාස සඳහා වන මූල්‍ය කැපවීම්වලට සහ වයෝවෘද්ධ දෙමාපියන් කෙරෙහි ඇති වගකීම්වලට අහිතකර ලෙස බලපෑ හැකි බව පෙන්වා දෙයි.
කොටස් හිමියන්, පාරිභෝගිකයින් සහ සේවකයින් කෙරෙහි HSBC ආයතනයට ඇති වගකීම් පිළිගන්නා අතරම, මෙහෙයුම් පිරිවැය සහ තරඟකාරීත්වය පිළිබඳ ගැටළු ආදී ප්‍රශ්න සඳහා විසඳුම් හඳුනා ගැනීමට සාකච්ඡා කළ යුතු බව පවසයි.
එපමණක් නොව, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති තමන්, මෙම අභියෝගවලට මුහුණ දීමට සහ HSBC හි ශ්‍රී ලංකා මෙහෙයුම් ඉදිරියටත් පවත්වාගෙන යාම තහවුරු කිරීමට රජය, අදාළ බලධාරීන් සහ කර්මාන්ත සහකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව අවධාරණය කරයි.
මෙම ආයෝජනය පවත්වාගෙන යාම දේශපාලන මතභේදවලින් ඔබ්බට ගිය ජාතික වගකීමක් බව අවධාරණය කරන ඒ මහතා, තරුණ පරම්පරාවට රැකියා අවස්ථා ලබා දීමේ වැදගත්කම පෙන්වා දෙමින් ප්‍රකාශ කරන්නේ HSBC ආයතනය තරුණ ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතු පිළිබඳ වටිනා අත්දැකීම්, වෘත්තීය සංවර්ධනය සහ විවිධ සංස්කෘතීන් සමඟ වැඩ කිරීමට අවස්ථාව ලබා දුන් බවයි.
පිරිවැය, බඳවා ගැනීම්, පුහුණුව, යටිතල පහසුකම් සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කරමින් ශ්‍රී ලංකා මෙහෙයුම් පවත්වාගෙන යාමට උපකාරී වන පරිදි මෙම තීරණය නැවත සලකා බලන ලෙසත්, කාලරාමුවකට යටත්ව හදිසි සාකච්ඡාවක් පවත්වන ලෙසත් ඔහු HSBC හි ගෝලීය නායකත්වයෙන් ඉල්ලා සිටියි.




